බාහු අද ගම්පහ පොලිසියට කැඳවයි

Spread the News

නසසප ගම්පහට ව්‍යාජ නාමයෝජනා පත්‍රයක් දීම ගැන ප්‍රශ්න කරන්න

බාහු අද ගම්පහ පොලිසියට කැඳවයි

හිතාමතා වංචාවක් කළේ නම් අත්අඩංගුවට ගැනීමේ හැකියාව

ලබා දුන් නාමයෝජනා පත්‍රයේ නම් 15ක් ව්‍යාජයි

ඡන්ද කොමසාරිස්වරයාටත්-නිලයටත් අගෞරවයක් source:

විජයානි එදිරිසිංහ

නව සම සමාජ පක්ෂයේ (නසසප) නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ව්‍යාජ නම් ඇතුළත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයාට වංචා කිරීම සහ එම තනතුරට අගෞරව කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (11) ගම්පහ පොලිසිය වෙත කැඳවා තිබේ.

වික්‍රමබාහු කරුණාරත්න මහතාට අමතරව එම ඡන්ද අපේක්ෂක නම්වල දිවුරුම් ප්‍රකාශ සහතික කළ නීතිඥවරියකට සහ සාම විනිසුරුවරයකුටද අද ගම්පහ පොලිසියේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.

මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මොවුන් හිතාමතා එම වරද සිදු කර ඇති බව අනාවරණය වුවහොත් ඇතැම් විට ඔවුන් අද හෝ හෙට පොලිස් අත්අඩංගුවට පත්වීමටද ඉඩ ඇති බව පැවසේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් පැවසුවේ වික්‍රමබාහු කරුණාරත්න මහතා බස්නාහිර පළාත් සභා ඡන්දය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට ව්‍යාජ තොරතුරු ඇතුළත් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවයි.

එම නාමයෝජනා පත්‍රයේ ඡන්ද අපේක්ෂකයන් 43 දෙනකුගේ නම් සඳහන් වෙයි. ‍එම නම් අතරින් 15 දෙනකුගේ නම් ව්‍යාජ ඒවා වෙයි. තවත් එක් අයකු විදෙස් ගත වූවකු වන අතර එහි ඇතුළත් ව්‍යාජ නම් අතර මිය ගිය පුද්ගලයන් දෙදෙනකුගේද මෙරට ඉපදී නැති පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන්ද හැඳුනුම්පත් අංකද සඳහන් කර තිබෙන බවයි.

ජාත්‍යන්තර රටවලින් පවා ආධාර උපකාර ලබා ගනිමින් පවත්වාගෙන යන පක්ෂයක නායකයකු වන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා හිතා මතා මෙම වංචාව සිදු කර තිබේ නම් එය මැතිවරණ කොමසාරිස්වරයා හිතාමතා රැවටීමකට ලක්කිරීම මෙන්ම එම තනතුරටද බරපතළ අගෞරව කිරීමක් බවද අජිත් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා වික්‍රමබාහු කරුණාරත්න මහතා අද (11) ගම්පහ පොලිසිය වෙත කැඳවා තිබේ. ඔහු පොලිසිය ඉදිරියේ පෙනී සිටීම මග හැර සිටියහොත් අධිකරණ අවසරයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි බවද පැවසේ.