වැලිකඩ යුදපිටියක් වෙයි

Spread the News

වැලිකඩ යුදපිටියක් වෙයි

* අවි ගබඩාව කඩා රැඳවියෝ හිර ගෙදර දෙවනත් කරති

* නි. පොලිස්පති රණවනට සැත්කමක්

* වැලිකඩ තවමත් රැඳවියන් අතේ

* වාට්ටුවලින් කුඩු හා සෙල්ෆෝන්

* 40කට තුවාල

* 11ක් මරුට

source:

විජයානි එදිරිසිංහ,පණ්ඩුක සමරසේකර, රක්‍ෂණ ශ්‍රියන්ත සහ බුද්ධිකා ඉඹුලාන

වැලිකඩ හිරගෙදර රැඳවියෝ ඊයේ සන්ධ්‍යාවේ සිය වාට්ටුවල දොරගුළු කඩා එළියට පැමිණ, ඉක්බිති අවි ගබඩාවට පැන එහි අවි ද පැහැරගෙන ආරක්ෂක නිලධාරීනට හා පොලිස් නිලධාරීනට ද පහර දෙමින් හා වෙඩි තබමින් එහි වහලය මතට නැගී මුළු පළාතම දෙවනත් කළහ.

දෙමටගොඩ ප්‍රදේශය පුංචි යුද්ධයක ස්වභාවයක් ගත් අතර, සියලු මංමාවත් වසා දැමිණි. රැඳවියන් මෙසේ කලහකාරී ලෙස හැසිරුණේ වැලිකඩ හිරගෙදර වාට්ටු කිහිපයක තිබූ මත් ද්‍රව්‍ය හා වෙනත් අනවසර භාණ්ඩ සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අවස්ථාවේ ය.

මෙම මෙහෙයුම පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ උදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලදී.

පුවත්පත ම්‍රද්‍රණයට යන අවස්ථාව වනවිට තුවාල ලැබූ රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් ඇතුළු තුවාලකරුවන් හතළිස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 11දෙනෙකු රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටියහ.

තිදෙනෙකු (03) ගේ තත්ත්වය බරපතළ වන බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. සිවිල් වැසියෙකු සහ විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති ආර්. රණවන මහතා ද සිද්ධියෙන් බරපතළ තුවාල ලබා හදිසි ශල්‍යකර්මයකට ද භාජනය කර ඇත.

මේ මෙහෙයුමේදී වැලිකඩ බන්ධනාගාරයේ “එල් වාට්ටු” හා “චැපල්” වාට්ටුව සෝදිසි කිරීමට ලක්වූ අතර එහිදී ජංගම දුරකථන, මත්ද්‍රව්‍ය ආදී තහනම් ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීමට ද හැකිවී තිබේ. එහිදී රැඳවියන්ගෙන් දිගින් දිගටම එල්ල වූ විරෝධය නිසා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවුවද ඔවුන්ගේ විරෝධතාව අවසන් වී නොමැත.

ඉන් නොනැවතුණු රැඳවියෝ බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා අවි පැහැරගෙන බන්ධනාගාරයේ වහලය මතට නැගී සතර අතට වෙඩි තබන්නට වූහ. කුපිත වූ රැඳවියන් බන්ධනාගාරයේ බලය සියතට ගැනීම හේතුවෙන් විශේෂ කාර්ය බළකායේ හා යුද හමුදා සාමාජිකයන් 2000ක් පමණ මෙහි ආරක්ෂාවට කැඳවීමට නිලධාරීන්ට සිදුවී තිබිණි. මේ රැඳවියන්ගේ වෙඩි තැබීම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි වැදී මහමග ඇදවැටුණු අතර රැඳවියන් කිහිප දෙනෙකුද තුවාල ලැබූහ.

මෙම කලබලකාරී ක්‍රියාවන්ට එක්වී ඇති රැඳවියන් බොහොමයක් මිනී මැරුම්, මෙන්ම බරපතළ අපරාධයන්ට සම්බන්ධ අපරාධකරුවන් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඊයේ පස්වරුවේ මෙම කලබලකාරී සිදුවීම වනවිටත් බන්ධනාගාරය තුළ 4000ක පමණ රැඳවියන් පිරිසක් සිටි බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

පුවත්පත මුද්‍රණයට යන විටත් බන්ධනාගාර නිලධාරීන් 4 දෙනෙකු රැඳවියන්ගේ භාරයට ගෙන තිබුණි. රාත්‍රී 07 වනවිට බන්ධනාගාරය තුළ සියලු විදුලි පහන් නිවා තිබූ අතර බන්ධනාගාරය තුළින් විනාඩි 20ක පමණ වෙඩි වරුසාවක් පිටතට එල්ල විණි. මුළු බන්ධනාගාරය වටා යුද පිටියක සිරි ගත්තේය. මෙම කලබලකාරී වාතාවරණය නිසා බේස්ලයින් මාර්ගය ඊයේ පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමිණි.

 

 

ඡායාරූප – සමන් ග්‍රී වෙදගේ