බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි..

Spread the News
බුදු දහමට වෛර කරමින් සිටින ප්‍රංශයේ අපේ තානාපති ගැනයි..

යුරෝපයට ගිය කිසිදු තානාපතිවරයෙක් මේ අයුරින් බුදු දහම පාගා දමා නැත. අනෙක් සියළුම තානාපති කාර්යාල වල සම්බුද්ධ ජයන්ති උත්සව පැවැත්වූණ ද පැරිස් නුවර තානාපති කාර්යාලයේ එය සිදු නොවුනි.

ගුණ දහමින් තොර වූ මිනිසා තුල පැහැදිලිව ම ඇත්තේ මිනිස් රූපය පමණකි. මිනිස්කම හෙවත් ගුණ දහම් නැත. ලොව බිහි වූ එක්තරා පඬිවරයෙකු විසින් මෙසේ පවසා ඇත. එනම්, “මනුෂ්‍ය රූපෙන මෘගා: චරන්ති” යනුවෙනි. එහි තේරුම නම් මිනිස් රූපයෙන් මෘගයන් හෙවත් තිරිසනුන් සැරිසරන බවය. ලෝකය දෙස බලන විට මෙය සත්‍යයකි. සමහර මිනිසුන්ගේ ක්‍රියාවන් දෙස බලන විට ඔහු මිනිසෙක් දැයි සිතෙයි. එසේත් නැතිනම් මොහු කුමකට මිනිසෙක් වී උපත ලැබුවේ ඇයි දැයි සිතෙයි. මෙතරම් කාලයක් ඇත්ත වශයෙන් ම ලාංකිකයන් ලෙස අප බාහිර ලෝකය දෙස බලා එසේ සිතුවෙමු. යම් යම් රටවල එවැන්නන් දෙස බලා අහෝ යයි සිතුවෙමු. එහෙත් එවන් උදාහරණයක් ශ්‍රී ලාංකිකයන් තුලින් ම දැක ගැනීමට තරම් අවාසනාවක් ඇතැයි බොහෝ දෙනා සිතන්නට නැත. ආගමකට දහමකට ගරු නොකරන, සිය ජාතියට වඩා අන් ජාතීන් අගය කරන හා ඒ ලඟ දනින් වැටෙන සහ සිය රටේ ගරුත්වය සමග සෙල්ලම් කරන පුද්ගලයෙක් සිටින තැනක් මා ඔබට පවසමි. ඔහු ශ්‍රී ලාංකිකයෙකි. ආගමක් දහමක් නොහඳුනයි. අවාසනාව වන්නේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පැමිණ සිටීම යි. ලාංකිකයන්ට වෛර කරන, තමන් ලාංකිකයෙක් වීම ගැන පසුතැවිලි වෙන මොහු නමින් දයාන් ජයතිලක ය.

“නමින් කපුරු හාමි වුවත් කට ගඳලු” යන්න අපේ පැරණි ගැමි වහරේ එන කියමනකි. නමින් දයාන් වුවද ඔහුගේ හදවතේ ඇති දයාවක් නැත. සිංහල කමට බෞද්ධ කමට මෙන්ම සිය දේශයේ වැසියන්ටද ඔහුගේ ඇත්තේ දැඩි ද්වේශයකි. ප්‍රංශයේ වෙසෙන බොදු කතෝලික සියල්ලන්ටම ඔහු තිලකයක් නොව පිළිකාවකි. ආගමට දහමට ඔහුගෙන් වන සේවයක් නැත. මක්නිසාද යත් බුදු දහම කෙරෙහි ඔහු දක්වන ආකල්පය මෙතෙක් මෙරට කිසිදු තානාපතිවරයෙක් විසින් දක්වා නොමැති වීමයි. දයාන් ජයතිලක යනු, කිතුණු බැතිමතෙකි. උපතින් කතෝලික වුවද ඒ බවක් ඔහුගේ රෝම කූපයකවත් ගෑවී ඇත්ද යන්න සැක සහිත ය. ජේසුස් වහන්සේ විසින් කිසිදු අවස්ථාවක අන් ආගම් වලට අපහාස කරන්නට කියා නැත. පැරිසියේ වෙසෙන බොහෝ ලාංකිකයින් පවසන ආකාරයට සිය ආගම පිළිබදව ආදරයක් සෙනෙහසක් ඔහුගේ නැත. ආගම අබිං යයි ලෙනින් පැවසීය. යහපත් මිනිසුන් නිර්මාණය කිරීමට අවිහිංසාවාදී ආගම් හා දර්ශනයන්ගෙන් වන මෙහෙවර දකින විට මේ කියමන අපහාසයකි. මහා කැලෑවක වුවද ගුණ දහම් රුකෙන්නේ ආගම දහම තුලින් යමෙක් ලැබූ ශික්ෂණය තුලිනි. එනිසා කවර හෝ ආගමකට දහමකට අපහාස නොකිරීම හෙලා කතා නොකිරීම තම ආගමට ගරු කරන්නකුගේ ලක්ෂණයකි. සිය ආගමට ගරු නොකරන්නා අන් ආගම් වලට ද ගරු නොකරයි යන්න ඉතා පැහැදිලි ය. බුදු දහමට ගරු නොකිරීම ඔහු වැනි බාලවර්ගයේ මිනිසෙකුගෙන් පැහැදිලිවම බලාපොරොත්තු විය යුතුමය. එහෙත් ජනපති තුමන් ඇතුලූ සියල්ලන්ගේම දැන ගැනීම පිණිස ඔහුගේ බාල වැඩ පෙන්වා දිය යුතුමය.

