නයෙකුට පෙම්කළ වරදට විඳවන නළගන මෑ!

Spread the News

නයෙකුට පෙම්කළ වරදට විඳවන නළගන මෑ!
source:
නයි නළඟන දැන් හරි ප්‍රසිද්ධය. පසුගිය අගෝස්‌තු මස 28 වැනිදා කොල්ලුපිටිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ, ක්‌ලියෝපැට්‍රා රාත්‍රි සමාජ ශාලාවේදී (නයිට්‌ ක්‌ලබ්) මේ නයි නළඟන පොලිසිය අත්අඩංගුවට ගත්තේ, නාගයකු සමග සිටියදීය.

අපට දැන් සිහිවන්නේ ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ “නාගිනා” හින්දි චිත්‍රපටයය. ශ්‍රීදේවි නම් හින්දි සිනමා තරුව, නයකු සේ නැටූ හැටිද, ඒ අසල නයි හිටි හැටිද අපට මැවී පෙනේ.

නයි සමග නැටීම අලුත් දෙයක්‌ නොවේ යෑයි ඒ නිසා අපට සිතේ.

කොල්ලුපිටිය, ක්‌ලියෝපැට්‍රා රාත්‍රි සමාජ ශාලාවේදී කොල්ලුපිටිය පොලිසිය නයි නළඟන අත්අඩංගුවට ගත්තේ පොලිස්‌ හදිසි ඇමතුම් අංශයට ලැබුණ දුරකතන ඇමතුමකටය.

ඇත්තමට අපේ රටේ නීතියට අනුව නයි ළඟ තබා ගත නොහැකිද? නයි නටවන මිනිසුන් වසර ගණනාවක්‌ තිස්‌සේ නයි නටවා, ජීවිකාව කරන බවද අපි දනිමු. මේ නයි නැටුම් කුඩා දරුවන් රැස්‌ කකා බලාසිටින්නේ හරි සතුටිනි.

කොල්ලුපිටිය, රාත්‍රි සමාජ ශාලාවට පැමිණෙන පිරිස, සතුටු කරන්නට, පුදුම කරන්නට මේ නළඟන, නයි පැටියා රැගෙන ගියේ, නයා සමඟ නැටීමටය. අවසානයේදී ඇයට, පොලිස්‌ අත්අඩංගුවට පත්ව, නයාද අහිමි වී ගියේ නොසිතූ පරිද්දෙනි.

දැන් ඇය නයා ඉල්ලා ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පවරමින්, පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරෙහිව මූලික මිනිස්‌ අයිතිවාසිකම් පෙත්සමක්‌ද ඉදිරිපත් කර තිබේ.

ඇය කළේ වරදක්‌ද, නැද්ද පිළිබඳ නොව අප මේ කතා කරන්නේ “නයි නළඟන” නයකුට මේ තරම් පෙම් බඳින්නේ මන්දැයි යන කාරණය පදනම් කරගෙනය.

අපේ කතා නායිකාව නමින් නිරෝෂා විමලරත්නය. නිරෝෂා තවමත් විසිඑක්‌ හැවිරිදිය. ඇය ලස්‌සනය. ඇගේ නර්තන අප දැක නැති මුත්, නටන්නට උපන් හපන්කම් ඇති තරුණියකැයි බැලූ බැල්මට පෙනේ.

නිරෝෂාගේ පියා නමින් ආර්. එම්. විමලරත්නය. ඔහු හොඳ බෞද්ධයෙකි. මව ඉන්දීය ජාතික කාන්තාවකි. ඇය හින්දු ආගමේ කෙනෙකි. මේ මවටත්, පියාටත් දරු තිදෙනෙකි. නිරෝෂා ඒ පවුලේ බාලම දැරිය ය.

අපොස සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වූ ඇය වැඩිදුර අධ්‍යාපනයට නොගියේ නර්තනය සුදුසුම රැකියාව බව තේරුම් ගත් නිසාය.

ඇය නටන්නට ගියේ රාත්‍රි සමාජ ශාලාවටය. සවස 6.30 සිට අලුයම වනතෙක්‌, හත් වතාවක්‌ ඇය නර්තනයේ නිරත වෙමින් ජීවිකාව කරගෙන ගියාය. මවත්, පියාත් ඒ බවදැන සිටියා පමණක්‌ නොව, ඒ රැකියාවට විරුද්ධත්වයක්‌ද පළ කර නැත.

