Spread the News

විග්නේෂ්වරන්ලාගේ ඊළාම් සිහිනය
බොඳ කළ හැක්‌කේ කෙසේද?

source:
විග්නේශ්වරන්ගේ හෝ දෙමළ සන්ධානයේ හෝ කොටි ඩයස්‌පෝරාවේ හෝ ඔවුන්ගේ කොන්ත්‍රාත්තු භාරගෙන ක්‍රියා කරන දෙස්‌ විදෙස්‌ වෙනත් කැණහිලන්ගේ හෝ කාලකණ්‌ණි සතුට වන ප්‍රභාකරන් සහ එම මෝඩ ත්‍රස්‌තවාදියාට දිරච්ච ලනු ගිල්ල වූ අවස්‌ථාවාදී අන්තවාදී පැරැණි දෙමළ නායකයින් දුටු දවල් සිහිනය වන මේ රට බෙදා වෙන්කර ගැනීමේ සහ සිංහලයන්ගේ අනන්‍යතාවයන් විනාශ කිරීමේ ආශාව වන ඊලාම් රාජ්‍යයක්‌, එක්‌සත් රාජ්‍යයක්‌ අන්තර් පාලන රාජ්‍යයක්‌ හෝ බලය බෙදීම වැනි වෙනත් රාජ්‍ය සංකල්පයකින් බැහැරව එක්‌ ධජයක්‌ යට, ඒකීය රටක්‌ යන සංකල්පය තුළ බෙදුම්වාදී ප්‍රශ්නය විසඳනු වෙනුවට අනා ගන්නවා හැරෙන්නට මේ ජාතිය හමුවේ ඇති අභියෝග යථාර්ථවාදීව, මතවාදීව සහ ප්‍රායෝගිකව ජය ගන්නට මෙතෙක්‌ මේ රට පාලනය කළ කිසිදු රජයකට හෝ නායකයකුට පැහැදිලි වැඩ පිළිවෙළක්‌ නොතිබූ බව දැන් පැහැදිලිවී ඇත. එපමණක්‌ නොව ඉදිරියේදී හෝ මේ රටේ පාලන බලය ලබා ගැනීමට කෙළ හලන සහ එම අභියෝග ජය ගන්නට හැකිය කියා පවසන අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමී හෝ සමාජවාදී ලේබලය අලවාගෙන සිටින වෙනත් පුද්ගලයකුට විකල්ප කණ්‌ඩායමකට හෝ බලවේගයකට වුවද එසේ කරන්නට නොහැකි වන බව ඉතාමත්ම පැහැදිලිය.