ඔහු ප්‍රංශයේදී ආගමට දහමට ගරු නොකරන්නේ ප්‍රංශයේ ගිහියන්ගේ රටක් ලෙස ව්‍යවස්ථානුගත කර ඇති නිසා බව ද පවසයි. එහෙත් ප්‍රංශයේ ජනපතිතුමන් සිය අළුත් අවුරුද්දට සුභ පැතීමේ අවස්ථාවට සියළුම ආගම්වල නියෝජිතයන්ට ආරාධනා කළ බව මේ තානාපති නොදැන සිටීම පුදුමයකි. ගිය වසරේ එම අවස්ථාවට මට ද ආරාධනය කර තිබුණි. සෑම වසරකම පැරිසියේ නගරාධිපතිවරයා විසින් ආගම්වල නියෝජිතයන්ට නව වසරට සුභ පැතීමට ආරාධනය කරයි. ගිය වසරේ මම ද එයට සහභාගී වුනෙමි. ඔවුන් මෙම තානාපතිවරයා මෙන් හිස උදුම්මවාගෙන නැත.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ බෞද්ධයෙකි. අශෝක මහ රජතුමා සේ බුදු දහම විෂයෙහි අපරිමිත ශ්‍රද්ධාවෙන් කටයුතු කරයි. ලංකාවේ පන්සල් විහාර මෙන්ම බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස කල සේවාවන් ඇගිල්ල දිගු කර පෙන්විය හැකි ය. එය නොකල දෙයක් ගැන වර්ණනාවක් නොවේ. එතුමන්ට සම්බුද්ධ ජයන්ති වර්ෂයේ එක්සත් ජාතීන්ගේ බෞද්ධ කටයුතු වල ප්‍රධානත්වය පැවරුණේ ද එනිසා ම ය. නමුත් ජනපති තුමන් සියලූ ආගම් වලට ගරු කරයි. හිස නමා ආචාර කරයි. පූජක තුමන්ලාට විශේෂයෙන් ගරු කරයි. නායකයෙකු එසේ විය යුතුම ය. පාලකයෙකු තුල තිබිය යුතු ලක්ෂණ වන සතර සංග්‍රහ වස්තුවේ සමානාත්මතාවය යන්න පැහැදිලි ව ම විවිධ ආගම් කෙරෙහි දැක්වීමට මැලි කමක් හෝ ලැජ්ජාවක් එතුමන් තුල නැත. පල්ලියට පන්සලට මෙන්ම කෝවිලට ද යයි. පාලකයෙකු එසේ විය යුතුම ය.

