වැරදි කරන භික්‌ෂූන්ට දඬුවම් දීමට සංඝාධිකරණ පනත සම්මත කරනවා අගමැති මැණික්‌හින්නේදී කියයි

Spread the News

වැරදි කරන භික්‌ෂූන්ට දඬුවම් දීමට
සංඝාධිකරණ පනත සම්මත කරනවා
අගමැති මැණික්‌හින්නේදී කියයි

සිරිල් විමලසුරේන්ද්‍ර, කුණ්‌ඩසාල – ජයවීර බණ්‌ඩාර අතපත්තු

ජාතික ආගමික වශයෙන් මෙතෙක්‌ රටේ පැවැති සමගිය හා විශ්වාසය බිඳෙන ආකාරයෙන් දැන් ඇතැම් සිවුරු පොරවාගත් පිරිසක්‌ කටයුතු කරනවා. ඒ පිරිස මහා සංඝරත්නය නොවෙයි චීවරධාරීන්. එබැවින් එලෙස වැරදි කරන චීවරධාරීන්ට විරුද්ධව කටයුතු කිරීමටත් අවශ්‍ය වෙනත් පියවර ගැනීමටත් මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේට බලය ලබාදෙන කතිකාවත් පනත ළඟදීම පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පියවර ගන්නවා යෑයි අගමැති ආචාර්ය දි.මු. ජයරත්න මහතා මැණික්‌හින්න විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේදී පැවැති උත්සවයකදී පැවැසීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපාන පේමසිරි ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විහාරස්‌ථානයේ නව ශ්‍රී ශීලවංශ අනුස්‌මරණ ධර්ම මන්දිරය විවෘත කළේය.

එහිදී අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අනුව සකස්‌ කරන ලද සංඝාධිකරණ පනත මේ වන විට නීති සම්පාදනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව පැවැසීය.

නීති සම්පාදනය වීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අප්‍රමාදව සම්මත කර වැරදි කරන භික්‌ෂුන් වහන්සේට එරෙහිව සුදුසු පියවර ගැනීමට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත බලය ලබාදෙනවා යෑයි අගමැතිවරයා කීවේය.

එම පනත සකස්‌ කර සම්මත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශිර්වාදය ලැබී තිබෙන බවද හෙතෙම පැවැසීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක නාපානේ පේමසිරි හිමියෝ මහින්ද චින්තනය අනුව මේ රටට තිස්‌ වසරක යුද්ධයකින් පසුව සාමය උදාවී දිවයින පුරා සංවර්ධනයක්‌ ඇති වී ගෙන යන බව පැවසූහ.