සෘජුවම එසේ පවසන්නට අපට හැකියාව ඇත්තේ අන් කිසිවක්‌ නිසා නොව, ජාති කුලමල ආගම් සහ ඇති නැති මෙන්ම විවිධ තරාතිරම්වලට අනුව මිනිසුන් කොටස්‌ කර ඇතත් ඇට ලේ මස්‌ නහර වලින් එක සේ නිර්මිත ඒ සෑම සියලු මිනිසෙකුටම අත්‍යවශ්‍යව ඇති සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය මේ රට තුළ සමාජය තුළ ස්‌ථාපිත කරන්නට ඒ කිසිවෙකුටත් නොහැකි වීම සහ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව එවන් දැක්‌මක්‌ ඔවුන්ට නැති බව පැහැදිලිවම පෙනෙන්නට ඇති නිසාමය. අලුත් ඇසකින් බලා අලුතෙන් සිතා විකල්ප ඉදිරිපත් කළ යුතු සාම්ප්‍රදායික ලෙස සුපුරුදු බාල බොළඳ සහ කුහක සටන් පාඨ සහිත විවේචන පමණක්‌ ඉදිරිපත් කරමින් දශක ගණනාවක සිට පීලි පැන ඇති දේශපාලන ගමන් මග පීලි මතට ගන්නට යථාර්ථවාදී මෙන්ම ප්‍රායෝගික ක්‍රමවේදයක්‌ ඔවුන්ට නැති බව පැහැදිලි වන නිසාය. ඕනෑම අසාර්ථක රටක්‌ රාජ්‍යයක්‌ හමුවේ ආරෝහණ ක්‍රමයට නිර්මාණය වන විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම් යනුවෙන් අර්ථ ගැන්වෙන ප්‍රධාන අභියෝග පහ එලෙසින්ම ජයගත යුතුය යන යථාවබෝධය ඔවුන් සතු නොවන නිසාය. ඒ සඳහා කළ යුත්තේ මොනවාද යන්න ඔවුන්ට අවබෝධයක්‌, ඒ පිළිබඳ ඉවක්‌ හෝ හැඟීමක්‌ නොමැති නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හැඳින ගන්නට ඔවුන් අපොහොසත් වන නිසාය. එය යනු කැමති කෙනෙකුට ඡන්දය දීමට, නිසි කාල වේලාවට මැතිවරණ පැවැත්වීමට, තමුන්ට කැමති පරිදි අදහස්‌ ප්‍රකාශ කිරීමට සහ කාගෙන්වත් අවසර නොමැතිව බිම හිඳ ගැනීමට ඇති අයිතියට වඩා එහා ගිය පුළුල් පරාසයක්‌ වන බව ඔවුන් නොදන්නා බව පෙනෙන නිසාය. ඒ වගේම තුන් වේලම රජ බොජුන් වළඳන සිටු මැදුරු තුළ ජීවත් වන අති සුඛෝපභෝගී යාන වාහනවල ගමන් කරන සහ කාමභෝගී ජීවිත ගත කරන නිකමුන් අතර එදා වේල ගැටගසා ගන්නට බැරි අව්වෙන් වැස්‌සෙන් පවා ආරක්‍ෂා වී ජීවත් වන්නට පැල්පතක්‌ පවා නැති දෙපයින් නැගී සිටින්නට වෙර දරන තවත් මිනිසුන් කොටසක්‌ ජීවත්වන සමාජයක්‌ යනු සාධාරණ සමාජයක්‌ නොහොත් සමාජවාදය අර්ථ නොගැන්වෙන සමාජයක්‌ බව ඔවුන් නොදන්නා බව පෙනෙන නිසාය.

