Spread the News

“මහසෙන්” නම යෙදීම තරයේ හෙළා දකිනවා
– මහාචාර්ය ඡේ. බී. දිසානායක

source:http:Divaina.com/2013/05/14

රනිල් ධර්මසේන

මහා විනාශයක්‌ සිදුකරන සුළි කුණාටුවකට මහසෙන් නමැති අතීතයේත් වර්තමානයේත් ජනතාවගේ දෙවියකු ලෙස වන්දනාවට පාත්‍ර වූ උත්තම ගණයේ රජතුමකුගේ නම යෙදීම පිළිබඳව තරයේ විරුද්ධ වන බව මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා “දිවයින” ට පැවසීය.

කාලගුණික අංශයේ සිටින පුද්ගලයන් අපේ රටේ සංස්‌කෘතිය ගැන කිසිවක්‌ නොදැන මෙවැනි දේ කර ඇති බවත් මෙවැනි මෝඩ හා අමනෝඥ ක්‍රියා රටත් සංස්‌කෘතියත් හෑල්ලු කිරීමක්‌ බවත් හෙතෙම කීය.

ලෝකයාටම සෙතක්‌ කළ මහසෙන් රජුගේ නම සුළි කුණාටුවකට යෙදීමේ බරපතළකම මේ අමනෝඥ පුද්ගලයන් නොදැන සිටීම කනගාටුවට කරුණක්‌ බව කී මහාචාර්ය දිසානායකයන් සුළි කුණාටුවකට මහසෝන් නම හෝ “මාග” වැනි නමක්‌ යෙදීමට ඕනෑ තරම් ඉඩ තිබූ බව ද කියා සිටියේය.

දේවානම්පියතිස්‌ස රජුට හෝ දුටුගැමුණු රජුට හෝ කිසි විටෙක දෙවියන් ලෙස සලකා නොමැති බවත් එහෙත් මහසෙන් දෙවියන් ලෙස මහසෙන් රජුව වන්දනාවට පවා පාත්‍ර වූයේ එම රජුගෙන් සිදු වූ අපරිමිත සේවාව නිසා බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.