එහෙත් එතුමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රංශයට යැවූ තානාපතිවරයා ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු ආගම තබා මව්පියන්ට වුවද හිස නොනමන වර්ගයේ හිස් මිනිසෙකි. ඔහු පැරීසියට තානාපති ලෙස පැමිණි විගස මුලින් ම කල කටයුත්ත නම්, අතීතයේ සිටම එම තානාපති කාර්යාලයේ වැඩ හිඳි බුදු පිළිම වහන්සේ ඉවත් කිරීම ය. ඉවත් කිරීමට හේතුව ලෙස ඔහු සදහන් කලේ ලංකාවේ තවත් ආගම් ඇති බව ය. ලංකාවේ තවත් ආගම් ඇති බව සත්‍යකි. එහෙත් ව්‍යවස්ථාවේ සඳහන් පරිදි ප්‍රධාන ආගම බෞද්ධ ය. එංගලන්තයේ හෝ ඉතාලියේ ද බුදු දහම ඇත. මුස්ලිම් දහම ද ඇත. එහෙත් එංගලන්තය කිතුණු රටකි. එය එසේ කී විට විරුද්ධ වීමට කිසිවෙකුටත් යුක්තියක් නැත. නමුත් එංගලන්තයේ හෝ ඉතාලියේ මුස්ලිම් දහමට හෝ බුදු දහමට තහනමක් ද නැත. ලංකාව බෞද්ධ රටකි. බහුතරය බොදු වන අතර ප්‍රධාන ආගම බෞද්ධ වෙයි. එහෙත් අන් ආගම් වලට පැවතිය හැකි ය. මේ කතාව දයාන්ට නොතේරෙන මුත් දෙක වසරට පමණක් පාසල් ගිය පොල් කඩන ගුණදාසට ද, මාලූ අල්ලන සිරිපාලට ද තේරෙයි. ඕනෑම අයෙකුට තේරෙන මෙම කරුණ රටක් නියෝජනය කරන තානාපතිකම දක්වා පැමිණි දයාන් ජයතිලකට නොතේරෙයි. එනයින්, දයාන් ගේ ඉහ නිකට පැහී ඇත්තේ පීනසට විය යුතු ය.

බුදු පිළිමය ඉවත් කිරීමෙන් පැරිසියේ භික්ෂුන් වහන්සේලා ද බොදු ජනයාද මහත් සේ කලකිරීමට පත් වූහ. බුදු පිළිමය පමණක් නොව බුදු පින්තූර පවා ඉවත් කළේය. ලංකාවේ ආගම් 4ක් තිඛෙන නිසා එක් ආගමකට ප්‍රමුඛත්වය දිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේ ය. දයාන් ලංකාව වැනි බෞද්ධ රටක ඉපදීම ම හොඳ ය. අරාබිකරයේ සමහර මුස්ලිම් රටවල තානාපති කාර්යාල ඇසුරෙන් පන්සල් පිහිටුවා තිබේ. මුස්ලිම් රට වැසියෙක් ලෙස ඔහු මෙම ප්‍රකාශය කලා නම් මුස්ලිම් ආගමට පමණක් ඉඩ දිය නොහැකි යයි කීවා නම් වන දේ මුලූ ලෝකයම දනිති. එසේ නම් දයාන් ට පමණක් නොව ඔහුගේ පවුලේ අයට ද මිනී පෙට්ටිය වත් හිමි නොවේ. බෞද්ධ දේශයක නියෝජිතයා ලෙස පැමිණ හිතුමතේ නාඩගම් නටන දයාන්ට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ද පුදුමයට කරුණකි. අනෙක් අතට බුදු දහම ගැන කතා කරන්නටවත් දයාන්ට අයිතියක් නැත. තානාපති කාර්යාලය හෝ එම පදවිය ඔහුගේ ආච්චි අම්මාගෙන් ලැබූ බූදලයක් නොවේ. අවම වශයෙන් සිය කාර්යභාරය හෝ වගකීම පිළිබදව වත් නිසි අවබෝධයක් නැති දයාන්ව යැවිය යුත්තේ තානාපති තනතුරකට නොවේ. එය මෙහිදී සඳහන් කළ නොහැකි ය.

වසර ගණනාවකට පසු තානාපති කාර්යාලයේ (සම්බුද්ධ ජයන්ති වර්ෂයේ ම) වෙසක් උත්සවය නොපැවැත් වුණි. භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන් නොසලකා හැරුණු අතර බුදු දහම කාණු පල්ලටම දැමිණ. බෞද්ධයෝ අන් අය පාගා සිය දහම හෝ ආගම පතුරවන්නේ නැත. මැල්කම් රංජිත් කාදිනල්තුමා ලංකාවට එන විට අපේ භික්ෂුන් වහන්සේලා පිරිත් කියමින් උන්වහන්සේට ආශිර්වාද කළහ. මේ ආගමික සහජීවනයට පවා දයාන් යනු පිළිකාවකි. බුදු දහම පමණක් නොව බොදු සංස්කෘතික අංග පවා දැඩි විවේචනයට ලක් කෙරිණි. නමුත් තයිපෝංගල් දිනය ඔහු විසින් ඉතා ඉහලින් සමරා තමාගේ බෞද්ධ විරෝධී භාවය මැනවින් පෙන්වා දීමට මෙන් සෑම තැනකට ම ඊමේල් පණිවුඩ ද යැවී ය.

