ත්‍රි”මලේ ඉන්දියානු ආයෝජන කලාපය රටට හිතකරද?

Spread the News

ත්‍රි”මලේ ඉන්දියානු ආයෝජන කලාපය රටට හිතකරද?
source:
මේ වන විට ඉන්දියානු රජයේ ඉහළ දූත පිරිසක්‌ රජයේ ප්‍රබලයන් සමග සාකච්ඡා කොට ඇත්තේ ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ඉන්දියානු සමාගම් ආයෝජන කලාපයක්‌ ඇති කිරීමයි. මෙය ආර්ථිකමය වශයෙන් මෙන්ම විශේෂයෙන් කලාපය තුළ දේශපාලනික වශයෙන් කතාබහකට ලක්‌වෙමින් පවතී. මේ සඳහා අපේක්‍ෂිත ආයෝජනය ඇ. ඩො. බිලියන 5 කි. මේ වන විට රටතුළ විවිධ ප්‍රදේශවල ආයෝජන කලාප පිහිටුවා තිබේ. කටුනායක, බියගම, කොග්ගල, මීරිගම වැනි ප්‍රදේශවල අපනයන සැකසුම් කලාපයන් පිහිටා තිබෙන අතර සීතාවක හා මිරි-ජවිල යන ප්‍රදේශවල කර්මාන්තපුරයන් ආයෝජන මණ්‌ඩලය යටතේ පාලනය වේ. මෙයට අමතරව කර්මාන්ත අමාත්‍යංශය යටතේද ලංකාවේ විවිධ ප්‍රදේශවල කර්මාන්තපුරයන් ක්‍රියාත්මක වේ.

මෙහිදී විශේෂ වන්නේ එක්‌ රටක ආයෝජකයන්ට පමණක්‌ සීමා වූ ආයෝජන කලාපයක්‌ ඇති කිරීමයි. මෙයට පෙර මීරිගම ප්‍රදේශයේ චීනයේ ආයෝජකයන්ට පමණක්‌ සීමා වූ ආයෝජන කලාපයක්‌ ඇති වූ අතර මෙය තවමත් ක්‍රියාත්මකවීමක්‌ දක්‌නට නොලැබේ. ලෝකයේ විවිධ රටවල මේ ආකාරයෙන් විශේෂිත වූ ආයෝජන කලාපයන් ඇති කිරීම දක්‌නට ලැබේ. විශේෂයෙන් වියට්‌නාමයේ මෙවැනි ආයෝජන කලාප දක්‌නට ලැබේ. ඉන්දියානු විශේෂිත ආයෝජන කලාපය තුළ ඖෂධ, මෝටර් රථ සැකසුම් කර්මාන්තශාලා, යටිතල පහසුකම් හා සංචාරක කර්මාන්තයට අදාළ කර්මාන්ත පිහිටුවීම අපේක්‍ෂා කරනු ලබයි. මේ සඳහා විශේෂ ප්‍රදේශයක්‌ නම් කොට නොමැති අතර බොහෝ විට ත්‍රිකුණාමලය වරායට ආසන්න ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. ත්‍රිකුණාමලය වරායට ආසන්න ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. ත්‍රිකුණාමලය වරාය හා ඒ අවට ප්‍රයෝජනයට ගත හැකි එහෙත් මේ වනතෙක්‌ ප්‍රයෝජනයට නොගත් ඉතා වටිනා ඉඩම් අක්‌කර 3000 කට අධික ප්‍රමාණයක්‌ නිකරුනේ වල්බිහි වී පවතී. දැනට ත්‍රිකුණාමලයේ කර්මාන්තපුරයක්‌ ක්‍රියාත්මක වන අතර එය වරායට ඉතා දුරින් පිහිටීම ප්‍රවාහනයේදී අවාසි සහගත තත්ත්වයක්‌ පවතී.

මෙවැනි ආයෝජනයන් සෘජු හා වක්‍ර ආයෝජනයන් වන අතර මෙම ආයෝජනයන් සෘජු ආයෝජනයන් වශයෙන් සිදු කරනු ලබයි. බොහෝ විට ආයෝජකයන් මෙරට කර්මාන්ත ආරම්භ කිරීමේදී සෘජු ආයෝජනයන් සිදු කරන අතර ආයෝජනවලින් 3/4 පමණ දේශීය විදේශ බැංකු මගින් ණය ලබාගෙන සිදු කිරීම ප්‍රවණතාවයක්‌ ලෙස දැකිය හැකිය. නමුත් මෙම ආයෝජනයන් සෘජු ආයෝජනයන් වශයෙන් පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් ආයෝජන මණ්‌ඩලයේ ඉදිරි අපේක්‍ෂාවන් වන්නේ ඉදිරි වසර තුළ ඇ. ඩො. බිලියන 23 ආයෝජන ඉලක්‌කයක්‌ සපුරා ගැනීමයි.

