NGO ගැන රජය අවදියෙන්

Spread the News

NGO ගැන රජය අවදියෙන්

අධීක්‍ෂණ කමිටුව සීරුවෙන්

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්

රට තුළ ක්‍රියාත්මක වන සියලුම රාජ්‍ය නොවන සංවිධාන (NGO) පිළිබඳ රජය දැඩි අවධානයකින් සිටින බවත්, එම සංවිධානවල සියලු ක්‍රියාකාරීත්වය සොයා බලන අධීක්‍ෂණ කමිටුවක් පත් කර ඇති බවත්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා පැවසීය.

යුද සමයේදී රාජ්‍ය නොවන සංවිධාන මේ රටට නොයෙක් බලපෑම් එල්ල කළ බවත්, ඉදිරියේදී උවද එවැනි තත්ත්වයක් ඇති නොවීමට රජය නිරන්තරයෙන් අවධානය යොමුකර සිටින බවත් හුළුගල්ල මහතා අවධාරණය කළේය.

දැනට මේ රට තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 1200 පිළිබඳ තොරතුරු තමන් සතු බව ද සඳහන් කළේය. මේ රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ සෑම මසකට වරක්ම සමාලෝචන හමුවක් පැවැත්වෙන බවත්, එහි ප්‍රධානියෙකු ලෙස තමන් කටයුතු කරන බවත් හුළුගල්ල මහතා පැවසීය.

සාර්ථකව ක්‍රියාත්මක වන මේ අධීක්‍ෂණ මණ්ඩලයේ සාමාජිකයන් දිස්ත්‍රික්ක මට්ටමින් යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් රජයේ තවත් අංශ කිහිපයක් ක්‍රියාත්මක වන බවත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිරන්තරයෙන් දැනුවත් කරන බවත්, හුළුගල්ල මහතා පෙන්වා දුන්නේය. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයකට මේ රටට ඉදිරියේදී කිසිදු හානියක් කිරීමට ඉඩ නොතබන බව ද ඔහු අවධාරණය කළේය. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (17) උදෑසන පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ කරුණු පෙන්වා දුන්නේය.