එදවස අපේම සිංහල මුතුන් මිත්තන් තුළ අනෙකකු කෙරෙහි තිබූ අසීමිත අනුකම්පා සහගත බව නිසාත් වැඩිපුර තැබූ විශ්වාසය නිසාත්, සරල ගති පැවතුම් නිසාත් දුර දිග සොයා නොබලා (ගෙරිහම එලාගන්නට ඉඩ දුන්නා සේ) විදේශික පරයින්ගේ ආගමනය, ආක්‍රමණය සහ සංචරණය සිදු වූයෙන් අපේ ජාතිය විවිධ ජාතීන්, ආගම්, කුලමල වශයෙන් මේ වන විට කලවම් වී ඇත. ඒවගේම භේද බින්න වී ඇත. එහෙත් එදවස වූ එම සුළු වැරැද්ද හේතුවෙන් එසේ වුවද ජාතියක්‌ ලෙස මෙතරම් හෑල්ලු වන්නට සහ දුක්‌ විඳින්නට සිදු වූයේද අපගේ දේශපාලනඥයින්ගේ වැරැද්ද නිසාමය. එනිසා මෙදවස අපගේ සිංහල බෞද්ධ නායකයින් මීට වඩා ප්‍රඥගෝචර විය යුතුය. අනෙකෙකුට ඕනෑවට වඩා අනුකම්පා නොකළත් කුහක නොවිය යුතුය. ජාති කුලමල ආගම් හෝ වෙනත් භේද බින්න කම් ඇති නොවන ආකාරයටත්, ඇට ලේ මස්‌ නහර සහිත මිනිසුන්ට එක සේ සැලකීමටත් වගබලා ගත යුතුය. එම ප්‍රායෝගික වැඩපිළිවෙළ හඳුනා ගත යුතුය. එදවස දසරාජ ධර්මය යනුවෙන්ද මෙදවස ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යනුවෙන්ද නම් කෙරෙන එම යථාර්ථවාදී ප්‍රායෝගික රාජ්‍ය පාලන ක්‍රමය අනුගමනය කළ යුතුය. ධර්මය තුළින් මෙබඳු ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට නොහැකිය සහ ආර්ථිකයෙන් පමණක්‌ සියල්ල ජයගන්නට හැකිය යන මිථ්‍යාවන්ගෙන් බැහැර විය යුතුය. ඒවගේම එම ධර්මතාවයෙන් බැහැරව ලිබරල්වාදය, නූතන ධනවාදය යනුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය විනාශ කෙරෙන එවන් කිසිදු දැක්‌මක්‌ තුළින් පෘථග්ජන මිනිස්‌ සිත් සතන් තුළ හටගන්නා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සහ සැකය පහ කිරීම එතරම් පහසු නොවන බව තේරුම් ගත යුතුය. මිනිසා හදා රට හැදීමේ සංකල්පය ගැන වුවද නැවත වරක්‌ සිතා බැලිය යුතුය. මන්ද නන් අයුරින් අසමතා ඇති විකෘති සමාජයක අහිංසක මිනිසුන්ගේ සිත් සතන් තුළ කුරිරු විෂ බීජ තැන්පත් වීම සහ කරවීම ඉතාමත්ම පහසු වන නිසාය. එම අහිංසකයන්ට බිල්ලට දෙන්නට, විවිධාකාර ග්‍රහණයන්ට නතුකර ගන්නට එම අහිංසක අසරණ මිනිසුන්ට නායකත්වය දෙන විග්නේශ්වරන්ලා වැනි ආත්මාර්ථකාමී අවස්‌ථාවාදී කුහක දේශපාලනඥයන්ට එතරම් අපහසු නැති බව වටහා ගත යුතුය.

එපරිදි මේ රටේ නිර්මාණය වූ සෑම සමාජ අරගලයකටම, බෙදීමකටම හේතු වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එලෙසින්ම ස්‌ථාපිත නොවීම බව මේ මොහෝතේදීවත් තේරුම් ගත යුතුය. අපේ මව්බස, ජාතික කොඩිය, ජාතික ගීය පවා වෙනස්‌ කරන්නට අර අඳින සහ සියලු අනන්‍යතාවයන්ට අභියෝග කරන මේ රටේ වර්ගවාදයක්‌ තිබෙන බව ජාත්‍යන්තරයට ඒත්තු ගන්වන්නට දතකන, කැනහිල්ලන්ගේ සිහින බොඳ කරන්නට තිබෙන එකම ක්‍රමවේදය ද බෝඩ් ලෑල්ලට පමණක්‌ සීමා නොකර විනිවිද දැකිය හැකි පරිදි මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ඇති කිරීම පමණි. ඒ සඳහා ජාතික ධනය, ජාතික සම්පත්, රාජ්‍ය සේවය, රාජ්‍ය සුබ සාධනය සහ ජනතා පරමාධිපත්‍ය සාධාරණව බෙදෙන පංචවිධ වූ රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කිරීම පමණි. එය මුල්කර ගත් ඊට අදාළ වන දේශපාලන න්‍යාය පත්‍රය සකස්‌ කර ගැනීම සහ එය පදනම් කරගත් අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට අනුගත වීම පමණි. එසේ නොමැතිව දශක හයකටත් වැඩි කාලයක්‌ කා දමමින් සහ සංශෝධන 20 ට පමණ භාජනය කරමින් පිළිස්‌සී යන තුරු දෙපැත්ත පෙරලූ රොටියක්‌ මෙන් පැරැණි ව්‍යවස්‌ථාව කෙරෙහි විශ්වාසය තැබීමකින්වත්, තවදුරටත් බලය බෙදීමක්‌ තුළින්වත්, අච්චාරුවක්‌ බඳු උගත් පාඩම් සහ ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභා වාර්තාව අනුව ක්‍රියා කිරීමෙන්වත්, සිදුවන්නේ එම පරයින්ගේ සිහින කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට ඉඩ හැරීම පමණක්‌ නොව මේ රටේ හෝ ජාතියේ ප්‍රශ්න කිසිවක්‌ නොවිසඳීම මෙන්ම තවදුරටත් අවුලෙන් අවුලට පත්වීම, අපේකම් සියල්ල දියවී යැම පමණක්‌ නොව අනාගතයේදී අන්ත දුගී දුප්පත් වන දුර්වල රාජ්‍යයක්‌ බවට පත්වීම බව තරයේම විශ්වාස කිරීම පමණි.