රාත්‍රි සමාජ ශාලා අපේ රටට නුහුරු, නුපුරුදු වුවත්, කොළඹ සල්ලිකාරයන්ට හා ඇමැතිවරුන්ගේ පුත්තු ආදීන්ට මේවා කොත්තු කඩ සේ සමීප ඒවාය.

නිරෝෂා පසුගිය 28 වැනිදා නටන්නට යනවිට නයි පැටියාද රැගෙන ගියාය. මේ නයි පැටියා ඇයට කොහෙන්ද? ඇය පවසන්නේ නම් තුඹසකින් මේ නයි පැටියා අල්ලාගත් බවය. කුඩා නයි පැටියාට කවා පොවා ඌව ඇති දැඩි කළ ඇය නයාට අසීමිතව පෙම් කළාය. සත්ත්ව කරුණාව යනු ඒකය. සමහරු සුරතලයට පූසෝ හදා වඩා ගනිති. තවත් අය බලු පැටව් දහය පහළොව හදා වඩා ගනිති. ගිරව් ද, සැළළිහිනියෝ ද, ලේන්නු ආදීන්ද, මාළුවන් ආදීන්ද ඇති කරති. කපුටෝ සහ කවුඩන් ඇති කිරීම නම් නීතියෙන් තහනම් බව අප කුඩා කල සිට දන්නා දෙයකි.

නිරෝෂා නයි සමග නැටීම අපට අහන්නට ලැබුණේ පොලිසිය නිසාය. පොලිසිය අදාළ ස්‌ථානය වටලා නයත් සමග ඇයව අත්අඩංගුවට නොගන්න, මේ රටේ රාත්‍රි සමාජශාලාවල නයි සමග නටන සුරූපී නළඟනන්aa සිටින බවවත් රටේ සාමාන්‍ය ජනයාට දැනගන්නට ලැබෙන්නේ නැත.

ශේ්‍රaෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ ඇය, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 11, 12(1), 13(1), 13(2), 14(1) ජී යන වගන්තිවලින් සහතික කර ඇති මූලික අයිතීන් පොලිසිය උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙසත් තමාට අසභ්‍ය වචනයෙන් බැනවැදී පොලිසිය කළ හිරිහැරවලට රුපියල් ලක්‍ෂ විස්‌සක වන්දියක්‌ ගෙවන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

මේ කියන රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු තෝමස්‌ පෙරේරා ය. කොල්ලුපිටිය පොලිසිය විසින් කිහිපවරක්‌ම රාත්‍රි සමාජ ශාලාව වැටලීම නිසා හිමිකරු ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක්‌ ද ගොනු කර තිබී ඇත. පොලිසියට එරෙහිව අධිකරණයට යැම නිසා ඊට පළිගැනීමක්‌ ලෙස, නයි පැටියා සමඟ තමාව අත්අඩංගුවට ගත් බවද පෙත්සම ඉදිරිපත් කරමින් ඇය පවසා ඇත.

එක අතකට මේ සිද්ධිය අපේ රටට අලුත් ය. නාගිනා හින්දි චිත්‍රපටයේ මෙන් ඇය නයි සමග නැටුවේ නම් බොහෝ අය සතුටින් නර්තනය දෙස ඇහිපිය නොහෙළා බලා සිටින්නට ඇත. රැස්‌ව සිටි පිරිසට නයා දෂ්aට කළේ නම් වන්නේ මහා අකරතැබ්බයක්‌ යෑයි කල්පනා කළ පොලිසිය, රාත්‍රි සමාජ ශාලාව වටලා, නයා සමග නළඟන අත්අඩංගුවට ගත්තා වන්නට ද පුළුවන.

නිරෝෂා පොලිසිය අත්අඩංගුවට ගෙන ජාතික රෝහලට ඇතුළත් කළේ ඇගේ මානසික තත්ත්වය පරීක්‍ෂා කිරීමටය. අංගොඩ මානසික රොහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ඇය පරීක්‍ෂා කර බලා ලබාදුන් වාර්තාවෙන් ඇයට කිසිම මානසික රෝගයක්‌ නැතැයි සඳහන් කර ඇත.

