Spread the News

ආණ්‌ඩුව කියන
ෙත්‍රෙභාෂා ප්‍රතිපත්තිය කොහේවත් නෑ
– ආනන්ද සංගරී

source:
ප්‍රශ්නය – දෙමළ ජාතික සන්ධානය සහ ආණ්‌ඩුව අතර පැවැති සාකච්ඡා මේ මොහොත වන විට නතර වී තිබෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කොයි ආකාරයට ද?

පිළිතුර – එම සාකච්ඡා නතර වී තිබෙන්නේ ඇයි ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම වැරදි කියන්නේ ආණ්‌ඩුවට.

මම සිතනවා එබඳු සාකච්ඡා අනවශ්‍ය බව. මේ මොහොත වන විට අවුරුදු පනහකටත් වඩා ගතවී තිබෙනවා. රටේ ඉන්න ඔක්‌කොම දන්නවා ප්‍රශ්නය කුමක්‌ද කියලා.

මෙම ජනාධිපතිතුමාට මිනිහෙක්‌ ගෑනියෙක්‌ කරන්නයි, ගෑනියෙක්‌ මිනිහෙක්‌ කරන්නයි ශක්‌තිය නැති වුණාට ඕනෑම දෙයක්‌ කරන්න ශක්‌තිය තිබෙනවා. ජනාධිපතිතුමා ඒ බව සිතට ගෙන කටයුතු කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු දෙනාටම ජනාධිපතිවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි. සිංහල ජනතාවගේ ජනාධිපති ලෙස සිතීමට ඉඩ නොතබා රූපවාහිනිය ඉදිරියට ගිහින් එක ජාතියකට, එක භාෂාවකට පමණක්‌ නොව සියලු දෙනාගෙම ජනාධිපති බව ප්‍රකාශ කළ යුතුයි. විසඳුමක්‌ දෙන බව ප්‍රකාශ කළ යුතුයි.

පළමු වන දේ තමයි ආණ්‌ඩුව සුළු ජනතාවගේ ප්‍රශ්න ගැන තීන්දුවක්‌ ගත යුතුයි. ජනාධිපතිතුමාත් සුළු ජනතාවට කැමැති ඇයි කියන එක ප්‍රකාශ කළ යුතුයි.

ආණ්‌ඩුව ප්‍රකාශ කළා එල්.ටී.ටී.ඊ. එකට තිබුණ ආයුධවලින් යුද්ධ දෙකක්‌ කළ හැකි බව. ඒක ඇත්ත නම් මොකටද ආයුධ ගෙන එන්නේ. ළඟදී චීනයේ සිට ආයුධ ගෙනාපු ගුවන් යානාවක්‌ මදුරාසියේ ගුවන්තොටුපළක නවතා තිබෙනවා. මම අහන්නේ මේ ආයුධ ගෙන එන්නේ මොකටද?

මේ ආණ්‌ඩුව මේ රට කොහාට ද ගෙනියන්නේ. දැන් යුද්ධය අවසන් වී තිබෙනවා. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුව එක පතුරමක්‌ පාවිච්චි කරල තිබෙනවාද? නෑ. එහෙම නම් ඇයි ආණ්‌ඩුව යුද්ධකාරයෙක්‌ වගේ කටයුතු කරන්නේ.

කිලිනොච්චියේ ගුවන්තොටුපළක්‌ හදන්නේ කාටද? කවුරුවත් ඉල්ලුවද? කිලිනොච්චියේ ඉඳල යාපනයට කොච්චර දුර ද? කිලිනොච්චියේ ඉඳල යාපනයට තිබෙන්නේ සැතපුම් 42 ක්‌ පමණයි. පලාලිවල ගුවන්තොටුපළක්‌ තිබියදී කිලිනොච්චියට ගුවන්තොටුපළක්‌ අවශ්‍ය ද? එල්.ටී.ටී.ඊ. එකට ඕනි වුණේ ඔවුන්ගේ වෙන වැඩ නිසයි. ආණ්‌ඩුවත්, එල්.ටී.ටී.ඊ. එක වගේ වෙන වෙන වැඩ කරන්න යනවද? ඒකයි මම අහන්නේ.

කවුද ඉල්ලුවේ ඔය ස්‌ටේඩියම්. අපේ මිනිස්‌සුන්ට කන්න කෑම නෑ. ඉන්න ගෙයක්‌ නෑ. ඉතින් කාටද ස්‌ටේඩියම් ඕනි.