එසේ නොමැතිව අපේකම් විනාශ කරවනවාය, මහ ජාතිය වඳ කරනවාය සුළු ජාතීන් බෝ කරනවාය, අනාගතයේදී අපට රටත් ජාතියත් අහිමි වනවාය කියමින් යටිගිරිය පැළෙන තුරු හූ තිබ්බත්, උද්ඝෝෂණ කළත් යුද්ධ කළත්, ජාතිය ගොඩ නැඟීමට වෙනමම අමාත්‍යාංශ පිහිටෙව්වත්, පිරිහෙන්නේ අපේ රට සහ ජාතියමය. ඒ මන්ද යත් එවන් දේ කුමක්‌ කළත් අවාසනාවන්ත අරගල හරහා එකා දෙන්නා බැගින් සිය ගණනින් හෝ දස දහස්‌ ගණනින් වැඩියෙන් මියගියේ මහ ජාතියට අයත් තරුණයින්ම වන නිසාය. එපමණක්‌ නොව මහ ජාතියේ වඳ වීම හෝ ඔය කියන සුළු ජාතීන්ගේ බෝවීම ගෙන බැලුවත් දැක ගන්නට ඇති විශේෂ ලක්‍ෂණ කීපයක්‌ද ඇත. මේ රටේ වැඩියෙන්ම අවතක්‌සේරු වී ඇති කිසිදු සාධාරණ වටිනා කමක්‌ නොලද, ගොවියන්, කම්කරුවන්, කාර්මිකයින් ඉදිකරන්නන් හෝ එවන් නිෂ්පාදන සම්පත් දායකයින් හෝ නිර්මාණකරුවන් සහ ගමේ මිනිසුන් ලෙස ගෙන බැලුවත් වැඩි ප්‍රතිශතයක්‌ සිටින්නේ මහ ජාතියමය. ඒවගේම සති පොළක්‌, පුංචි කඩ මණ්‌ඩියක්‌ හෝ වෙළෙඳ සංකීර්ණ සහිත නගරයක්‌, මහ නගරයක්‌, අග නගරයක්‌, ගෙන බැලුවත් වැඩි වටිනාකමක්‌ හිමිවන වෙළහෙළ¹මක නිරත වීමේ වරම හිමි කරගෙන ඇත්තේද ඔය කියන සුළු ජාතීන්මය. එපමණක්‌ නොව කපටි කයිරාටික සහ කූට උපක්‍රම භාවිත කරමින් ලේසියෙන් පහසුවෙන් ධනය උපයන්නේ ද ඔවුන්මය.

