සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක්‌ නෑ

Spread the News

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක්‌ නෑ – I

source:
නැවතත් සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් අතර අසහනයක්‌ පැන නැගෙමින් ඇත. එය මෙවර මුස්‌ලිම් බලපෑම් හේතුකොටගෙන ඇතිවන අසහනයක්‌ ලෙස මතුවෙයි. නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය, හලාල් සහතික, කුරගල ඇතුළු බෞද්ධ සිද්ධස්‌ථාන මුස්‌ලිම්වරුන් අයිතිකරගැනීම, නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්‌ථාන බෞද්ධයනට අහිමි වීමට යැම, ආදී වශයෙන් මේ අසහනය ප්‍රකාශ වෙයි. එහි දී මුස්‌ලිම් ජනයාට හිරිහැර කරන සිංහල බෞද්ධයන්ගේ අඬු කඩන බවට ඇමැතිවරයකු තර්ජනය කර ඇතැයි පැවසෙයි. එවැනි තර්ජනයක්‌ කෙරිණි දැයි මම නො දනිමි. එහෙත් තමන්ට ඡන්දය දෙන සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වුවත් වෙනත් ජනවර්ගයකට එලෙස තර්ජනය කිරීමට කිසිවකු ඉදිරිපත් වේ යෑයි සිතිය නො හැකි ය. බොහෝ සිංහල දේශපාලනඥයන්ට තමන් මන්ත්‍රීවරුන් වන්නේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බව අමතක වෙයි. එය අමතක වීමකටත් වඩා සිංහල බෞද්ධයන් නිවටයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති නිසා යෑයි ද සිතිය හැකි ය. කිසියම් දේශපාලනඥයකු සිංහල බෞද්ධයන්ගේ අඬු කඩා දැමීමට කතාකර ඇත්නම් ඡන්දදායකයන් කළ යුත්තේ ඔහුගේ මන්ත්‍රී ධුරය ලබන වර අහිමිකර අඬු කඩා තටු ගලවා දැමීම ය. මේ අතර බොහෝ බෞද්ධයන් ප්‍රසිද්ධියේ නො කීව ද රජයේ උසස්‌ යෑයි සම්මත තනතුරු, විවිධ රාජ්‍ය හා වෙනත් සම්මාන සිංහල බෞද්ධ නොවන්නන්ට හිමිවීම පිළිබඳ මැසිවිලි නගන බව රහසක්‌ නො වේ. එවැනි තනතුරක්‌ හෝ සම්මානයක්‌ හෝ ලැබීමට අඩුම තරමින් කලත්‍රයාවත් එක්‌තරා ආගමකට අයත්විය යුතු බවට කතාවක්‌ පැතිර ගොස්‌ ඇත.