ලෝකයට මෙතෙක් අපේකම පෙන්වූ විවිධ උත්සව ආදිය පැවැත්වූයේ තානාපති කාර්යාලය හරහා ය. ප්‍රංශ ජාතිකයින් පමණක් නොව ලෝකයේ බොහෝ ජාතීන් ලංකාව හදුනා ගත්තේ මේ වැඩසටහන් හරහා ය. ලංකාවට යා යුතුය යන අදහස ඇති කර ගත්තේ මෙවැනි වැඩසටහන් තුලිනි. එනිසා මෙම වැඩසටහන් මුළු ශ්‍රී ලංකාවටම කරන මෙහෙවරකි. කන පතේ පහරනවා යයි කියන ගැමි කියමනට මුලූමණින් ම ගැලපෙන දයාන් ජයතිලක කළේ අපේ රටින් ම පැමිණ අපේ රටට ම සේවයක් වන එවැනි වැඩසටහන් නවත්වා දැමීම යි. පැරණි විවිධ ශිල්පීය අංග නර්ථන ආදී බොහෝ දේ බැහැර කිරීමට ප්‍රධාන ම හේතුව වූයේ, ඒවා බුදු දහම පදනම් කර ගැනීම යි.

එසේම ලංකාවට වක්‍රාකාරයෙන් වැදගත් වන විවිධ වැඩ සටහන් මොහුට පෙර සිටි තානාපතිවරුන් විසින් ක්‍රියාත්මක කල හ. තානාපතිවරුන්ගෙන් බලාපොරොත්තු වන එක් ප්‍රයෝජනයක් නම්, සිය රට වෙට ලොව අනිකුත් රටවල අවධානය යොමු කරවීම යි. එහෙත් එවැනි කිසිදු වැඩසටහනක් ප්‍රංශය තුල මෙතෙක් ක්‍රියාත්මක කර නැත. ඔහු ප්‍රංශයට පැමිණි දා සිට සිදුකලේ බුදු දහමට වින කැටීම ය. භික්ෂූන් වහන්සේලා ගණන් නොගැනීම හා අපහාසයට ලක් කිරීම ය. බොදු වැඩසටහන් හා සංස්කෘතික අංග බැහැර කිරීම ය. සිංහල සංස්කෘතිය ලෝකයට පෙන්වීමට අවස්ථාවන් ලබා නොදී ඒවාට හැකි තරම් අකුල් හෙලීම ය. අපේ සිරිත් විරිත් ප්‍රසිද්ධියේ ම විවේචනය කර අපහාස කිරීම ය. මෙවැනි දේ කරන්නට නම් තානාපති කෙනෙකු කුමට ද? වේළුපිල්ලේ ප්‍රභාකරන්වත් මේ තරම් විනාශයක් අපේ රටට නොකලේ ය. ඔහු කලේ අසරණ මිනිසුන් මැරීම ය. එහෙත් දයාන් ජයතිලක කරන්නේ දයාබර ලක් මෑණියන්ගේ ආත්මය විනාශ කිරීම ය. එය වනාහී ලොකුම අපරාධය යි. එසේ නම් තවදුරටත් මෙවන් මිනිසුන් රාජ්‍ය සේවයේ තබා ගැනීම තුලින් වන්නේ අපගේ ම රට අගාධයට යාමයි. අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා තේරුමක් නැත්තා සේ ඔහුට ඕනෑම දෙයක් කරගන්නට ඉඩ හැර අවසානයේ වෙනත් රටකට යැවීම විසදුමක් නොවේ. එවිට සියල්ල සිදු වී හාමාර ය.