ප්‍රශ්නය – පසුගිය දිනක ඔබ ජනාධිපතිතුමා වෙත ලිපියක්‌ යොමු කර තිබුණ. එම ලිපිය පුවත්පත්වල පවා පළ කර තිබුණ.

එම ලිපියට ජනාධිපතිතුමාගෙන් ලැබුණ ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර – මම ජනාධිපතිතුමාට හුඟක්‌ ලියුම් ලියල තිබෙනවා. ඔබ අහන්නේ මොන ලිපිය ගැන ද කියල මම දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක්‌ තිබෙන අවස්‌ථාවල මම ජනාධිපතිතුමාට ලිපි ලියනවා.

පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් 90% ක්‌ම අලුත් අය. ඒ අය අපේ ඉතිහාසය දන්නේ නැහැ. නමුත් 1970 ඉඳල මොකද වුණේ කියල ජනාධිපතිතුමා දන්නවා. බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ගැන, 13 වැනි සංශෝධනය ගැන ජනාධිපතිතුමා දන්නවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසඳුමක්‌ ගෙන ආ අවස්‌ථාව වන විට පාර්ලිමේන්තුවේ අගමැතිතුමා ලෙස කටයුතු කළේ අද ජනාධිපතිතුමා තමයි. නමුත් තේරුමක්‌ නැතිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත් කරන්න හදනවා. (පාර්ලිමේන්තු සබ් කොමිටි)

ප්‍රශ්නය – ඔබ ප්‍රකාශ කරන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත් කිරීම තේරුමක්‌ නැති බවද?

පිළිතුර – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට මොකද්ද කරන්න පුළුවන්. තීන්දුවක්‌ දුන්නත් විරුද්ධ වෙන්නත් කට්‌ටිය ඉන්නවා.

තේරීම් කාරක සභාවක්‌ පත් කරන්නේ කුමකටද? ජනාධිපතිතුමා කල්පනා කළ යුතුයි සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාම මේ රටේ සමගියෙන් සිටිය යුතු බව. ඒක දැන් තිබෙනවා ද? නැහැ.

බලන්න කොතරම් සංස්‌ථා මණ්‌ඩල තිබෙනවා ද කියලා. ඒවායෙන් කීයක, කී දෙනෙක්‌ දෙමළ සහ මුස්‌ලිම් අය සිටිනවද? සමගියෙන් ඉන්න නම් සම උරුමයක්‌ තිබිය යුතුයි. පසුගිය කාලයේ සිවිල් සේවයට නිලධාරීන් බඳවා ගත්තත් දෙමළ සහ මුස්‌ලිම් අය බඳවාගෙන නැහැ. එහෙම නම් මේ ආණ්‌ඩුව සියලු දෙනාටම සමව සලකනවා කියල කියන්න පුළුවන්ද?

මේ රටේ අපි සියලු දෙනාටම සමගියෙන් ඉන්න නම් අපි සියලු දෙනාට සම අවස්‌ථා තිබෙන්න ඕනි. අපේ අම්මත්, ඔබගේ අම්මත් යන දෙදෙනාම දෙමළ. ඒක තමයි ඉතිහාසය. විජය රජුගේ පවුල දෙමළ. ඒ වගේම විජයගේ 700 ක්‌ වූ පිරිවර විවාහ වූයේ දෙමළ කාන්තාවන් සමග. ඔවුන් සමග දහස්‌ ගණනක්‌ පවුල් ප්‍රමාණයකුත් පැමිණ තිබෙනවා. ඒ අනුව පැහැදිලි වනවා අපි ඔක්‌කොම සහෝදරයන් වන බව. භාෂාව තමයි අපි අතර තිබෙන එකම භේදය. ඔයා සිංහල භාෂාව කතා කරනවා. මම දෙමළ කතා කරනවා. නමුත් අපේ පරම්පරාව එකයි. මහාවංශයේ තිබෙන ඉතිහාසය ඒක තමයි. එහෙම සිතුවොත් අපට ප්‍රශ්න විස¹ගන්න ලේසියි නේද?

