උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවමින් යාපනයේ ඉඩම් ගැටලු විසදීමට කඩිනම් පියවර

Spread the News

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නංවමින්

යාපනයේ ඉඩම් ගැටලු විසදීමට කඩිනම් පියවර

මහින්ද අලුත්ගෙදර යාපනය සිට… source:

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ එලෙසම ක්‍රියාත්මක කරමින් යාපනය දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ගැටලු සඳහා කඩිනම් හා කාර්යක්ෂම විසඳුම් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

එම විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයට දැවැන්ත ශක්තියක් වෙමින් බිම්සවිය වැඩසටහන යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් යාපනය, නල්ලූර්හි ස්ථාපිත කළ බිම් සවිය දිස්ත්‍රික් කාර්යාලය සහ යාපනය පරණ උද්‍යාන පාරේ ස්ථාපිත කළ දිස්ත්‍රික් මිනුම්දෝරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේදී සිදුකෙරුණි.

ඉඩම් සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික්කය තුළ විශාල ගැටලු පවතින බවට සහ එය විසඳීම වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාමාර්ග නොගන්නා බවට ඇතැමුන් විවිධ චෝදනා කරන නමුත් ඒ සියල්ලට ප්‍රතිචාර දක්වමින් ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එළඹෙන මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොතුවෙන් පසුවන අතර අදාළ යෝජනාව මඟින් උතුරේ ඉඩම් ගැටලු පවතින බවටද කරුණු දැක්වීමට නියමිතව ඇත.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මඟින් මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ තුළින් ඉඩමේ නිරවුල් බව සුරක්ෂිත කරන බවද වඩාත් සවිමත් බිමක් ශ්‍රී ලාංකීය ජාතිය වෙත ප්‍රදානය කිරීම එමඟින් අරමුණු කරන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පසුගිය 2007 වසරේදී ජාතික වැඩසටහනක් ලෙසින් ආරම්භ කරන ලද බිම් සවිය 1998 අංක 21දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මඟින් බලාත්මක කර ඇති අතර මේ වැඩසටහන මඟින් ඉඩම මැන හිමිකම තහවුරුකර රාජ්‍ය වගකීම සහිත හිමිකම් සහතික පතක් නොමිලේ නිකුත් කරන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ආයතන කිහිපයක් ඒකාබද්ධව සිය දායකත්වය ලබාදෙන අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මෙන්ම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමා‍ත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවද ඒ වෙනුවෙන් සක්‍රියව දායක වෙයි.

ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය වඩාත් විශ්වාසනීය, කාර්යක්ෂම, සරල ක්‍රමෝපායකට පරිවර්තනය කිරීම, ඉඩම් ගැටලු හා ආරවුල් විසඳීම තුළින් එම ඉඩම්වල අයිතිය ශක්තිමත් කිරීම හා මනා ඉඩම් කළමනාකරණයක් සඳහාවන පරිගණක ගත ඉඩම් තොරතුරු පද්ධතියක් ඇති කිරීම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණු වෙයි.

මේ අතර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් කඩිනම් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් බිම් සවිය වැඩසටහන මඟින් ඉඩම්වල මූලික තොරතුරු රැස් කිරීමට කටයුතු යොදා තිබෙන බවත් ඒ අනුව ග්‍රාම නිළධාරීන් මඟින් මෙම ඉඩම් තොරතුරු රැස් කිරීමේ ආකෘති පත්‍රය ඉඩම් හිමියන් වෙත ලබා දී ඉඩම සම්බන්ධ සත්‍ය තොරතුරු නිවැරදිව හා පැහැදිළිව සටහන් කොට තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාර දීම කළ යුතු බවත්ය.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අශෝක පීරිස්, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල් ගාමිණී ඉලංගරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.පී.ආර් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.