ප්‍රංශ තානාපති කාර්යාලයේ ඉතා ගුණ යහපත් සෑම ආගමකට ගරු කරන බෞද්ධ නිලධාරීන් නිශ්ශබ්ද කිරීමට තානාපතිවරයා කටයුතු කළේ ය. ඔවුන් විසින් බෞද්ධාගමික වැඩසටහන් යෝජනා කරන විට පවා මොහු කලේ සිය බලය යෙදවා ඒවා නැවැත්වීම ය. නමුත් ක්‍රිකට් දිනන විට පමණක් යන්තම් සිතියමේ පෙනෙන මේ පුංචි මව්බිම අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ ප්‍රසිද්ධ වූයේ බොදු සංස්කෘතිය නිසා බව මොහුට නොපෙනෙන්නේ මන් ද? ලංකාවට සංචාරකයෙක් ආවා නම් ඒ පැරණි බොදු සංස්කෘතිය නිසා ය. මේ දක්වා මිනිසුන් බත් කටක් කෑවා නම් ඒ බුදු දහමින් පෝෂණය වූ වාරි තාක්ෂණය නිසා ය. සීගිරිය වැනි ලෝක පුදුමයන් තුල ඇත්තේ බොදු සංස්කෘතිය යි. මේ යුරෝපයේ බස් එකට නැග්ග විට පූජ්‍ය පක්ෂයට ආසනය ලැඛෙන්නේ නැත. ලංකාවේ පියතුමකු බසයට නැගගත් ආසනය දෙන්නේ බුදු දහමේ ආභාෂය නිසා ඇතිවුණු ගුණ දහම් තුලින් බව දයාන් දන්නේ නැත. යුරෝපයේ මෙන් අම්මලා තාත්තලා දූලා පුතාලා එකට නිරුවත් නොවන්නේත් බුදු දහම නිසා බව දයාන් දන්නේ නැත. අපට දැනෙන ආකාරයට දයාන් බුදු දහමට මේ තරම් වෛර කරන්නනේ මේ හේතුව නිසා ය. බුදු දහමේ ආභාෂය ලබා යහපත් සමාජයක් ලංකාවේ බිහි වීම නිසා දයාන් ජයතිලක මහතාට සිය දෙමව්පියන් දරුවන් සමග ඉහත කී ආකාරයට හැසිරෙන්නට ලංකාවේ ඉඩ නැති නිසා විය යුතු ය. තමන් යම් ආගමකට ගරු නොකරන්නේ නම් මහත්මයෙකු ලෙස නිහඩව සිටීම උතුම් ගුණයකි. ඒ වෙනුවට විවේචනය බැනුම් අකුල් හෙලීම් හා මගහැරයාම් තුලින් තානාපතිවරයෙකුගේ තත්වය බින්දුවට ම වැටෙන බව දයාන් දන්නේද නැත.

දයාන් ජයතිලක බුදු දහම අපහාසයට ලක් කිරීම වෙනුවෙන් කල කී දෑ බොහෝ ය.

මුල් කාලයේ භික්ෂුන් වහන්සේලා තානාපති කාර්යාලය වෙත වැඩම කල විට ඔහු විසින් උන්වහන්සේලා සමග සුහද ව භජනයක් නොකළේ ය. උන්වහන්සේලාගේ බෞද්ධ වැඩ සටහන මිනිත්තු 5කට සීමා කළේ ය. සමහර අවස්ථාවල යම් යම් දේ සංවිධානය කොට තිබුණේ ම භික්ෂුන් වහන්සේලා ව අපහසුව ලක් කිරීම අරමුණූ කරගෙන ය. නිදහස් උත්සවයට සහභාගී වූ භික්ෂුන් වහන්සේලාට දානය වලඳන්නට පවා සකස් කර තිබුනේ අන්‍යාගමික කාන්තාවන් සමග එකට වාඩි වී සිටින ආකාරයෙනි. භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා සමග වුව ද එකට හිඳ ආහාර ගැනීමක් නැත. එසේ තිබියදීත් මෙවැනි අකටයුතුකම් කරමින් භික්ෂුන් වහන්සේලා ව අපහසුවට ලක් කරන්නේ ඔහු අදහන ආගමේ ශාස්තෘවරයා අසල් වැසියාට ප්‍රේම කරන්න යයි කියා තිඛෙන නිසා ද?