බුදු දහමින් පෝෂණය වූ සාධාරණ සිංහලයන් ලෙස මහ ජාතිය කල්පනා කළ යුත්තේ සහ ක්‍රියා කළ යුත්තේ සුළු ජාතීන්ට වෙනස්‌කම් කරන්නට, තාඩන පීඩන කරන්නට ඔවුන්ගේ මානුෂීය අයිතිවාසිකම් සීමාකරන්නට, වෛර කරන්නට හෝ මරාදමන්නට මෙරටින් පලවා හරින්නට නොව ඔවුන් සමග සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වන්නට විග්නේෂ්වරන්ලා වැනි අන්තවාදී අවස්‌ථාවාදී කුහක ගති ඇත්තන්ගේ ගොදුරු බවට අහිංසක මිනිසුන් කොටුකර ගැනීමේ ඉඩ කඩ අහුරාලීමට නවිපිල්ලෙලාට – ඩේවිඩ් කැමරන්ලාට අදහා ගන්නට බැරි වන්නට සහ මහ ජාතියටත් බෝ කිරීමේ ශක්‌තිය ලබා දීමට අවශ්‍ය වටපිටාව සකස්‌ කරදීම සහ බුද්ධිමත්ව ක්‍රියා කිරීම පමණි. සිංහල කමේ සහ බෞද්ධ කමෙහි ඇති යථාර්ථවාදී බව සම්‍යක්‌ දෘෂ්ටික බව, සත්‍යවාදී බව, සුබවාදී බව, නිර්මල බව සහ එහි ඇති වටිනාකම ඔවුන්ට කාවද්දා නැඹුරු කරගැනීම අෙන්‍යාන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීම සහ ඒ සඳහා ගැලපෙන දේශපාලන න්‍යායපත්‍රය ව්‍යවස්‌ථාපිත කර ගැනීම හැර අන් කවරෙක්‌ද? එසේ නොමැතිව විවිධාකාර බලපෑම්වලට යටවී හණමිටි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට තවදුරටත් පැලැස්‌තර දමමින් පළාත් අනුව බලය බෙදීමකින්වත්, ස්‌වයංපාලන අයිතිය ලබා දීමකින්වත්, උගත් පාඩම් සහ ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභා වාර්තාව අනුව ක්‍රියා කිරීමෙන්වත් මෙම කිසිදු ප්‍රශ්නයක්‌ නොවිසඳෙන බව වටහා ගත යුතු අතර ඕනෑම දුර්වල රටකට හෝ රාජ්‍යයකට මුහුණ දෙන්නට සිදුවන ඉහත සඳහන් කළ ප්‍රධාන අභියෝග පහ ජය ගැනීමෙන් සහ අනෙකුත් සමාජ අර්බුද සහ ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පමණක්‌ මෙම සියලු ප්‍රශ්න විසඳිය හැකි වන බවත් තේරුම් ගැනීමය. එනිසා මේ රටේ නැවතත් ප්‍රභාකරන්ලා, විග්නේශ්වරන්ලා පමණක්‌ නොව බින්ලාඩන්ලගෙ, ජිහාඩ්ලගෙ අවතාර පවා නිර්මාණය වන්නට කලින් මේ රටේ පොදු ජනතාවට ජාති කුල මල ආගම් භේද හෝ වෙනත් කිසිදු භේදයක්‌ නොමැතිව තරගකාරීත්වයෙන් බැහැරව අසහනයෙන් සහ අවිශ්වාසයෙන් තොරව සමගියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත් වීමටත් එකාවන්ව දෙපයින් නැගී සිටීමටත් හැකි වටපිටාව නිර්මාණය කළ හැකිවන්නේ ඉහත සඳහන් කළ පංච විධි ප්‍රතිපත්තියේ පිහිටා සිටීමෙන් සහ අභියෝග පහ එලෙසින්ම ජය ගැනීමෙන් පමණි. එමෙන්ම රටක්‌ රාජ්‍යයක්‌ තුළ යහපාලනය ඇති කරන්නට හැකි වන්නේ එපරිදි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය අර්ථ ගැන්වෙන නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකට අනුගත වීමෙන්ම පමණි.

