Spread the News

ෆොන්සේකාගෙන් පැය 4ක්‌ ප්‍රශ්න කෙරේ

අජිත් අලහකෝන්

SOURCE:

හිටපු හමුදාපති, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) ඊයේ (16 දා) පැය හතරකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර ප්‍රකාශයක්‌ සටහන් කරගෙන ඇත.

කෝට්‌ටේ මැටිඅම්බලම හන්දියේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයට පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශාන් අබේසේකර මහතා සහ පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌ පස්‌වරු 2.50 සිට 6.35 දක්‌වා ෆොන්සේකා මහතාගෙන් ප්‍රශ්න කර ඇත.

තමන් හමුදාපතිවරයාව සිටියදී ඝාතනය කිරීම සඳහා 2006 අප්‍රේල් 25 දා මරාගෙන මැරෙන කාන්තාවක්‌ හමුදා මූලස්‌ථානයට පැමිණීම පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙසේ ප්‍රශ්න කළ බව සරත් ෆොන්සේකා මහතා “දිවයින”ට පැවසුවේය.

එදින දිවා ආහාරයට පස්‌වරු 1.30 ට පමණ තමන් හමුදා මූලස්‌ථානයෙන් පිටවී නිල නිවසට යද්දී හමුදා රෝහලේ රෝගීන් බැලීම සඳහා බස්‌ රථයට පිරිසක්‌ ගොඩ වූ බවද එතැන සිටි සොල්දාදුවන් තුන් දෙනෙක්‌ තමන්ට ආචාර කළ බවත් ෆොන්සේකා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ප්‍රකාශ කර ඇත.

හමුදාපතිගේ කෝකියා වූ සිද්ධික්‌ නමැත්තා හඳුනනවාදැයි රහස්‌ පොලිස්‌ නිලධාරීන් මේ අවස්‌ථාවේදී සරත් ෆොන්සේකා මහතාගෙන් විමසා ඇත.

මම කෝකියා ගැන හොයා බැලුවේ නෑ… ඒත් පසුව දැනගත්තා වර්තමාන යුද හමුදාපතිවරයාගේ රෙජිමේන්තුවේ සිටි සොල්දාදුවෙක්‌ කියලා.. එක්‌ සිද්ධියක්‌ම පමණක්‌ මේ සිද්ධියට අදාළ කරගන්නේ නෑ. මාව ඝාතනය කිරීමට සිද්ධීන් ගණනාවක්‌ ඇතිවුණා….යෑයිද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ෆොන්සේකා මහතා පවසා ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. හමුදාපතිවරයා ඝාතනය කරන්න ආවේ අනියම් සම්බන්ධයක්‌ පැවැත්වූ කාන්තාවක්‌ කියා ඇමැතිවරයෙක්‌ වගකීමෙන් කළ ප්‍රකාශය සත්‍ය විකෘති කිරීමක්‌. මාව ඝාතනය කිරීමට රජයේ ඇතැම් බලවතුන්ගේ වෑයමක්‌ තිබූ බවට මට සාධාරණ සැකයක්‌ ඇතිවුණා යෑයිද ඔහු පවසා තිබේ.