Spread the News

දේශපාලන සහ සමාජීය ක්ෂේත්‍රය දෙස දීර්ඝ කාලීනව නිරීක්ෂණය කළ විට වැටහෙන ප්‍රධානතම කාරණයක් වන්නේ, වසර ගණනාවක් පුරා එකම කරුණු සම්බන්ධයෙන් එකම වේදිකාවන්හි දක්නට ලැබුණු පිරිසක් අතර ප්‍රතිපත්තිමය සමීපතාවයක් ගොඩ නැඟී ඇති බවය. මතුපිටින් කුමන බෙදීම් පෙන්නුම් කළද, බල කවයේ සෑම පැත්තකින්ම ඔවුන් ඔවුන්ම විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටිති. මොවුන් සියලු දෙනා තමන්ගේම වූ දෙස් විදෙස් බලාපොරොත්තු ඉටු කරගැනීම සඳහා තමන් සතු සූක්ෂ්ම න්‍යාය පත්‍ර, ධනය සහ බලය නොපැකිළව පාවිච්චි කරමින් සිටිති.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ, කවය වටේ ඉන්නා බලය අතින් ගත් කවටයන් උසුළු විසුළු කරමින් බුද්ධ ශාසන නීතියට බලපෑම් කිරීමය. රටේ චිරස්ථිතියට ක්‍රියා කරන්නන්ව කවයේ මැදට කොටු කරමින් සිටි. ඉතාම පහසුවෙන් ගොදුරු කරගත හැකි ඉලක්ක දෙස ඔවුන් ඇඟිලි දික් කරමින්, මෙය හෙට අනිද්දා වෙනවා යයි කීම ඔවුන්ගේ උපක්‍රමයක් වී තිබේ. මේ අතර, මැද න්‍යෂ්ටියේ සිටින පිරිස් විසින් මැද කවයට අසරණ සුවදේශිකයන් තල්ලු කොට දෙපැත්තකින් ගසමින් සිටිති.

අන්‍යාගමිකකරණය දැඩිව සිදුවන විට මෙම කවට කණ්ඩායමේ පිරිස් නිශ්ශබ්දව සිටි අතර ඔවුන් කතා කරේ එය අනෙක් මිනිසාගේ අයිතියක් බවය. දරුණු ත්‍රස්තවාදය රජයන විට මොවුන් කතා කරේ එය ඇතිවුණේ ජාතිවාදය නිසා බවය. ඔවුන් හුදෙක් සිංහල බෞද්ධ අප ගොනාට ඇන්දවීමේ කලාව සිදු කරමින් සිටියේය. දැන් පුස්සෝ පිම්බෙමින් සිටිති; තව පිරිසක් පුසන්න පුම්බමින් සිටිති. බැලුමක් පිම්බෙමින් තිබෙන අතර එහි දිව යන කුහුඹුවන් බැලුම පිම්බෙන බව නොදන්නේය. පුපුරා යන විට ඒ මහා දෝංකාරයත් එක්ක කුහුඹුවන් විනාශ වී යන්නේය. එවන් ආකාරයෙන් මේ වීරයන් සේ පෙනී සිටින බේගල්කාර කවටයන් නුදුරු දිනකදී මෙම පුණ්‍ය භූමියෙන් අහක් වී යන්නේය.

මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය දෙස මනා වැටහීමකින් යුතුව නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ, මේ සියලු බල අරගලයන්, ව්‍යාජ සටන් පාඨ සහ පටු න්‍යාය පත්‍රයන් හමුවේ අන්තිමේදී අනතුරේ වැටෙන්නේ සැබෑ සුවදේසිකයන් බවය. එහෙත් වටහාගත යුතු අවසාන සත්‍යය නම්, බුද්ධ ශාසනය පවතින තාක් කල් අමනුෂ්‍ය ආණ්ඩු, මනුස්ස අමනුෂ්‍ය ආණ්ඩු හෝ දේව ආණ්ඩු අප රට තුළ නොපවතින බවය. එබැවින් මෙම තිත්ත යථාර්ථය සහ තිරය පිටුපස සිදුවන දේ තේරුම් ගැනීම වර්තමානයේ සැමගේ වගකීමකි.

– පාලිත රියරත්න
සෙංකඩගල සිංහල ද්වාරයේ සිට, జාතික බෞද්ධ බලවේගය සහ සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන්.

Protected by Security by CleanTalk