Spread the News

ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයට
ලබා දුන් දිව්රුම් ප්‍රකාශය බොරුවක්‌

* සාවද්‍ය දිවුරුම් ප්‍රකාශය දුන් යුද වාර්තාකරුට සහ පවුලේ අයට දේශපාලන රැකවරණ මෙන්ම මසකට ප්‍රැන්ක්‌ 1000 ක්‌ හා වරප්‍රසාද හිමිවෙයි
* හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේත් මේ යුද වාර්තාකරුමයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහි පැවැත්වෙන යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලයේ අරමුණ 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වරදකරුවන් කිරීමයි.

2011 වසරේ ජුලි මාසයේදී චැනල් 4 රූපවාහිනිය 58 වැනි සේනාංකයේ සේවය කළ බව කියන ප්‍රනාන්දු නමින් හඳුන්වන සාක්‌කිකරුවකු ඉදිරිපත් කරමින් කුමන ක්‍රියා මාර්ගයකින් හෝ වැඩේ නිම කරන ලෙස ආරක්‍ෂක ලේකම් විසින් ශවේන්ද්‍ර සිල්වාට නියෝග කළ බවත් කියා සිටියේය.

මේ ප්‍රනාන්දු නැමැති හමුදා නිලධාරියා සමග චැනල් 4 රූපවාහිනිය වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදියකු රහසිගතව සාකච්ඡාවක්‌ පැවැත් වූ බවද එකී රූපවාහිනිය පළ කළේය.

ප්‍රනාන්දු සිය සාක්‍ෂියේදී මෙලෙස ප්‍රකාශ කර ඇත. සෙබළුන් සිවිල් ජනතාවට පිහියෙන් ඇන්නා, ඔවුන්ට අතවර කළා. දිවවල් කැපුවා, කාන්තාවන්ගේ පයෝධර කැපුවා. හිස නැති නිරුවත් කාන්තා සිරුරු මා දුටුවා ඔවුන්ගේ අත් පා සහ අවයව තිබුණේ නැහැ. හමුදා සෙබළු තුවාල ලැබූවන් කෙරේ අනුකම්පාවක්‌ දැක්‌ වූයේ නැහැ. දිනක්‌ මා දැක්‌කා සෙබළුන් හය දෙනෙක්‌ ද්‍රවිඩ තරුණියකට අතවර කරනවා.

මවුපියන් එය දුටුවොත් ඔවුන්ද මරණවා පුදුමාලෙන් හී මළ සිරුරු 1300 ක්‌ මා දුටුවා 50000 කට අධික පිරිසකටත් ඒ දේ සිදුවුණා.

මේ විස්‌මය ජනක ප්‍රනාන්දු නැමැති සාක්‌කිකරු සෙබළුන් 50000 ක්‌ මරණවා දැක ඇත. මේ සාක්‌කිය විශ්වාස කළ හැකිද? එම මළ සිරුරු වළදමා බැම්මක්‌ ඉදි කළ බවත් තමා හඬා වැළපුණු බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ ප්‍රනාන්දුගේ සාක්‌කියෙන් පසු 2014 ඔක්‌තෝම්බර් මස 58 වැනි සේනාංකයට අනුයුක්‌තව සේවය කළ බව පවසමින් යුද විමර්ශනකරුවකු මතු විය.

ඔහු ජිනීවා යුද අපරාධ චෝදනා පරීක්‍ෂණ මණ්‌ඩලය වෙත දිවුරුම් පෙත්සමක්‌ යොමු කළේය. මේ අපූරු දිවුරුම් පෙත්සමට අනුව ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට දුරකථන ඇමතුම් දෙකක්‌ දුන් වේලාවත් යුද වාර්තාකරු හරියටම සටහන් කරගෙන තිබුණි. එම දුරකථන පණිවුඩ දෙකම ඔහුට සවනය වී තිබේ. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වාගේ දුරකථනය ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ විය යුතුය. ආරක්‍ෂක ලේකම් තම දුරකථන පණිවුඩ වලින් ශවේන්ද්‍ර සිල්වාට ප්‍රකාශ කර ඇත්තේ කොටි නායකයන්ව විනාශ කරන ලෙස බවද විශ්මය ජනක යුද වාර්තාකරු පවසා තිබේ. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා ඒ බව අණදෙන නිලධාරීන් අමතා පවසා තිබේ. එම ප්‍රකාශයද යුද වාර්තාකරුට සවනය වී ඇත. එවකට 58 වැනි සේනාංකය බාරව සිටි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (21දා) මේ යුද වාර්තාකරුගේ දිවුරුම් පෙත්සම මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කළේය.

