Spread the News

සම්බන්ධන් පිරිසක්‌ සමග රජයට එක්‌වීමේ සූදානමක්‌…
ද්‍රවිඩ සන්ධානය තුනට කැඩෙයි!

සමන් ගමගේ source:

ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ ප්‍රබල මත ගැටුමක්‌ හටගෙන ඇතැයි එහි අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුරේෂ් පේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතුව එම සන්ධානය කොටස්‌ තුනකට කැඩී යන ලකුණු පහළ වී ඇතැයිද සඳහන් වේ.

ජිනීවා සමුළුවට සහභාගි වීම ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් ඉකුත්දා ආර්. සම්බන්ධන් මහතාට දැඩි ලෙස දෝෂාරෝපනය කිරීමටද සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා ගජේන්ද්‍රන් කටයුතු කර තිබේ.

එහිදී සම්බන්ධන් මහතා මුදල් ලබාගෙන රජයේ සමග එක්‌වී ඇමැති ධුරයක්‌ ලබා ගැනීමට එකඟ වීම ජිනීවා යැම ප්‍රතික්‍ෂේප කිරීමට ප්‍රධාන හේතුව බව කියමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගඡේන්ද්‍රන් බරපතළ ලෙස චෝදනා කර ඇතැයිද වාර්තා වේ.

පසුගිය දා සම්බන්ධන් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සලය වෙත ලිපියක්‌ යෑවීමට පියවර ගෙන ඇත්තේද එම දොස්‌ පැවරීම හමුවේ බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය මෙසේ බෙදී යැමට මේ වන විට විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ ප්‍රබලයන් වන ඇමරිකා කොටි නායක රුද්‍රකුමාරන්, නෝර්වේ කොටි ප්‍රධානී නෙදියවන් සහ ප්‍රංශයේ කොටි නායක තිලකරන් අතර ඇති වී තිබෙන බල අරගලය තවත් අතකින් හේතු වී තිබෙන බවද සඳහන් වේ.

මෙතෙක්‌ කලක්‌ ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ රුද්‍රකුමාරන් කණ්‌ඩායම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ද නෙදියවන් පිල සමබ්න්ධන් මහතා සහ තිලකරන්ගේ කණ්‌ඩායම ගඡේන්ද්‍රන් විසින්ද මෙහෙයවා ඇත.

කෙසේ වෙතත් මෙම පිල් බෙදීමේදී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කණ්‌ඩායම ප්‍රබල වී සිටන බවද වාර්තා වේ. ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ පවතින මෙම තත්ත්වය හමුවේ නුදුරේදීම ආර්. සම්බන්ධන් මහතා තවත් කිහිප දෙනකු සමග රජයට එක්‌වීමේ සූදානමක්‌ ඇතැයිද දැනගැනීමට තිබේ.