ප්‍රශ්නය – ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කර තිබුණා මේ රටේ කිසිදු ජාතියකට විශේෂ ප්‍රදේශ නොමැති බව. ජනාධිපතිතුමා එම ප්‍රකාශය කර තිබුණේ දෙමළ ජාතික සන්ධානය ඉඩම් සහ පොලිස්‌ බලතල ඉල්ලීමෙන් පසුවයි. එම ප්‍රකාශය අනුව පැහැදිලි වනවා නේද උතුරු සහ නැගෙනහිර පළාත් සභාවට ඉඩම් සහ පොලිස්‌ බලතල දෙනවාට ආණ්‌ඩුවේ කැමැත්තක්‌ නොමැති බව.

පිළිතුර – ඒ කරපු ප්‍රකාශය වැරැදියි. කවුද කිව්වේ උතුර නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩමක්‌ කියලා. ඒ ප්‍රදේශයේ වැඩිපුර දෙමළ ජනතාව ඉන්නවා. ඒ නිසා පිට පළාත්වල මිනිසුන් ඒ ප්‍රදේශයට දමනවා.

ප්‍රශ්නය – වර්තමානයේ දී ඒ ආකාරයට උතුර සහ නැගෙනහිර පළාත් තුළ සිංහල හෝ මුස්‌ලිම් ජනතාව පදිංචි කරන්නේ නැහැ නේද? සිංහල ජනතාවගේ විරෝධය එල්ල වී තිබෙන්නේ එම ප්‍රදේශ දෙමළ ජනතාවට පමණක්‌ වෙන් කිරීම පිළිබඳව නේද?

පිළිතුර – දෙමළ, ඉංගී්‍රසි දන්නේ නැතිව යාපනයට ගිහින් මොනවහරි කරන්න පුළුවන් නේද? ඒකනේ දැන් ආණ්‌ඩුව කරන්නේ.

දැන් ආණ්‌ඩුව භාෂා තුනේ ප්‍රතිපත්තියක්‌ පිළිබඳ කතා කරනවා. කොහේද තියෙන්නේ එහෙම එකක්‌. මම වගේ අය පොඩ්ඩක්‌ කතා කරනවා. වෙන කොහේද භාෂා 3 ක්‌ ක්‍රියාත්මක වෙන්නේ.

ප්‍රශ්නය – ෙත්‍රෙභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ මෑත කාලයේ සිට. එහි සාර්ථකත්වය දකින්න යම්කිසි කාලයක්‌ ගත වනවා නේද?

පිළිතුර – කොහේද ක්‍රියාත්මක වන්නේ. සිංහල ළමයට දෙමළත්, දෙමළ ළමයට සිංහලත් සම ආකාරයෙන් ඉගැන්විය යුතුයි. දෙමළ ළමයට සිංහල ඉගෙන ගන්න කියලා අපි භාෂා තුනෙන් වැඩ කරනවා කියන එක හරිද? කොතරම් සිංහල පාසල් සංඛ්‍යාවක දෙමළ උගන්වනවා ද කියල කියන්න.

ප්‍රශ්නය – දකුණේ බොහෝ පාසල්වල මේ අවස්‌ථාව වන විටත් දෙමළ භාෂාව විෂයයක්‌ ලෙස උගන්වනවා නේද?

පිළිතුර – කොහේද? මට ඒක පිළිගන්න බැහැ. යාපනයේ සියලුම පාසල්වල 1956 වෙනකම් සිංහල භාෂාව ඉගැන්වූවා. එය නතර වූයේ සිංහල පමණක්‌ පනත ගෙන ආවයින් පසුව තමයි. අපේ තාත්තා විදුහල්පතිවරයෙක්‌. එම පාසලේ සිංහල ඉගැන්වූවා.

අපි සහෝදරත්වයෙන් වෙනත් භාෂාවක්‌ ඉගෙන ගැනීමට කැමැති මිනිස්‌සු. නමුත් බලහත්කාරයෙන් කවුරුවත් ඒක කරන්නේ නැහැ. ඒක ආරම්භ කරන්න ඕනි කැමැත්තෙන්. අපි දෙගොල්ලම ඔවුනොවුන්ගේ භාෂාවන් ඉගෙන ගත්තහම සමගියෙන් ඉන්න පුළුවන් බව පළමුවෙන් ප්‍රචාරය කරන්න ඕනි. හිටපු ගවනර් කෙනෙක්‌ ඇවිත් නිකම්ම රටේ භාෂා තුනක ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක වන බව කියන එක හරිද?

ප්‍රශ්නය – බොහෝ පාසල්වල ෙත්‍රෙභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වනවා නේද?