මේ අසහනය පවතින්නේ බොහෝ විට මධ්‍යම පාංතිකයන් අතර ය. එහෙත් සිද්ධස්‌ථාන බෞද්ධයනට අහිමිවීම පිළිබඳ ප්‍රශ්නය සාමාන්‍ය බෞද්ධ උපාසක උපාසිකාවන් අතර ද වෙයි. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධයනට ප්‍රශ්න නැත්නම් පමණක්‌ අප පුදුම විය යුතු ය. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙන් සැමදාමත් වැඩියෙන් බැටකෑවේ සිංහල බෞද්ධයන් ය. කිසිම ප්‍රබුද්ධකමක්‌ හෝ නිර්මාණශීලීත්වයක්‌ නැති සරසවි ඇදුරන් ද තම ව්‍යාජ වීරත්වය ප්‍රසිද්ධියට පත්කරගන්නේ සිංහල බෞද්ධයන්ට බැට දීමෙනි. ඔවුන්ගේ නායකයකු පසුගිය දා කියා සිටියේ ජුලම්පිටියේ අමරේ ද බිහි වී ඇත්තේ මෙරට ජාතික චින්තනය හෝ ජාතික චින්තන ව්‍යාපාරය හෝ හේතුකොටගෙන බව ය. කිසිදාක ප්‍රවාදයක්‌ ඉදිරිපත් කර නැති මෙවැන්නන්ගේ ප්‍රකාශවල කිසිම සංගත බවක්‌ නැත. මොහුට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව ජාතික චින්තනයේ ප්‍රතිඵලයක්‌ බව කියා ඒ ආණ්‌ඩුවේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස ජුලම්පිටියේ අමරෙලා බිහිවී ඇති බවත් කීමට ය. ඔහුට අනුව මේ ආණ්‌ඩුවෙන් වෙනත් කිසිවක්‌ කෙරී නැත. චොප්පෙලා, ගෝනවල සුනිල්ලා ද බිහිවූයේ ජාතික චින්තනය නිසා ද යන ප්‍රශ්නය නැගිය හැකි වුවත් මේ කසිකබල් සරසවි ඇදුරන්ට අසංගත කරුණු දැක්‌වීම් ගැන කියා දීමේ ප්‍රතිඵලයක්‌ නැත. මේ ආණ්‌ඩුව හා ජාතික චින්තනය අතර සම්බන්ධයක්‌ නැත. ගුණදාස අමරසේකර මහතා ජාතික චින්තනය යෑයි හඳුන්වන්න හා මා ජාතික චින්තනය යෑයි හඳුන්වන්න අතර ප්‍රබල වෙනස්‌කම් ඇති නමුත් ඒ මහතා ද ඉහත සඳහන් කියමන සමඟ එකඟවන්නේ යෑයි සිතමි. එසේ වුවත්, එනම් ජාතික චින්තනය හා ආණ්‌ඩුව අතර සම්බන්ධයක්‌ නැතිවුවත් බටහිරයන් (හා ඉන්දියාව) විසින් ඇති කෙරී පෝෂණය කෙරී ඔවුන්ගේ අනුග්‍රහයෙන් හැදුණු වැඩුණු දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ දී ආණ්‌ඩුවත් ජාතික චින්තනයත් එකට සිටි බව නම් අපි පිළිගනිමු. එහෙත් එතැනින් ඔබ්බට යන සම්බන්ධයක්‌ ආණ්‌ඩුව හා ජාතික චින්තනය අතර නැත. සිංහල බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳීමට ආණ්‌ඩුව නිසි පියවර ගෙන ඇතැයි අපි නො සිතමු.

නීති විද්‍යාල ප්‍රවේශ ප්‍රශ්නය නිසි අයුරෙන් විසඳී නැත. ප්‍රශ්නය වූයේ කවරදාවත් නැතිව මෙවර ජන අනුපාතයට වඩා ඉතා ඉහළ අනුපාතයකින් මුස්‌ලිම් සිසුන් නීති විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත්වීම ය. මුස්‌ලිම් සිසුන් හදිසියේ උගත් බවක්‌ අත්කර ගැනීමට තරම් හේතුවක්‌ අපි නො දකිමු. ප්‍රශ්නයට හේතුව සිංහල ප්‍රශ්නපත්‍රවල පරිවර්තනයේ වරදක්‌ යෑයි පැවසෙයි. ඒ ගැන අපට යමක්‌ නිශ්චිත ව කිව නො හැකි ය. කෙසේ වෙතත් පරිවර්තන හා වෙනත් දොaෂ ඇතිවිය හැකි බැවින් මාධ්‍ය අනුව උසස්‌ පෙළ ආදී පරීක්‍ෂණවල දී ලකුණු ප්‍රමිතිකරණය කළ යුතු යෑයි අප කියා සිටින්නේ බොහෝ කලක සිට ය. එහෙත් මේ රටේ එයට විරුද්ධත්වයක්‌ පැන නැගෙයි. ප්‍රමිතිකරණය යනු කුමක්‌දැයි නොදන්නා ජඩමාධ්‍යවේදියකු අවුරුදු පහළොවකට පමණ ඉහත දී ප්‍රමිතිකරණයට විරුද්ධ විය. ප්‍රමිතිකරණය යනු කුමක්‌ දැයි ඇසූ විට ඔහු නිහඬ විය. බොහෝ දෙනා නොදනිතත් ඉසෙඩ් ලකුණු ක්‍රමයෙන් කෙරෙන්නේ විෂය අනුව ප්‍රමිතිකරණයකි. එය භාෂා මාධ්‍යයෙන් ද කෙරෙන ප්‍රමිතිකරණයක්‌ දක්‌වා දික්‌කළ යුතු ය. මේ ප්‍රශ්නය ආණ්‌ඩුවේ ප්‍රශ්නයක්‌ නො වේ යෑයි කියා ඇඟ බේරාගැනීමට ආණ්‌ඩුවට නො හැකි ය. ජාතික වශයෙන් බලපාන ප්‍රශ්නවල දී තීරණ ගැනීම ආණ්‌ඩුවේ කාර්යභාරය වෙයි. එසේ වුවත් නීති විද්‍යාල ප්‍රශ්නයේ දී කෑ ගසන බොහෝ විට මධ්‍යම පාංතිකයන් වූ සිංහල සිසුන් රෝම ලන්දේසි නීතියට විරුද්ධව කටයුතු කිරීමට සූදානම් ද? අඩුම තරමෙන් ඔවුන්ට එහි ප්‍රශ්නයක්‌ ඇති බවවත් පෙනෙන්නේ ද? අප පාලනය වන්නේ අපේ සංස්‌කෘතියට විරුද්ධ වූ සංස්‌කෘතියක බිහි වූ නීති පද්ධතියකින් බවට ඔවුන්ට තේරුම් ගත හැකි ද? නීතිය ද ඇතුළු මුළු මහත් බටහිර දැනුම ම අපට විරුද්ධ ය. එහෙත් ප්‍රශ්නය එයට වඩා බොහෝ දුර දිග යයි. අවාසනාවකට සිංහල බෞද්ධ මධ්‍යම පංතියට එහි බැරෑරුම්කම නො තේරෙයි.

බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධ වුවත් නැතත් ඒ දැනුම පට්‌ටපල් බොරුවකි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධ සංස්‌කෘතියට හෝ බුදුදහමට එරෙහිව යැම අපට ප්‍රශ්නයක්‌ නො වේ. පුදුමය එසේ නොවූවා නම් ය. එකිනෙකට විරුද්ධ වූ චින්තන දෙකක්‌ මත පදනම් ව විරුද්ධ සංස්‌කෘතීන් දෙකක බිහිවූ දැනුම් පද්ධති දෙකක්‌ අතර විරුද්ධකම් තිබීම අපට කිසිසේත් ම ප්‍රශ්නයක්‌ නො වේ. එය ප්‍රශ්නයක්‌ විය හැක්‌කේ ප්‍රශ්න පටළවා තම ව්‍යාජ පාණ්‌ඩිත්වය රැක ගැනීමට උත්සාහ දරන පුස්‌සන්ට පමණ ය. අපට වැදගත් වන්නේ වෙනත් ප්‍රශ්න ය. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම උද්ගමනය මත පදනම්ව ගොතන ලද බොරු කතන්දර වීම, බටහිර දැනුම් ආධිපත්‍යය අප මත බලෙන් පැටවීම, බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක්‌ ගැන මැත දෙඩවීම, මෙරට බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදනු ලැබූ කසිකබල් උගතුන් (ඔවුහු කසිකබල් උගත්තු පමණක්‌ ම වෙති) එහි දී බටහිරයන් විසින් යොදා ගැනීම ආදිය එහි දී ප්‍රධාන වෙයි. අපේ දැනුම් පද්ධතියක්‌ ගොඩනැගීමට බටහිරයෝ අපට ඉඩ නො දෙති. පසුගිය දා ඇති වූ ආසනික්‌ ප්‍රශ්නයේ දී එය මනාව පැහැදිලි විණි. මා බටහිර විද්‍යාව ආසනික්‌ හා දෙවියෝ යන කෘතිය පළ කළේ ඒ කරුණු ඉස්‌මතු කිරීම සඳහා මිස බටහිර විද්‍යාව බුදුදහම සමඟ එකඟ නොවන්නේ ය යන්න කීම සඳහා නො වේ. ලබන බදාදා ෙ-. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී ඒ පොත පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ම බටහිර විද්‍යාවේ පට්‌ටපල් බොරුව හා ආධිපත්‍යය සාකච්ඡා කිරීම සඳහා ය. ඒ සාකච්ඡාව වෙනත් පැත්තකට යොමු නොකිරීමට වග බලාගත යුතු ය. එය සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට වැදගත් වේ යෑයි සිතමි.

