Spread the News

ජිනීවා තීන්දුව ගැන රජයේ මතය කියන්න
රනිල් කියයි

අකිත පෙරේරා source:

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්‍ෂණයකට යටත් වන්නේද නැතිනම් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අනුව ලංකා විසඳුම ක්‍රියාත්මක කොට රට ඉන් ගලවා ගන්නේද යන්න පිළිබඳව රජය වහාම සිය මතය ප්‍රකාශ කළ යුතු යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පැවැසීය.

ඒ පිළිබඳව රජය ප්‍රකාශයක්‌ කරන්නේ නම් උගත් පාඩම් හා ප්‍රතිසංස්‌කරණ කොමිසමේ නිර්දේශ සහ 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු යෑයිද උතුරු පළාත් සභා මැතිවරණය වහා පැවැත්විය යුතු බවට විපක්‍ෂයේ යෝජනාද සහිතව රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් අවශ්‍ය නම් අලුතෙන් ඉදිකෙරුණු මත්තල රාජපක්‍ෂ ගුවන් තොටුපළට පැමිණ එම සාකච්ඡා පැවැත්වීමට කැමති බවත් හෙතෙම කීය.

රජය සමග ලබන අප්‍රේල් මසදීම එම යෝජනා පැවැත්වීමට තමා සූදානම් බවත් මැයි මාසයේදී එම යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවත් කී විපක්‍ෂ නායකවරයා එවිට ජුනි මාසයේදී උතුරේ මැතිවරණය පැවැත්වීමට හැකිවනු බවත් කියා සිටියේය.

දැනට පවතින තත්ත්වය අනුව රට බිල්ලට නොදෙන ලෙසද 2004 වසරේදී ශ්‍රී ලංකා රජය එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමග එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට සහ අවශ්‍ය සහයෝගය ලබාදීමට විපක්‍ෂය සූදානම් බවද විපක්‍ෂ නායක නිල නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.