මේ යුද වාර්තාකරු මගේ 58 වැනි සේනාංකයට අනුයුක්‌තව සිටියේ නැහැ. එය මුළුමනින්ම බොරුවක්‌ මේ වාර්තාකරු බලය පෙන්වමින් අපේ සේනාංකයට යොමුවීමට උත්සාහ කළත් මා ඊට ඉඩ දුන්නේ නැහැ. ආරක්‍ෂක ලේකම්වරයා හැමෝටම සවනය වන ලෙසින් දුරකථන ඇමතුමක්‌ දෙනු ඇතැයි විශ්වාස කළ හැකිද?

මේ යුද වාර්තාකරු අද ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබනවා. ඔහු කොටි ඩයස්‌පෝරාවේ අවශ්‍යතා ඉටු කරන්නෙකි.

බොරු දිවුරුම් පෙත්සම ඉදිරිපත් කළ ඒ යුද වාර්තාකරුට සම්බන්ධ කට්‌ටිය 2009 මැයි මාසෙන් පසු මා දැක්‌කෙත් නැහැ යෑයි මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තරයේ කියා සිටියේය.

ප්‍රනාන්දු නමින් හමුදා නිලධාරියෙක්‌ සහ මේ යුද වාර්තාකරු අපේ 58 වැනි සේනාංකයට සම්බන්ධව කටයුතු කළේ නැහැ. වාර්තාකරුවකුවන් යුද මෙහෙයුම්වලට එක්‌කර ගන්නේ නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය. ලෝකයේ කිසිම හමුදාවක්‌ මෙහෙයුම්වලට වාර්තාකරුවන් ගෙන යන්නේ නැහැ. යෑයි ඔහු කීවේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක්‌ මත කොටි ඩයස්‌පෝරාවට පාවාදීමට ක්‍රියා කළ මෙකී යුද වාර්තාකරුගේ කල්ලියේ ඇතමුන් මේජර් ජනරාල්වරයා සමග තවමත් සබඳකම් පවත්වන බවට දියත් වී ඇති ප්‍රචාරයද ඔහු ඉවත දැමීය.

මොවුන් රටේ ජනතාව රවටනවා. මගේ කිසිම සම්බන්ධයක්‌ ඔවුන් සමග නැහැ. මාධ්‍ය ක්‍ෂේත්‍රය මේ බොරු ප්‍රචාරවලට නොරැවටිය යුතුයි යෑයි ශවේන්ද්‍ර සිල්වා පළ කළේය. ආරක්‍ෂක ලේකම්ට සහ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව එකී යුද වාර්තාකරු ජිනීවා පරීක්‍ෂක මණ්‌ඩලයට ලබාදුන් දිවුරුම් ප්‍රකාශය ගැන එකී පරීක්‍ෂණ මණ්‌ඩලය මෙතෙක්‌ විමර්ශනයක්‌ කර නැත.

එහෙත් එකී සාවද්‍ය දිවුරුම් ප්‍රකාශය නිසා යුද වාර්තාකරුට සහ ඔහුගේ පවුලේ අයට ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. ඊට අමතරව යෑපීමේ දීමනා ලෙස ප්‍රැන්ක්‌ 1000 කට අධික මුදලක්‌ හා ඉඳුම් හිටුම්ද ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීමට පහසුකම්ද අනිකුත් පහසුකම්ද ලැබී තිබේ.

මේ යුද වාර්තාකරු ස්‌විස්‌ටර්ලන්තයේ සබඳකම් පවත්වන්නේ කොටි ඩයස්‌පෝරාව සමග යෑයි තවදුරටත් හෙළි වී ඇත.

ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය මේ යුද වාර්තාකරු දුන් දිවුරුම් ප්‍රකාශයේ ඇත්ත නැත්ත විමර්ශනය නොකළේ ඇයි?

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවට තවත් සාවද්‍ය ප්‍රකාශයක්‌ කළේද මේ යුද වාර්තාකරු මෙම මරණ තර්ජනය අද්මිරාල් කරන්නාගොඩ ප්‍රතික්‍ෂේප කළේය.

අපි මේ ගැන ඊයේ (21දා) අද්මිරාල් කරන්නාගොඩගෙන් විමසුවෙමු.

ඒක ඇත්තක්‌ ඔය කියන වාර්තාකරු මට එරෙහිව සාවද්‍ය ප්‍රකාශයක්‌ කර තිබුණා යෑයි හෙතෙම පළ කළේය. අද්මිරාල් කරන්නාගොඩ මෑතකදී ප්‍රකාශයට පත් කළ ග්‍රන්ථයේ මේ යුද වාර්තාකරු සහ ඔහුගේ කල්ලිය හෙළි කර ඇත. එසේ නම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය පිළිගෙන ඇත්තේ තක්‌කඩියකුගේ දිවුරුම් ප්‍රකාශයක්‌ නොවේද?

කීර්ති වර්ණකුලසූරිය