හිටපු ජනපති චන්ද්‍රිකාට පහර දීමේ සිද්ධියේ වාර්තාව අධිකරණයට

Spread the News

හිටපු ජනපති චන්ද්‍රිකාට පහර දීමේ
සිද්ධියේ වාර්තාව අධිකරණයට

විජයසිරි විද්‍යසේකර – කළුතර සමූහ

බේරුවල දිනගොඩදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ගමන් කළ වාහන පෙළට ඉකුත් 26 වැනිදා ගල් ප්‍රහාරයක්‌ එල්ල කර පහර දීමට තැත් කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය අධිකරණයට වාර්තාවක්‌ පමණක්‌ ඉදිරිපත් කර ඇතැයි ද සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි ද නීතිඥ සාලිය පීරිස්‌ මහතාගේ උපදෙස්‌ පිට නීතිඥවරුන් වන අස්‌ථික දේවේන්ද්‍ර හා ලිලාන් වරුෂවිතාන යන මහත්වරු කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට මෝසමයක්‌ මගින් කරුණු වාර්තා කළේය.

ජනාධිපති අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අළුත්ගම ජන රැලියට සහභාගි වීමෙන් පසු හිටපු ජනාධිපතිනිය රාත්‍රි ආහාර ගැනීමට බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ඉස්‌තිකාර් ජෙමිල් මහතාගේ නිවසට යමින් සිටියදී බේරුවල එ.ජ.නි.ස. සංවිධායක වඡ්ජාන් පලිල්, බේරුවල නගරාධිපති මිල්පුර් කපූර් ඇතුළු පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි ද නීතිඥවරු අධිකරණය හමුවේදී කියා සිටියහ.

නගරාධිපතිවරයා සමග පොලිස්‌ විශේෂ කාර්ය බළකා භටයන් සිට ඇතැයි ද මෙම සිද්ධිය පිළිබඳව ජනාධිපතිනියගේ ආරක්‍ෂක නිලධාරීන් පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇතැයි ද එහෙත් පරීක්‍ෂණයක්‌ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි ද අධිකරණය හමුවේ කියා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය මෙම නඩුව මෙම මස 11 වැනිදා කැඳවන ලෙස නියෝග කළාය.