එමෙන්ම මතු යම් දවසක මේ තිබෙන තත්ත්වයෙන්වත් අපේකම් රැක ගන්නට බැහැර කළ යුතු සෑම දේ බැහැර කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ස්‌ථාපිත කර ගන්නට ස්‌වයංපෝෂිත වූ සාර්ථක රාජ්‍යයක්‌ බවට පත්කර ගන්නට රට කෑලි කෑලිවලට නොකැඩෙන්නට එක ධජයක්‌ යට ඒකීය රටක්‌ තුළ එකම ජාතියක්‌ ලෙස ජීවත් වන්නට දෙස්‌ විදෙස්‌ සහ විවිධ බාධක ජයගන්නට හැකි වන්නේ එකිනෙකාට ඊර්ෂියා නොසිතෙන පරිදි සැක මතු නොවන පරිදි අෙන්‍යාන්‍ය විශ්වාසය තහවුරු වන පරිදි ඒ බව විනිවිද දැකිය හැකි වන පරිදි සහ කාගේ කාගේත් ඇඟ පතට එය හොඳින් දැනෙන පරිදි ධනය සම්පත් සේවය සුබ සාධනය සහ ජනතා පරමාධිපත්‍ය සාධාරණව බෙදෙන රාජ්‍ය ප්‍රතිපත්තියේ පිහිටා සිටින්නට හැකි යථාර්ථවාදී ප්‍රායෝගික යාන්ත්‍රණයක්‌, වැඩපිළිවෙළක්‌ ඇත්නම් පමණි.

එනිසා කම්කරුවන්, ගොවියන්, ධීවරයින් ,කාර්මිකයින් ,ඉදිකරන්නන් වැනි නිෂ්පාදකයන්ට නිර්මාණකරුවන්ට මෙන්ම සේවා සපයන්නන්ට අහිමිව පවතින වටිනාකම වැඩි කිරීමටත්, වෙළෙඳුන්ට, අතරමැදියන්ට, පොලී කාක්‌කන්ට සහ කලු සල්ලි මවන්නන්ට හිමිව ඇති වැඩි වටිනාකම අඩු කිරීමට සහ ඒ සඳහා ඇති අවකාශ නැති කිරීමටත් එම ප්‍රායෝගික යාන්ත්‍රණය සකස්‌ කළ යුතුය. ඒ සඳහා ඇති සියලු බාධක ඉවත් කළ යුතුය. ඒවගේම එය කෙසේ හෝ කළ යුතු දෙයකි. එනිසා සියල්ල පසෙක දමා එසේ කරන්නනට කල්පනා කළ යුතුය. ඒ පිළිබඳ නැවත නැවතත් සිතිය යුතුය. එවන් තීන්දු තීරණ ගත යුතුය. එවන් ජය මාවතකට වහා පියමන් නඟන්නට තවමත් කල් වැඩි නොවන බව වටහා ගත යුතුය. එමෙන්ම එය පහසුවෙන් සහ ක්‍ෂණිකව කළ හැකි දෙයකි. ඒ සඳහා වෙනමම භාණ්‌ඩාගාරයෙන් මුදල් වෙන් කරන්නට අවශ්‍ය නැත. තව තවත් ණය වෙන්නට අවශ්‍ය නැති. වැඩිපුර මුදල් අච්චු ගසන්නට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා සරල තීන්දු තීරණය කීපයක්‌ ගැනීම පමණි. එනිසා ඒ ගැන ඇති හුඹස්‌ බිය නැතිකර ගත යුතුය.

එසේ නොමැතිව තවදුරටත් සුපුරුදු වැරදි ස්‌ථාවරයන් තුළම රැඳෙමින් සහ වටිනා කාලය කා දමමින් බලය බෙදීම වැනි ක්‍රියාකාරකම් හරහා විසඳුම් සෙවීමෙන්වත් දස අතේ ණය වෙමින් සහ හිඟාකමින් දැවැන්ත ඉදිකිරීම් හරහා යටිතල පහසුකම් වැඩි කළත් අපේ කම් විනාශ කෙරෙන පර ගැති සංවර්ධන අරමුණු තුළ ක්‍රියාත්මක වුවත් රට දැය සමය දවන ප්‍රශ්න නිරාකරණය කරන්නට හෝ එක තැන පල්වෙන සංවර්ධන ස්‌වභාවයෙන් මිදී සාර්ථක රාජ්‍යයක්‌ ගොඩ නඟන්නටවත්, විග්නේශ්වරන්ලගෙ ඊළාම් සිහින බොඳ කරන්නටවත්, අපේකම් එලෙසින්ම රැකගන්නටවත්, වෙනත් විකල්ප නොමැති බව කිව යුතුය.

* බී. එම්. එස්‌. බාලසූරිය