පිළිතුර – මම පිළිගන්නේ නැහැ. මම පුවත්පතක වත් සිංහල භාෂාව උගත් ඉල්ලුම්පත්‍ර කැඳවා තිබෙනවා දුටුවේ නැහැ.

ප්‍රශ්නය – වර්තමානයේදී වාසුදේව නානායක්‌කාර මහතාත්, ඊට ප්‍රථම ඩිව් ගුණසේකර මහතාත් ඒ සම්බන්ධයෙන් බොහෝ කටයුතු කළා නේද?

පිළිතුර – වාසුදේව, ඩිව් ගුණසේකර වගේ මමත් වාමාංශික තමයි. ඔවුන් සිතන ආකාරයට ආණ්‌ඩුව කටයුතු කරන්නේ නැහැනේ. ඒ දෙන්න මගේ හොඳ යාළුවෝ. ඔවුන් ජාති භේදයෙන් තොරව කටයුතු කරනවා කියලා මම පිළිගන්නවා. නමුත් ඒ අයට තනියම මොනවද කරන්න පුළුවන්.

ප්‍රශ්නය – නමුත් මේ අවස්‌ථාව වන විට බොහෝ රජයේ පාසල්වල දෙමළ භාෂාව උගන්වන බව සඳහන් කිරීමට පුළුවන්.

පිළිතුර – මම ඒක පිළිගන්නේ නැහැ. දකුණේ දෙමළ භාෂාව උගන්වන පාසල්වල ලැයිස්‌තුවක්‌ මට දෙන්න. පාසල්වල උගන්වනවා නම් සියලු පාසල්වල ඉගැන්විය යුතුයි. පාසලක දෙකක කරල ඒක හරියන්නේ නැහැ නේ.

ප්‍රශ්නය – ඔබ සඳහන් කළා බණ්‌ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම පිළිබඳව මෙන්ම, 13 වැනි සංශෝධනය පිළිබඳවත්. ඒ වගේම ඔබ අවධාරණය කරන්නේ ඒ අනුව යමින් විසඳුමක්‌ අවශ්‍ය බවයි. නමුත් එම ගිවිසුම්වලට අතීතයේදී සිංහල ජනතාව විරුද්ධ වී තිබෙනවා නේද?

පිළිතුර – සිංහල ජනතාව විරුද්ධ ඇයි කියන එක මට කියන්න

ප්‍රශ්නය – සිංහල ජනතාව එම ගිවිසුම්වලට එරෙහිවී තිබෙන්නේ, එම ගිවිසුම් මගින් රට බෙදෙනවා යන පදනමේ සිට තමයි.

පිළිතුර – ඒක බොරු. මුළු ලෝකයම ඒකට විරුද්ධයි. රට බෙදනවට ඇමරිකාව, ඉන්දියාව ඇතුළු කවුරුවත් කැමැති නැහැ. ඇයි බය වෙන්නේ.

ප්‍රශ්නය – ඔබ මහාවංශය පිළිබඳව සඳහන් කළා. නමුත් දෙමළ ජනතාවගේ ඉතිහාස පොතක්‌ වන “යාල්පානම් වෛපමාලේ” කෘතියේ සඳහන් කරල තිබෙනවා අතීතයේදී යාපනයේ සිංහල ජනතාව ජීවත්වූ බවත්, එම ප්‍රදේශයේ අන්ධ වීණා වාදකයකුට නින්දගමක්‌ ලබාදුන්නු පසුව, වැලිගොඩ නමින් හැඳින්වූ එම ප්‍රදේශයේ වීණාකරුගේ නින්දගම යන අරුත ඇති යාල්පානම් වූ බවත්. එම ඉතිහාස කතාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – ඒක පිස්‌සු කතාවක්‌. යාපනයේ සිංහල මිනිස්‌සුන් ඉඳල තිබෙනවා. ගාල්ලේ පානදුරේ දෙමළ අය ඉඳල තිබෙනවා. ඒ කාලේ ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ජාතීන් ජීවත්වී තිබෙනවා. නමුත් යාපනයේ ප්‍රදේශයේ පරම්පරාවෙන් පරම්පරාවට දෙමළ ජනතාව ජීවත්වී තිබෙනවා. අපි කියන්නේ එක අවුල් කරන්න එපා කියන එක තමයි.

දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරී සමග
සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය