Spread the News

ආරියතිලක

2026.09.13

ලෝකයේ මැණික් වෙළඳ පොළ පෙර පැවැතියාට වඩා මහත් ලෙස පෘථුල වී ඇත. මෙරට ද මැණික් වෙළඳාම, මැණික් කර්මාන්තයේ නියලෙන හා මැණික් කර්මාන්තයට අවතීර්ණ වන පිරිස් ද බහුල වී තිබේ.

මැණික් වෙළඳාම මැණික් සේ සුපිරිසිදු විය යුතු ය. නමුත් වත්මන් මැණික් වෙළඳ පොළ එසේ නො වන බව මැණික් වෙළඳාමෙහි යෙදෙන හා මැණික් කර්මාන්තයෙහි යෙදෙන බොහෝ දෙනා දන්නා කාරණයක් බව අපගේ අදහස ය.

මැණික් වෙළඳ පොළ ලෝකයේ පෘථුල වෙත් ම, මැණික් ලෙස කෘතිමව සාදන ලද හා ව්‍යාජ ලෙස සංස්කරණය කළ දෑ, මැණික් වෙළඳ පොළ ආක්‍රමණය කළේ ය. මැණික් ගැන කිසිත් නො දන්නා, මැණික් මිලදී ගන්නා සාමාන්‍ය ජනතාවට මෙයින් සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. එසේ ම මැණික් කර්මාන්තයේ නියැලෙන, විශේෂයෙන් මැණික් වෙළදාමෙහි නියුතු පිරිසට වාර්ෂිකව විශාල අමතර වියදමක් දැරීමට සිදු වී තිබේ. ඒ සැබෑ මැණික් ව්‍යාජ මැණික් වලින් වෙන් කර හඳුනා ගැනීම සඳහා මැණික් රසායනාගාර (Gem laboratory) වෙතින් සහිතික කර ගැනීමට යන වියදම් හේතුවෙනි. මේ සඳහා අමතර කාලය, ශ්‍රමය, ප්‍රවාහන ගාස්තු ද එක් කළ යුතු ය. ඇතැම් විට එකම මැණික් ගලට කීපවතාවක් සහතික කිරීමට වෙන අවස්ථා ද යෙදේ. සමහර සහතික කිරීම පිණිස සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය යන රටවලට යෑමට සිදු වන අවස්ථා ද ඇත. මේවා කොතෙක් කළ ද, ව්‍යාජ ගල් වෙළද පොළේ සංසරණය වීම ද නැවතී නැත්තේ ය.

සැබෑ මැණික් යයි කියා ව්‍යාජ ගල් විකිණීම සම්බන්ධයෙන් නීතිමය ආවරණයක් තිබේ ද? යන්න විමසා බැලීම වටී. එය මැණික් ව්‍යාපාරයේ නියැලෙන සහ මිල දී ගන්නා දෙපිරිසට ම මහත් අස්වැසිල්ලක් වීමට හේතු ය. ශ්‍රී ලංකාවේ මැණික් සම්බන්ධයෙන් සියලු ම බලතල හා කාර්ය, කර්ත්‍යවය පිළිබඳ සියලු හිමිකම්, ජාතික මැණික් සහ ස්වණාභරණ අධිකාරිය සතු වේ. 1993 අංක 50 දරණ ජාතික මැණික් හා ස්වණාභරණ අධිකාරිය පනත මගින් ස්ථාපිත ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් කර්මාන්තය හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එක ම නීතිමය බලධරයා වන්නේ ය.

මැණික්, මැණික් කර්මාන්තය යන්න ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතෙහි 55 වන වගන්තියෙහි අර්ථ නිරූපන යටතේ දක්වා ඇත. එනම්:-

“මැණික්”

යන්නට යම් වටිනා ගලක් හෝ අර්ධ වටිනා ගලක් හෝ යම් මැණිකකින් හෝ එවැනි යම් ගලකින් කරන ලද නිෂ්පාදනයක් ඇතුලත් බව පනවා ඇත්තේ ය.

මැණික් කර්මාන්තය”

යන්නෙන් මෙහි පහත දැක්වෙන සියලු පන්තිවලට අයත් හෝ විස්තර අදාළ වන නැතහොත් ඉන් යම් පන්තියකට අයත් හෝ විස්තරයක් අදාළ වන යම් කර්මාන්තයක් හෝ වෙළඳ ව්‍යාපාරයක් අදහස් වේ:-

(අ) මැණික් පතල් කැණීම හෝ ගැරීම;

(ආ) ශ්‍රී ලංකාවට මැණික් ආනයනය කිරීම හෝ ශ්‍රී ලංකාවෙන් මැණික් ආනයනය කිරීම;

(ඇ) මැණික් විකිණීම, මිලට ගැනීම හෝ සැපයීම;

(ඈ) මැණික් තක්සේරු කිරීම;

(ඉ) මැණික් කැපීම, ඔප දැමීම, කැටයම් කැපීම, මැණික්වලින් යමක් නෙළීම;

(ඊ) තාප පිරියම් කිරීම සහ මැණික්වල වටිනාකම නංවා ලීමේ වෙනත් ක්‍රම භාවිතය;

(උ) මැණික් පරීක්ෂා කොට සහතික කිරීම සහ වටිනා ලෝහ පිළිබඳ ලෝහ පරීක්ෂාව;

(ඌ) මැණික් කැපීම පුහුණු කිරීම;

යනුවෙන් අර්ථ නිරූපනය කර ඇත්තේය.

“ස්වර්ණාභරණ” යන්නෙන් සිරුරේ පැළදීම සඳහා වටිනා ලෝහ වලින් හෝ වටිනා ගලින් තනන ලද යම් ආභරණයක් හෝ එවැනි ලෝහයෙන් හෝ වටිනා ගලින් තනන ලද කෞතුක භාණ්ඩයක් අදහස් කරන බව පනවා ඇත්තේ ය.

“ස්වර්ණාභරණ කර්මාන්තය” යන්නෙන් වටිනා ලෝහ පිළිබඳ ලෝහ පරීක්ෂාව හෝ වටිනා ලෝහවලින් නැතහොත් වටින ගලින් සිරුරේ පැළදීම සඳහා වූ ආභරණ තැනීම හෝ ඒ ආභරණ අපනයනය කිරීම හා සම්බන්ධ කර්මාන්තයක් හෝ වෙළඳ ව්‍යාපාරයක් අදහස් වේ;

යනුවෙන් දක්වා ඇත්තේ ය.

රැවටීම,

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතෙහි 46 වගන්තියෙහි රැවටීම පිළිබඳව මෙසේ පනවා ඇත්තේ ය.

46 වගන්තිය- රැවටීම

“ මැණික් කර්මාන්තය හෝ ස්වර්ණාභරණ කර්මාන්තය කර ගෙන යන කිසිම තැනැත්තකු විසින්, මිලදී ගන්නෙකු හෝ මිලදී ගන්නෙකු වීමට ඉඩ ඇති තැනැත්තකු රැවටීමේ හෝ නොමඟ යැවීමේ හෝ මිලදී ගන්නෙකු හෝ මිලදී ගන්නෙකු වීමට ඉඩ ඇති තැනැත්තකු තුළ යම් මැණිකක හෝ ස්වණාභරණයක හෝ වර්ගය, ගුණාත්මකභාවය, ප්‍රමාණය, විශාලත්වය, බර, හෝ වටිනාකම පිළිබඳ වැරදි හැඟීමක් ඇති කිරීමේ හැකියාව හා ප්‍රවණතාව හෝ බලපෑම ඇති යම් නියෝජනයක්, විස්තරයක් හෝ අවස්ථාගත කරුණු යටතේ ඒ මැණික හෝ ස්වර්ණාභරණය විකිණීම හෝ විකිණීම සඳහා ආර්පණය කිරීම හෝ නොකළ යුතු ය.”

යනුවෙන් පනවා ඇත්තේ ය.

මේ පනත යටතේ වරද සහ වරදට දඬුවම (දඬුවම– රුපියල් දස ලක්ෂයක් නොයික්මන දඩයකින් හෝ අවුරුදු පහක් නොයික්මන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමෙන් හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකින් ම හෝ දඬුවම් කරනු ලැබීම);

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 51 වන වගන්තියෙන් මේ පනත යටතේ කරන වැරදි හා එම වැරදි සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූවකුට, දිය යුතු දඬුවම් පනවා ඇත්තේ ය. එම 51 වගන්තිය නම්:-

“51 වගන්තිය- වැරදි

(1)(අ)මේ පනතේ හෝ මේ පනත යටතේ සාධන ලද නියෝගයක හෝ රීතියක විධි විධාන උල්ලංඝනය කරන;

(ආ) අධිකාරියේ සාමාජිකයෙකු, නිලධරයෙකු හෝ සේවකයකු වී සිටිමින් මේ පනත යටතේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී හෝ කාර්ය ඉටු කිරීමේ දී නැතහොත් ඒ හා සම්බන්ධව තමා විසින් ලබා ගන්නා ලද යම් තොරතුරක් තමා විසින් ඒ තොරතුරු හෙළිදරව් කිරීමට මේ පනතින් බලය දී ඇති කාර්යයක් නොවන යම් කාර්යයක් සඳහා යම් තැනැත්තකුට හෙළිදරව කරන;

(ඇ) අධිකාරිය විසින් හෝ අධිකාරිය අනුමැතිය ඇතිව යොදන ලද තථ්‍යවිහ්නයක් බව විශ්වාස කරවීමේ චේතනාවෙන් ස්වර්ණාභරණයක කවර හෝ ලකුණක් යොදන,

සෑම තැනැත්තෙක් ම මේ පනත යටතේ වූ වරදක් කරන්නේ ය.

(2) මේ පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකු ම, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් දස ලක්ෂයක් නොයික්මන දඩයකින් හෝ අවුරුදු පහක් නොයික්මන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමෙන් හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකින් ම හෝ දඬුවම් කරනු ලැබීමට යටත් විය යුතු ය.

  1. මේ පනත යටතේ වූ වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබූ අවස්ථාවක–

(අ) ඒ පුද්ගල මණ්ඩලය සංස්ථාවක් නම් ඒ සංස්ථාවේ සෑම අධ්‍යෂවරයෙකු හෝ නිලධාරයෙකු ම ද,

(ආ) ඒ පුද්ගල මණ්ඩය, හවුල් ව්‍යාපාරයක් නම් ඒ හවුල් ව්‍යාපාරයේ සෑම හවුල්කරුවකු ම ද,

ඒ වරදට වරදකරුවකු ලෙස සැලකිය යුතු ය.

එසේ වුව ද ඒ වරද කරන ලද්දේ තමාගේ අනුදැනුම නොමැතිව බව හෝ ඒ වරද වැළැක්වීමට සියලු උද්‍යෝගයෙන් ක්‍රියා කළ බව හෝ ඒ සංස්ථාවේ අධ්‍යෂවරයෙකු හෝ නිලධරයෙකු හෝ විසින් නැතහොත් ඒ හවුල් ව්‍යාපාරයේ හවුල්කරු විසින් ඔප්පු කරන ලැබුවහොත් ඔහු ඒ වරදට වරදකරුවකු ලෙසෙ නොසැලකිය යුතු ය.

(4) අධිකාරිය විසින් ලියවිල්ලකින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු හෝ සේවකයකු, මේ පනත යටතේ වූ මේ පනත යටතේ නඩු කටයුතු පැවරීමේ කාර්යය සඳහා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 136 වන වගන්තියේ අර්ථානුකූලව රජයේ නිලධරයන් ලෙස සැලකිය යුතුය.”

යනුවෙන් පනවා ඇත්තේ ය.

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත ප්‍රකාරව තත් පනතට අදාළව කරන ලද වරදක් සම්බන්ධයෙන් 51 වන වගන්තියෙහි 2 වන අනු වගන්තිය අනුව ක්‍රියා කළ යුතු ආකාරය පනවා බැවින් එම අනු වගන්තිය අනුව තත් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට මූලික නීතිමය පියවර ගත යුතු ය.

එකී පැනවීම අනුව මැණික් හෝ ස්වරණාභරණ වංචනික ලෙස රවටීම කරන පුදගයින්‍ට නීතිය ක්‍රියාත්මක කර ගැනීමට උත්සාහ විය යුතු ය. එසේ නැති නම් මැණික් ව්‍යාපාරයේ රැවටිලි කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීම දුෂ්කර වනවා ඇත. අසීරු වනවා ඇත. ඒ සඳහා ව්‍යාජ මැණිකක් හෝ ව්‍යාජ මැණික් වලින් කරන ලද ආභරණයක් හෝ සැබෑ මැණිකක් යයි යම් පුද්ගලයෙකු රැවටීම හෝ

යම් මැණිකක හෝ ස්වණාභරණයක හෝ වර්ගය, ගුණාත්මකභාවය, ප්‍රමාණය, විශාලත්වය, බර, හෝ වටිනාකම පිළිබඳ වැරදි හැඟීමක් ඇති කිරීමේ හැකියාව හා ප්‍රවණතාව හෝ බලපෑම ඇති යම් නියෝජනයක්, විස්තරයක් හෝ අවස්ථාගත කරුණු යටතේ ඒ මැණික හෝ ස්වර්ණාභරණය විකිණීම හෝ විකිණීම සඳහා ආර්පණය කිරීම හෝ යමෙකු කරන්නේ නම් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීම හෝ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට දැන්වීම හෝ කළ හැක. රැවටිලිකාර පක්ෂය විසින් ඉදිරිපත් කරන ව්‍යාජ මැණික් පසු දිනයක නැවත පරීක්ෂා කිරීමේ අටියෙන් කල් තබා, පොලීසිය හෝ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කර පොලිස් නිලධාරීන්ගේ හෝ මැණික් හා ස්වණාභරණ අධිකාරිය නිලධාරීන්ගේ උපදෙස් පරිදි ක්‍රියා කළ හැක. එසේ කිරීමෙන් මැණික් සම්බන්ධ වංචනික රැවටිලිකාරයින් නීතියේ රැහැනක කොටු කළ හැකි ය.

කෘතිම මැණික් පිළිබඳව ඇමරිකා මැණික් විද්‍යා ආයතනය (GIA– Gemological Institute of America) නිර්වචනය.

“What are Synthetic Gemstones?

Published

November 15, 2011

Contrary to what many people may think, the word “synthetic” does not mean fake when it comes to gemstones. The term actually comes from the Greek word for “to put together.” People “build” or, more accurately, “grow” synthetic crystals. They do this by using chemicals that, given the proper environment, arrange themselves into crystals of essentially the same structure as crystals that grow without human intervention.

A synthetic gem is a man-made material with essentially the same chemical composition, crystal structure and optical and physical properties as the natural gem material.

The two most basic facts about synthetic gems are:

Although they are the result of processes that approximate conditions that exist in the earth, they are products of the laboratory, not nature.

Their physical, optical, and chemical characteristics are the same as those of their natural counterparts.”

“කෘත්‍රිම මැණික් යනු මොනවාද?