හලාල් ප්‍රශ්නය කිසි විටෙකත් හලාල් සහතික විරෝධීන් අතින් නිසි ලෙස ඉදිරිපත් නො විණි. එහි දී කවරදාවත් නැතිව රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ ස්‌ථාවරයක්‌ වැන්නකට තල්ලු වීම ගැන අප දෙවරක්‌ නොව දසවරක්‌ සිතිය යුතු ය. හලාල් යන්නෙහි තේරුම අනුමත කිරීම බව පැවසෙයි. එනම් මුස්‌ලිම්වරුන්ට පරිභෝජනය කිරීම සඳහා අනුමත කිරීම ය. අප රට නමට වුවත් සිංහල බෞද්ධ රටකි. එංගලන්තය හා ඇමරිකාව ඇංග්ලො සැක්‌සන් සංස්‌කෘතියෙහි ක්‍රිස්‌තියානි රටවල් වන්නාක්‌ සේ ම ඉන්දියාව හින්දු රටක්‌ වන්නා සේ ම, පකිස්‌ථානය මුස්‌ලිම් රටක්‌ වන්නා සේ ම අප රට ද සිංහල බෞද්ධ රටකි. ඒ රටවල ව්‍යවස්‌ථාවල කුමක්‌ සඳහන් වුව ද ඒ කිසිදු රටක්‌ ඓහික (අනාගමික) රාජ්‍යයක්‌ පවත්නා රටක්‌ නො වේ. ඔබාමා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ බයිබලයේ අත තබාගෙන මිස ඔහුගේ සීයාගේ ආගමේ කෝරාණය මත අත තබාගෙන නො වේ. ඔහු ඇමරිකාවේ (ක්‍රිස්‌තියානි) ව්‍යවස්‌ථාව රැකීමට දෙවියන් වහන්සේගේ උදවු පැතීය. පසුගිය දා හින්දි තීරයේ ජනප්‍රිය නළුවකු වූ ෂාරුක්‌ ඛාන් තමාට ඉස්‌ලාම් භක්‌තිකයකු වීම නිසා ඉන්දියාවේ මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන කතා කළේ ය. එය ගොඩින් වසා දැමීමට ඉන්දියාවට බටහිර රටවල ද සහාය ලැබිණි. ඒ බටහිර රටවල් මුස්‌ලිම් සංස්‌කෘතියට ඇති විරෝධය නිසාත් ඉන්දියාව අද බටහිරයනගේ අතකොළුවක්‌ වී ඇති නිසාත් ය. යම් අයුරකින් මෙරට ක්‍රිස්‌තියානි හෝ කතෝලික හෝ නළුවකු තමන්ට ක්‍රිස්‌තියානි හෝ කතෝලික හෝ වීම නිසා අසාධාරණකම් සිදුවේ යෑයි කීවේ නම් බටහිර මාධ්‍යය විශේෂයෙන් ම බීබීසිය හා එහි අගුපිලේ ඇති සන්දේශය කෙසේ ක්‍රියා කිරීමට තිබිණි ද?

අප රට සිංහල බෞද්ධ වන්නේ නමින් පමණකි. ක්‍රියාවෙන් අප තවමත් ක්‍රිස්‌තියානි නූතනත්වයේ රටකි. අප අනුගමනය කරන්නේ චොප්පෙලා බිහිකරන ඇමරිකන් ආයුධ සහිත මිනීමරණ සංස්‌කෘතිය මිස සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ නො වේ. බටහිරයන් ආරම්භ කර ෙ-. ආර්. ජයවර්ධන වර්ධනය කළ බටහිර ක්‍රිස්‌තියානි යුදෙවු සංස්‌කෘතිය පරාජය කිරීමට තවමත් සිංහල බෞද්ධයන්ට නොහැකි වී ඇත. සිංහල බෞද්ධයන්ගේ අඬු කැඩීමට කතාකරන ඇමැතිවරුන් ඇතැයි කියන රටක ආණ්‌ඩුව එසේ කරාවි යෑයි සිතිය නො හැකි ය. බටහිර ක්‍රිස්‌තියානි අධ්‍යාපන හිණිමගේ ඉහළට නැගීමට තම ජීවිතය ම කැපකරන සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන්ට සිංහල බෞද්ධත්වයක්‌ අවශ්‍ය නැත. ඔවුහු ඕල්කට්‌ බෞද්ධයෝ වෙති. රනිල් වික්‍රමසිංහ හලාල් ප්‍රශ්නයේ දී පෙරට ආවේ සිංහල බෞද්ධත්වයක්‌ නිසා නොව ඒ ඔස්‌සේ ආණ්‌ඩුවට මඩ ගැසීමටත් හැකිනම් භේද මගින් ආණ්‌ඩුවට ප්‍රශ්න ඇතිකිරීමටත් ය. යම්කිසි ආකාරයකින් සිංහල මුස්‌ලිම් ප්‍රශ්නයක්‌ මෙරට ඇති වුවහොත් එහි වාසිය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට ය. බටහිර යටත් විජිතවාදයට ය. රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක ආදීන් පමණක්‌ නොව සජිත් ප්‍රේමදාස ද නියෝජනය කරන්නේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ය. එසේ වුවත් හලාල් නොවන භාණ්‌ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයන්ට පමණක්‌ නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්‌තියානින්ට ද ඉඩ තිබිය යුතුය.

සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක්‌ නෑ – II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක්‌ නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක්‌ කර බටහිර දැනුමට අභියෝගයක්‌ වනසේ දැනුම් පද්ධතියක්‌ නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්‌ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්‌වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍ය විද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකිය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක්‌ ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක්‌ ද විය. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලටය. එහිදී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්‌තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදුවිය. බුදුදහම ඊනියා ගුඩු දහමක්‌ නොවේ යෑයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක්‌ ඇති පිරිසක්‌ය යන්න බටහිරට හඬ නගා කීම ඔවුන්ගේ අරමුණක්‌ විය. බුදුදහම විද්‍යාත්මක යෑයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහුමය. ජාතක කතාව බටහිර කෙටි කතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියෑවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින්මය. ඇරිස්‌ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූ කල නිවන ගුඩු දහමකි. අප එය එසේ නොවේ යෑයි කීමට බිය විය යුතු නොවේ. නිවන වචනයෙන් පැවසිය හැකි නොවේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථ දක්‌වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යෑයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යෑයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයකද? බුදුදහම යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට එකඟ යෑයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක්‌ අතර සටනකි. ඒ බටහිරයන්ගේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයත්, මුස්‌ලිම් චින්තනයත්, ගී්‍රක ඕතොඩොක්‌ස්‌ චින්තනයත්ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනයය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්‌ස්‌වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ගී්‍රක ඕතොඩොක්‌ස්‌ සංස්‌කෘතියේ රටවලත් ස්‌ටැලින්වාදී සමාජවාදයක්‌ ගොඩනැඟීමට උත්සාහ කළේය. කතෝලික චින්තනය මත පදනම් ව ෆeසිස්‌ට්‌ රාජ්‍යයක්‌ බිහි කළ හිට්‌ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි සිරකරුවෙක්‌ විය. ඔහු අද මුළුමනින්ම සේවය කරන්නේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයටය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත් කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්‌ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්‌තියක්‌ නැති ගී්‍රක ඕතොඩොක්‌ස්‌ චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක්‌ කිරීමට හැකියාව ඇත්තේ මුස්‌ලිම් චින්තනයටය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක්‌ නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක්‌ තිස්‌සේ මේ රටවල් බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට්‌ සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක්‌ හා දැනුමක්‌ නොමැතිවීම හේතු කොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක්‌ කළ හැකි ථෙරවාද බෞද්ධ රටවලින් ඉතිරිවී ඇත්තේ ලංකාව පමණය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නොහැකිය.