නිරෝෂා දෙස ඇතමුන් බැලුවේ නයි සමග ඇය කරන සෙල්ලම කුමක්‌දැයි විමසමිනි. ඇතමුන් කල්පනා කළේ විකෘති ලිංගික අවශ්‍යතාවක්‌ සඳහා නයා ළඟ තබාගෙන සිටින්නට ඇතැයි කියාය. අදාළ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ එවැනි මානසික ව්‍යාධියක්‌ ඇයට නොමැති බවයි. නයි පැටියාට ඇය තුළ ඇති අසීමිත බැඳීම මිස ඊට එහා දෙයක්‌ නැතැයිද සඳහන්ය. නිරෝෂා විමලරත්න නම් විසිඑක්‌ හැවිරිදි තරුණිය, දැන් වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ නයි නළඟන ලෙසිනි.

ඇය හඬමින් හා ආවේගයෙන් ඉල්ලන්නේ නයි පැටියා යළි ලබාදෙන ලෙසය.

“මට නින්දක්‌ නෑ. කෑමට පිරියක්‌ නෑ. අනේ මගේ නයි පැටියා මට දෙන්න” ඇය ආයාචනා කරන්නේ එහෙමය.

මෙය සංසාරගත බැඳීමක්‌ද, එහෙම වන්නට බැරිකමක්‌ද නැත.

“නයි ගොඩක සිටියත් මට මගේ නයි පැටියා හොයාගන්න පුළුවන්” ඇය තිරහඬින් කියා සිටී.

ඒ කොහොමදැයි ඔබට සිතෙනු ඇත.

නයි පැටියෝ එන්න. කුඩා දරුවකු සේ නයිපැටියා ඇය අසළට එන බව ඇය කියයි.

නයා නරක නැත. නයාට ඇගේ භාෂාවද, හඬ ද එසේ හුරුවිය යුතුය. සාමාන්‍යයෙන් ගම්වල උදවිය විෂගෝර නාගයකු දුටුවිට “නාගයෝ ඔයා යන්න ඔයාට කරදරයක්‌ කරන්නෑ” කී විට නයා නයි පෙනය ද නවාගෙන, රිංග රිංගා කැලෑවට ඇදෙන බව ජනප්‍රවාදයේ එයි.

නයි මිනිස්‌ සබඳතාවට ද හොඳ ඉතිහාසයක්‌ තිබේ. බෝගසට අරක්‌ගත් නාගයින්, බුදුන් වහන්සේට සෙවනදුන් මුචලින්ද නාගයා ආදී නාගයන්ද සිහි වේ.

එසේ බලන කල නයි, නැටුම අරුමයක්‌ දැයි සිතේ. හෙට අනිද්දාට “නයි නළඟනට” දේශපාලනයට පිවිසෙන්නට සිත් පහළ වුවොත් ඒ පිළිබඳව පුදුම විය යුතු නොවේ. එහෙම ප්‍රසිද්ධ වන අය ද අද ඉහළට පැමිණ සිටී.

නිරෝෂාට නම් අවශ්‍ය ප්‍රසිද්ධිය නොව නයි පැටියා යළි ළඟට ගැනීමටය.

සිදුවූ අපහසුතාවලට සාධාරණය.

සත්ත්ව හිංසා හා ආරක්‍ෂණ පනතට යටතේ වරදක්‌ කර ඇති බව කියමින් පොලිසිය, ඇයව අත්අඩංගුවට ගත්තද, නයාට කිසිදු හිංසාවක්‌ නොකළ බව ද ඇය අධිකරණය හමුවේ කියා සිටී.

නයි පැටවකු සමඟ නටන්නට ගොස්‌, නිරෝෂා නයි නළඟන ලෙස ප්‍රසිද්ධ වූයේ අහම්බෙනි. නයි නළඟන දෙස දැන් රටම බලා සිටින්නේ නයි නැටුම් ද, නයි ළඟ තබා ගන්නා සහ සතුන් ඇති කරන අයට පවතින නීතිරීති පිළිබඳ අලුත් පාඩමක්‌ද කියා දෙමිනි.

මේ සුරූපී නයි නළඟනට, නයි පැටියා, ලැබේවිද? ශේ්‍රෂ්ඨාධිකරණයේ තීරණය කෙබඳුද? මේ සිද්ධිය දෙස බොහෝ අය බලා සිටින්නේ මෙය …. අපූරු මෙන්ම අහඹු සිද්ධියක්‌ නිසාය.

ශිරාන් රණසිංහ