Spread the News

ඥානප්‍රභා හිමි මධුමාධව හෙළ උරුමයෙන් ඉවත් කෙරෙති

ප්‍රභාත් විතාන

ජාතික හෙළ උරුමය පක්‍ෂය නියෝජනය කරමින් ඇඹිලිපිටිය නගරාධිපති ලෙස තේරී පත්වූ වේවැල්දූවේ ඥානප්‍රභා හිමියන් පක්‍ෂ සාමාජිකත්වයෙන් සහ උන්වහන්සේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කළ බව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (05දා) පැවසීය.

ඥානප්‍රභා හිමි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂයේ තීරණයට පිටුපා කටයුතු කිරීම නිසා මෙම තීරණය ගත් බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේය.

ඒ අනුව වේවැල්දූවේ ඥානප්‍රභා හිමි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ මධ්‍යම කාරක සභික ධුරයෙන් හා රත්නපුර දිස්‌ත්‍රික්‌ සංවිධායක ධුරයේ ඉවත් කර පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමටද පක්‍ෂයේ නායකත්ව මණ්‌ඩලය තීරණය කළ බවද වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ගම්පහ දිස්‌ත්‍රික්‌ සංවිධායක මධුමාධව අරවින්ද මහතාගේ ද පක්‍ෂ සාමාජිකත්වය ඉවත් කළ බවද ඒ මහතා කීවය.

ජාතික හෙළ උරුමය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්‌වන අතර වේවැල්දුවේ ඥානප්‍රභා හිමි සහ මධු මාධව අරවින්ද මහතා පක්‍ෂයේ එම තීරණවලට එරෙහිව කටයුතු කිරීම නිසා පක්‍ෂ මෙම තීරණය ගත් බවද වර්ණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.