Spread the News

පිල්ලේට සහාය දෙනවාද? නැද්ද
මැති සබයට ගෙනා යෝජනාවේ විවාදය අද ඇරඹේ

අජිත් අලහකෝන්

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ නවනීදන් පිල්ලේ මහත්මියගේ තීරණයක්‌ මත ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්‍ෂණය සිදු නොකළ යුතු බවට පාර්ලිමේන්තුව හමුවට ගෙන ආ යෝජනාවේ දෙදින විවාදය අද (17 දා) පස්‌වරු 2.00 ට ඇරැඹේ.

මෙම විවාදය හෙට (18 දා) දිනයෙත් පවත්වන අතර පස්‌වරු 6.00 ට ඒ පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරේ.

ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් වන අචල ජාගොඩගේ, මාලනි ෙµdන්සේකා, ජානක බණ්‌ඩාර, උදිත් ලොකුබණ්‌ඩාර, අල්හාඡ් ඒ. එච්. එම්. අස්‌වර්, ශාන්ත බණ්‌ඩාර, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම, නිමල් විඡේසිංහ, සහ ආර්. දුමින්ද සිල්වා යන අය විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයා වෙත භාර දෙන ලදී.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්‌ කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පරීක්‍ෂණය ශ්‍රී ලංකාවේ සංහිඳියාවේ ක්‍රියාදාමයට හා සාමයට හානියක්‌ වන හෙයින්ද, ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වයට, අභිමානයට හා උදාරත්වයට අභියෝගයක්‌ වන හෙයින්ද එකී පරීක්‍ෂණය සිදු නොකළ යුතුයෑයි අදාළ යෝජනාවේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම යෝජනාව කිසිදු අර්ථයක්‌ නැති බව පවසමින් එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ ඊට පක්‍ෂව ඡන්දය දීමෙන් වැළකී සිටීමටත්, ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමටත් මේ වනවිටත් තීරණය කර ඇත.