2011 නොවැම්බර් 15 ප්‍රකාශිත

බොහෝ අය සිතන දෙයට පටහැනිව, මැණික් සම්බන්ධයෙන් “කෘත්‍රිම” යන වචනයේ තේරුම ව්‍යාජ යන්න නොවේ. මෙම පදය ඇත්ත වශයෙන්ම පැමිණෙන්නේ “එකට එකතු කිරීම” සඳහා වන ග්‍රීක වචනයෙනි. මිනිසුන් “ගොඩනඟයි” හෝ, වඩාත් නිවැරදිව, කෘත්‍රිම ස්ඵටික “වර්ධනය” කරයි. ඔවුන් මෙය කරන්නේ නිසි පරිසරය ලබා දී, මිනිස් මැදිහත්වීමකින් තොරව වර්ධනය වන ස්ඵටිකවලට සමාන ව්‍යුහයකින් යුත් ස්ඵටික බවට සකස් කර ගන්නා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි.

කෘත්‍රිම මැණික් යනු ස්වාභාවික මැණික් ද්‍රව්‍යයට සමාන රසායනික සංයුතිය, ස්ඵටික ව්‍යුහය සහ දෘශ්‍ය හා භෞතික ගුණාංග සහිත මිනිසා විසින් සාදන ලද ද්‍රව්‍යයකි.

කෘත්‍රිම මැණික් පිළිබඳ වඩාත් මූලික කරුණු දෙක නම්:

ඒවා පෘථිවියේ පවතින තත්වයන් ආසන්න කරන ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් වුවද, ඒවා සොබාදහමේ නිෂ්පාදන නොව රසායනාගාරයේ නිෂ්පාදන වේ.

ඒවායේ භෞතික, දෘශ්‍ය සහ රසායනික ලක්ෂණ ඒවායේ ස්වාභාවික සගයන්ගේ ඒවාට සමාන වේ.”

අනුකරණ ගල් (ව්‍යාජ ගල්) Imitation Stone පිළිබඳව ඇතැම් තැනක දක්වන්නේ මෙසේ ය. (මෙය GIA නිර්වචනයක් නො වන බව ද සැලකුව මනා ය.)

“Only resembles the appearance of a gemstone and is usually made of glass or other artificial materials.”

අනුකරණ ගල්

“මැණික් ගලක පෙනුමට පමණක් සමාන වන අතර සාමාන්‍යයෙන් වීදුරු හෝ වෙනත් කෘතිම ද්‍රව්‍ය වලින් සාදා ඇත.”

මෙම නිර්වචයන් තව දුරටත් විග්‍රහ කළ බැලීමට යමෙකුට අවශ්‍ය නම් ඇමරිකා මැණික් විද්‍යා ආයතනය Gemological Institute of America–GIA) වාර්තා අධ්‍යනය කිරීමෙන් කළ හැක. ඉහතින් දැක්වූ විද්‍යාගාරවලදී නිපදවන කෘතිම මැණික් ඇතුලුව ද හා අනුකරණ ගල්(ව්‍යාජ) යන දෙයාකාර සියලු සංස්කරණයන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙහි 46 වගන්තිය අනුව රැවටීම යන වරදට වැටේ. එම වගන්තිය උල්ලංඝනය කරන කවර වූ හෝ අයෙකුට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතෙහි 51ක් වන වගන්තියේ 2 වන අනුවගන්තිය අනුව ප්‍රකාරව එනම්:-

“51 (2) මේ පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකු ම, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් දස ලක්ෂයක් නොයික්මන දඩයකින් හෝ අවුරුදු පහක් නොයික්මන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාරගත කරනු ලැබීමෙන් හෝ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකින් ම හෝ දඬුවම් කරනු ලැබීමට යටත් විය යුතු ය.”

යන පැනවීම ප්‍රකාරව දඬුවමට යටත් වීමට සිදු වේ. මෙම පනත ප්‍රකාර පැනවීම අනුව මැණික් හා ස්වර්ණාභරණ වංචනිකයන් නීතියේ රැහැනට නතු කර ගැනීමට උත්සුක වීම හා ක්‍රියා කිරීම, පුරවැසි සැමගේ යුතුකම වගකීම බව ද අවධාරණය කරමු

More Reading: https://ceylonwatch.com/discover-timeless-elegance-at-nilmini-gems-jewellers/

Protected by Security by CleanTalk