මේ වන විට රට තුළ විදේශ විනිමය අර්බුදයක්‌ හටගෙන ඇති අතර එය ගෙවුම් ශේෂයේ අර්බුද ඇතිවීමට ද බලපා තිබේ. රටකට අවශ්‍යයෙන්ම ලැබිය යුත්තේ සෘජු විදේශ ආයෝජනයන් බව කිව යුතුය. මෙවැනි සෘජු විදේශ ආයෝජන තුළින් ගෙවුම් ශේෂ අර්බුදයට යම් ලෙසකින් පිළියමක්‌ වන අතර රුපියලේ අගය ස්‌ථාවරව පවත්වා ගැනීමටද හැකියාව ලැබේ. රුපියලේ අගය රු. 125 ක මට්‌ටමක පවතී යෑයි මහ බැංකුව උපකල්පනය කළද එය රුපියල් 129-134 මට්‌ටමට දොලනය වෙමින් පවතී. ආනයනයන් සඳහා විශාල පිරිවැයක්‌ දැරීමට සිදු වී තිබේ. ආනයන වියදම් සියයට 20% වැඩි ප්‍රමාණයක්‌ ඉහළ ගොස්‌ තිබේ. මෙය දිගින් දිගටම පැවතීම අහිතකර තත්ත්වයක්‌ වන අතර රුපියලේ අගය තව තවත් අවප්‍රමාණය වීමට බලපානු ලැබේ. මෙවැනි සෘජු ආයෝජනයන් ලංකාව තුළට පැමිණීම එක්‌තරා ආකාරයකින් රුපියලේ අගය ශක්‌තිමත්වීමට බලපානු ලබයි. අනෙක්‌ අතට මෙවැනි සෘජු ආයෝජන තුළින් විදේශ විනිමය සඳහා දායකත්වයක්‌ ඉදිරියේදී ලැබෙන අතර සෘජු රැකියා අවස්‌ථාවන් විශාල ප්‍රමාණයක්‌ ඇතිවීමට බලපානු ලබයි. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය තුළ එහි ජනතාවට මෙය ඉතා හොඳ අවස්‌ථාවක්‌ වන අතර මෙම ආයෝජන කලාපය තුළින් එම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා සඳහා අවස්‌ථාවන් උදාවනු ඇත. මෙම ආයෝජන කලාප තුළින් එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සඳහා හොඳ වෙළෙඳපොළක්‌ නිර්මාණය වන අතර ආයෝජන කලාපයේ නිපදවන භාණ්‌ඩ දේශීය වෙළෙඳපොළට අඩු මුදලකට ලැබීම තුළින් භාණ්‌ඩ මිල ගණන් තවත් තරඟකාරී වන අතර විශේෂයෙන් කාර්මික භාණ්‌ඩ මිල ගණන් තරඟකාරී වනු ඇත. එය යහපත් ලක්‍ෂණයක්‌ වුවත් දේශීය කර්මාන්ත සඳහා දැඩි බලපෑමක්‌ ඇතිවනු ඇත.

මෙම ආයෝජන කලාපයන් පිහිටුවීම මගින් ඉන්දියානු නව තාක්‌ෂණය ලංකාවට පැමිණෙන අතර යම් තාක්‌ෂණික දැනුමක්‌ ලංකාවේ කර්මාන්ත සඳහා උකහා ගැනීමට හැකිවනු ඇත. මෙම තාක්‌ෂණික ක්‍රමවේදයන් ලංකාවේ නිෂ්පාදන සඳහා භාවිතා කිරීමත්, ලංකාවේ කර්මාන්ත නවීකරණය උදෙසාත් ප්‍රයෝජනවත් වනු ඇත.

ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව සහ චීනය තරගකාරී තත්ත්වයන් නිර්මාණය කොට තිබේ. ඉන්දියාව හා චීනය අතර පවතින කලාපීය දේශපාලන අර්බුදය ඉතා සියුම් ආකාරයෙන් ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කරමින් පවතී. මෑතකදී කොළඹ ඉඩමක්‌ සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවකදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට සෘජු ලෙස දේශපාලනික වශයෙන් බලපෑම් ඇති කර තිබේ. මෙය එතරම් හිතකර තත්ත්වයක්‌ නොවන බව කිවයුතුය. කලාපයේ බලවතුන් ලංකාව වැනි කුඩා රටකට ආර්ථිකමය වශයෙන් වැදගත් වන අතර රටක ස්‌වාධිපත්‍යය ආරක්‌ෂාවීම ද සිදුවිය යුතුය. ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් සැලකීමේදී ඉන්දියාව පරදා චීනය මේ වන විට විවිධ අංශයන් තුළ ආයෝජනයන් සිදු කොට තිබේ. මෙහිදී ලංකාවට වැදගත් වන්නේ චීනය ද ඉන්දියාවද ඇමරිකාව ද වශයෙන් නොව සමස්‌තයක්‌ ලෙස රටේ සංවර්ධනයට අවශ්‍ය සෘජු ආයෝජනයන් ලබා ගැනීමයි. එම අවස්‌ථාව චීනයට පමණක්‌ නොව ඉන්දියාව සතුය. නමුත් අපට පෙනී යන්නේ ඉන්දියාව ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් දක්‌වන්නේ ඉතා මන්දගාමී, පසුගාමී ස්‌වභාවයකි.

ලංකාවේ විවිධ ක්‌ෂේත්‍රයන් තුළ ආයෝජන සම්බන්ධයෙන් පුළුල් ඉඩ ප්‍රස්‌ථා ලෝකයේ ආයෝජකයන්ට විවෘතව පවතී. ලංකාවට අවශ්‍ය වන්නේ ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දායක විය හැකි, රැකී රක්‌ෂා උත්පාදනය කළ හැකි නව තාක්‌ෂණය ලබාදිය හැකි ආයෝජන රාමුවකි. නමුත් 1977 න් පසු විවෘත ආර්ථිකයත් සමග මේ සියලු දේ ලැබී ඇත්ද යන්න අප ආපසු හැරී බැලිය යුතුවේ.

මෙසේ ඉන්දියානු ආයෝජකයන්ට පමණක්‌ සීමා වූ ආයෝජන කලාප රට තුළ පිහිටුවීම පිළිබඳ නැවත වතාවක්‌ බැලිය යුත්තේ සුභවාදී ආකල්පයකින් වීම ඉතා වැදගත්ය. ඉන්දියාව මේ සඳහා ත්‍රිකුණාමලය කලාපය කේන්ද්‍රගතවීම, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතවීම ආදී සාධක සැලකීමේදී ඉන්දියානු ව්‍යාප්තවාදය පතුරුවන්නේද යන්න පිළිබඳ සැකයක්‌ මතුවනු ඇත. නමුත් එය මිථ්‍යාවක්‌ වශයෙන් පෙන්වාදිය හැකිය. මක්‌නිසාදයත් වරායක්‌ හා ඒ ආශ්‍රිත කලාපයේ අයිතිය ලංකා රජයට සතුවීමත් ලංකාවෙන් අපනයන/ආනයනය කරන භාණ්‌ඩ සම්බන්ධයෙන් වගකීම තවමත් ශ්‍රී ලංකා රේගුවේ අධීක්‌ෂණයට යටත්වීමයි. එසේ පිහිටුවන්නේ ආර්ථික කලාපයක්‌, යුද කලාපයක්‌ නම් එය ගැටලු සහගත තත්ත්වයකි. අප දැන හෝ නොදැන ඉන්දියානු භාණ්‌ඩ ලංකාවේ වෙළෙඳපොළ ආක්‍රමණය කර හමාරය.

අද අපට අවශ්‍ය වී ඇත්තේ විදේශ ආයෝජන රට තුළට ගෙන්වා ගැනීමයි. මේ වනවිට වියට්‌නාමය, බුරුමය වැනි රටවලට විදේශ ආයෝජකයන්ගේ ආකර්ශනය වැඩි වී තිබේ. නමුත් එම රටවල් විවිධ අංශයන්වලින් සැසඳීමේදී ලංකාව ඉදිරියෙන් සිටී. සාක්‍ෂරතාවය, තාක්‍ෂණික දැනුම, ස්‌වභාවිකත්වය මෙන්ම රට අලංකාර වීම, ඉදිවෙමින් පවතින යටිතල පහසුකම් යනාදී අංශයන්වලින් ලංකාව ඉදිරියෙන් සිටී. මේ නිසා සිදුවිය යුත්තේ ඉන්දියානු, චීන, ඇමරිකානු වශයෙන් හෝ සිදුවන ආයෝජනයන්වල යහපත් හා අයහපත් ලක්‍ෂණයන් සන්සන්දනාත්මකව අධ්‍යයනය කොට රටට ගැලපෙන ආකාරයෙන් හා රටට හිතකර වන දැ පමණක්‌ ලබා ගැනීමයි.

විත්‍රාල් ජයවර්ණ