ලංකාව සිංහල බෞද්ධ රටක්‌ වන්නේ නාමිකවය. මෙරට සංස්‌කෘතිය යුදෙව් ක්‍රිස්‌තියානිය. දහසය වැනි බෙනඩික්‌ට්‌ පාප්තුමා මේ මස අවසානයේදී පාප් පදවියෙන් ඉල්ලා අස්‌වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්‌වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යෑයි කියෑවෙයි. මේ හුදෙක්‌ සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්‌වීමක්‌ යෑයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්‌කෘතික සටන වේ යෑයි අපි සිතමු. ගී්‍රක්‌ ඕතොඩොක්‌ස්‌ චින්තනය, මුස්‌ලිම් චින්තනය හා ආයුධ ශක්‌තියක්‌ නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යොදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙහි වඩාත්ම ප්‍රබලව ක්‍රියාත්මක වන්නේ සංස්‌කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අෙන්‍යාන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්‌වායත්ත) නොවුව ද සංස්‌කෘතික සංරචකය අද ශක්‌තිමත්ය. අද බටහිරයන්ට තර්ජනයක්‌ එල්ල විය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත්වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෙෆda, මානව හිමිකම් කොමිසම ආදිය සංස්‌කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතුය. මාර්තු මාසයේදී ඇමැතිවරුන් ජිනීවා නොගොස්‌ නිලධාරීන් පමණක්‌ යවන්නේ නම් එය අගය කළ යුතුය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතියේ හිතවතකු නොවීය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිංහල බෞද්ධ ස්‌ථාවරයක්‌ ගැනීමට වෑයම් කළේ පිරිසිදු ෙච්තනාවකින් නම් විය නොහැකිය. ඔහු අගමැතිව සිටියදී පෘතුගීසීන් පැමිණීමේ පන්සිය වැනි සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත් කිරීමට සිංහල බෞද්ධයෝ සමත් වූහ. පසුගිය බ්‍රහස්‌පතින්දා ඔහුගේ යෝජනාවක්‌ අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්‌ව යන පාප්තුමාගේ ගුණ සැමරීය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යෑයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත්ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක්‌ ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්‌වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන්ම කපාගැනීම ද? පෝලන්තයේ සිදුවූ දේ මෙරට ද සිදුවීමට ඉඩක්‌ ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්‌තියානි – මුස්‌ලිම් සංස්‌කෘතියේ ගැටුම නිසාය. අප ගිය සතියේද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්‌තියානිය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස්‌ කර ගත්තෙමු. අද මුස්‌ලිම් සංස්‌කෘතිය මුළු ලෝකයේම බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්‌ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක්‌ නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්‌ඩ මුස්‌ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීමය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්‌තියානි භක්‌තිකයනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක්‌ ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කාතිය බළලුන් ලවා කොස්‌ ඇට බා ගැනීමේ ක්‍රියාවක්‌ අනුගමනය කළේද? ඒ කුමක්‌ වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනිදා “ඉරිදා දිවයිනෙන්” ද පෙබරවාරි 20 වැනිදා “අයිලන්ඩ්” පුවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට මුස්‌ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්‌ඩවලින් යම් ප්‍රතිශතයක්‌ (මුස්‌ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක්‌ හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත් කිරීමට වගාබලා ගැනීමය. එහිදී ආණ්‌ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතුය. ආණ්‌ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරගැනීමටය. අප පෙබරවාරි 10 වැනිදා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්‌ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක්‌ නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්‌තියානින්ට ද ඉඩ තිබිය යුතුය.” මෙය හුදෙක්‌ උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක්‌ නොවේ. සංස්‌කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්‌ වන්නේ ආසනික්‌ය.

ආසනික්‌ සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම දිගින් දිගටම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක්‌ පෙදෙස්‌වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික්‌ අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික්‌ සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි, සජිත්, දයාසිරි කණ්‌ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේද? ආසනික්‌ හෙළිදරවුවේ දී වැදගත්ම කාර්යයක්‌ කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික්‌ පිළිබඳ දැනුම නාථ හා විපස්‌සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික්‌ ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක්‌ නැති වුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක්‌ ලැබිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක්‌ රූපවාහිනි නාළිකාවක්‌ හැර අනෙක්‌ මාධ්‍ය වාර්තාවක්‌ නැති අයුරෙන් කටයුතු කළේය. වාර්තාවට ප්‍රසිද්ධියක්‌ දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක්‌ නිකුත් කර ගැනීමට කටයුතු කළේය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක්‌ දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක්‌ මත පදනම් වන්නේ යෑයි කියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේය. ඔවුන් කැලණි රජරට කණ්‌ඩායමක්‌ ගැන කතා කළේය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙසය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදුවී ඇත්තේ ද පරණගම මහත්මියටය. ඒ කුමක්‌ වුවත් අපට වැදගත්කමක්‌ නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්‌ඩුවට කෘෂි රසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දීර්ඝකාලීනව කෘෂි රසායන තහනම් කිරීමටත් බල කෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්‌ඩුවට කෘෂි රසායන සමාගම්වලට යටවීමට ඉඩදිය නොහැකිය.