දයාන් ජයතිලක විසින් මේවා සිදු කරන්නේ නොදැන නොවේ. මෙය වෙනත් අවස්ථාවක විදේශ රටකට අයත් කාර්යාලයක දී සිදු වූවා නම් හිතට දුකක් නොදැනෙනු ඇත. අපේ සම්ප්‍රදායන්ට ගරු කිරීමට අන්‍යයන් බලෙන් පොලඹවා ගත නොහැකි ය. එහෙත් අපේම තානාපති කාර්යාලයේ එය සිදුවන විට එය කෙසේ නම් දරා ගනිමු ද? “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමු ඒ අමාරුව˜” යයි කියන්නේ මෙවැනි අවස්ථා වලට ය. දයාන් ජයතිලක ප්‍රංශයට ආවේ ඊයේ පෙරේදා ය. එහෙත් ඔහුට පෙර ප්‍රංශයට පැමිණ නුපුරුදු සීතල උණුසුම සමග පොර බදමින් දුක් ගැහැට විඳ දරා ගනිමින් නුපුරුදු මිනිසුන් ගෙන් පිරි ලෝකයේ මහා මෙහෙවරක් කල භික්ෂුන් වහන්සේලා සිටිති. සැදැහැති බෞද්ධ පින්වතුන් සිටිති. බුදු දහමේ පින්බර ආත්මය මේ නුපුරුදු දේශයේ ගොඩ නැගුණේ ඔවුන්ගේ දහදිය කඳුළු වේදනා මත ය. ඒ උතුම් මෙහෙවර පිටරැටියන්ට පරගැති කම් කරන කෙනෙකුට විනාශ කරන්නට ඉඩ දී අප තවදුරටත් බලා සිටිය යුතු ද?

යුරෝපයට ගිය කිසිදු තානාපතිවරයෙක් මේ අයුරින් බුදු දහම පාගා දමා නැත. අනෙක් සියළුම තානාපති කාර්යාල වල සම්බුද්ධ ජයන්ති උත්සව පැවැත්වූණ ද පැරිස් නුවර තානාපති කාර්යාලයේ එය සිදු නොවුනි. තානාපතිවරයා විසින් පැරීසියේ ඇති සියලූ විහාරස්ථාන වර්ජනය කර ඇති බැවින් භික්ෂුන් වහන්සේලා ද තානාපති කාර්යාලයේ කිසිදු ආගමික කටයුත්තකට සහභාගී වීමෙන් වැලකී සිටිති.

තානාපති කාර්යාලවලට බුදූ පිළිම පරිත්‍යාග කරන පුවතක් පසු ගිය කාලයේ පුවත් පත් වල පල වූ විට පැරිස් බොදුනුවන්ට දැනුනේ බුදු රදුන් ඇණ ගසන්නට දේවදත්තට භාර දෙන්නේ ය යන හැගීමයි. මක්නිසාද යත් පැරිසියේ තානාපති කාර්යාලයේ බුදු පිළිමයට වූ දෙය දන්නා නිසා ය. එනිසා සත්‍ය තත්වය මෙයයි. වරක් ලංකාවේ පාකිස්ථාන තානාපතිනිය ලංකාවට පැමිණි පාකිස්ථාන විදේශ ඇමතිවරයා ද සමග ලංකාවේ සිරි නරඹන්නට ගියා ය. එහිදී විහාරස්ථානයකට ගිය ඇය අතේ පිරිත් නුලක් බැද ගත්තා ය. මුස්ලිම් ආගම යනු තද නීති රීති ඇති ආගමකි. එසේ වුවද ඇය ඒ අයුරින් දැක්වූ ආගමික සුහදතාවය කෙතරම් ගෞරවයක් ද? දයාන් ජයතිලකට තව ලෝකයෙන් ඉගෙන ගත යුතු බෝහෝ පාඩම් තිබේ. මානයෙන් හිස උදුම්මවාගෙන අන් ආගම් වලට නිගරු කිරීම සුනඛ ස්ටයිල් එකක් බව ඔහුට තවම අවබෝධ වී නැත. ඔහු කෙරෙහි හොද කියන කිතුණු බැතිමතෙක්වත් සොයා ගත නොහැකි තරම් ය. අන් තානාපතිවරුන් සිය කාර්යභාරය මැනවින් ඉටු කරද්දී දයාන් කර ඇත්තේ කුමක් ද? මොණරා පිල් විදහා අලංකාරය පෙන්වන්නට උත්සහ දරන විට පසුපස පෙදෙස නිරාවරණය වන්නා සේ බුදු දහම පාගා දමා අමුතු ගැම්මක් ගෙන පොරක් වෙන්නට වෙර දැරූ දයාන් ජයතිලකට යම් උගත්කමක් තිබුණත්, බුද්ධියක් නොමැති නිසා මුළු ලෝකයට ම මෝඩකම පෙන්වා අවසන්ය.

සිංහලයා පුවත් වෙනුවෙන්,

පරවාහැර චන්දරතන හිමි
ප්‍රංශයේ, පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති