කුමන්ත්‍රණය, බැංකු ගිණුම්, ඉඩම්, ගෙවල් සහ අවි ගබඩා ගැන ගෝඨාභය ඇත්ත කියයි

Spread the News

කුමන්ත්‍රණය, බැංකු ගිණුම්, ඉඩම්, ගෙවල්
සහ අවි ගබඩා ගැන ගෝඨාභය ඇත්ත කියයි

ප්‍රශ්නය(- ජනාධිපතිවරණයට පසු දින එනම් ජනවාරි 9 වැනිදා අලුයම කුමන්ත්‍රණයක්‌ සිදු වෙන්නට ගිය බවට චෝදනාවක්‌ තිබෙනවා. මොකක්‌ද එහි ඇත්ත?

පිළිතුර(- ජනවාරි 9 වැනිදා අලුයම මම අරලියගහ මන්දිරයට ගියා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කුමක්‌ වුවත් ජනවාරි 9 වැනිදා අලුයම විරුද්ධ පක්‍ෂයේ පිරිස්‌ අරලියගහ මන්දිරය වැටලීමට සැළසුම් කරන බවට බුද්ධි අංශයේ වාර්තා අපට කල් තියාම ලැබී තිබුණා. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඊළඟට අප නීතිපතිගෙන් උපදෙස්‌ ලබා ගත්තා. ඉන්පසු විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කතා කළා. තමන් හැකි ඉක්‌මනින් අරලියගහ මන්දිරයට එන බව ඔහු කිව්වා. ඔහු පැමිණි පසු සාකච්ඡාවක්‌ පවත්වා ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයෙන් නික්‌ම යායුතු බව තීරණය කළා. ජනාධිපතිතුමාගේ සහ සෙසු අයගේ ආරක්‌ෂාව ගැන වගකීම රනිල් වික්‍රමසිංහ මැතිතුමා භාරගත්තා. මේ සියල්ල සිදුවන්නේ ජනාධිපතිවරයාගේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්නට පැය ගණනාවකට පෙරයි. කුමන්ත්‍රණ සැළසුමක්‌ අපට තිබුණා නම් නීතිපතිගේ උපදෙස්‌ ගත්තේ ඇයි? ඔහු ආණ්‌ඩුවට දෙන්නේ ඉතාම නීත්‍යානුකූල උපදෙස්‌.

ප්‍රශ්නය(- ඡන්දයෙන් පසු ඔබ ගුවන් හමුදා යානයකින් මාලදිවයිනට පැන ගිය බවට ආරංචියක්‌ පැතිර ගියා.

පිළිතුර(- ඒක වැරදි තොරතුරක්‌. මා දිගටම සිටියේ මගේ නිල නිවාසයේ.

ප්‍රශ්නය(- ඡන්දයෙන් පසු පැතිර ගිය තවත් කටකතාවක්‌ මෙසේයි. ඔබට ගල්කිස්‌සේ ගෙයක්‌ තිබෙනවලු. මුහුදු වතුර පිරවූ බවුසර් දෙක බැගින් දිනපතාම ඒ ගෙදරට ගෙන එන හැටි අසල්වාසීන් දැක තිබෙනවලු. ඒ නිවසේ ටැංකිවල මිනී මෝරුන් ඉන්නවලු. ඒ පළාතේ සිටින බල්ලන් අතුරුදන් වෙනවලු ඒකට හේතුව ඔබේ මිනිසුන් මෝරුන්ට කන්න දෙන්න බල්ලන් අල්ලාගෙන යනවලු.·

පිළිතුර(- මට හිතෙන්නේ මේ ගෙය සුරතල් මසුන් රට පටවන කෙනකුගේ දේපලක්‌. ගල්කිස්‌සේ හෝ ලංකාවේ කිසිම තැනක මට අයිති ගෙයක්‌ නැහැ. නිල නිවස අත්හැරියට පස්‌සේ මා දැනට ඉන්නේ මගේ නැන්දම්මලාගේ ගෙදරයි. ඒ ගෙදරට අල්ලපු ඉඩම මා සමඟ විවාහ වෙද්දී මගේ බිරිඳට දෑවද්ද හැටියට ලැබුණා. එතකොට මා වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අපි ඒ ඉඩමේ ගෙයක්‌ හැදුවා.

ප්‍රශ්නය(- ඔබේ නමට ගෙවල් හා ඉඩම් විශාල වශයෙන් තිබෙන බවට ජනතා විමුක්‌ති පෙරමුණ අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

පිළිතුර(- කොයි කොයි දේපල කොයි කොයි අයට අයිතිද කියන එක ගැන නිවැරදි තොරතුරු ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලවලින් ලෙහෙසියෙන් ලබාගන්නට පුළුවන්. මට අයිති ඉඩමක්‌ හෝ ගෙයක්‌ ඔප්පුකර පෙන්වන්නට කෙනෙකුට හැකි නම් ඒ දේපළ එයාට තෑගි දීමට සූදානම් බව මා මෙයට කලකට පෙර ප්‍රකාශ කළා.

ප්‍රශ්නය(- යුද්ධයේදී අවි මිලදී ගැනීම සඳහා ලංකා ලොජිස්‌ටික්‌ස්‌ නමැති ආයතනය කටයුතු කළ ආකාරය ගැන ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනරාල් සරත් ෙµdන්සේකා චෝදනා කළා. හිටපු හමුදාපති වැනි කෙනකු එවැනි දේ කියනවිට සාමාන්‍ය ජනයා ඒවා විශ්වාස කරනවා.

පිළිතුර(- ලංකා ලොජිස්‌ටික්‌ස්‌’ කියන්නේ ආරක්‌ෂක අමාත්‍යාංශය සතු ආයතනයක්‌. එය කෝප් කමිටුවේ අධීක්‍ෂණයට යටත්. මෙය ඇතිකර තිබෙන්නේ යුද අවි මිලට ගැනීමේදී අතරමැදි ජාවාරම්කරුවන් මැදට පැන අයුතු ලාබ ලැබීම වළක්‌වන්නටයි. ලංකා ලොජිස්‌ටික්‌ස්‌ පිහිටුවීමෙන් පසු මේ අරමුණ සාර්ථක වූ අතර එතෙක්‌ අතරමැදියන්ට යමින් තිබූ මුදල් විශාල වශයෙන් ඉතිරිකර ගන්නට හැකි වුණා. යුද හමුදාවට යම් දෙයක්‌ මිලට ගන්නට උවමනා වුණාම සැපයුම්කරු සමඟ සම්බන්ධවී, වෙනත් සැපයුම්කරුවන්ගේ මිල සහ භාණ්‌ඩයේ තත්ත්වය සංසන්දනය කර හොඳම දේ ලබා ගන්නට මේ යටතේ පුළුවන් වුණා. මේ සමාගම පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් නොව ඒ ඒ රටවල ආණ්‌ඩු හරහා මිලදී ගැනීම් සැළසුම් කළා. කොහොම වුණත් අවසානයේදී මිලදී ගැනීම් සිදුවූයේ කැබිනට්‌ මණ්‌ඩලය මගින් පත්කළ ටෙන්ඩර් මණ්‌ඩලයක්‌ සහ තාක්‌ෂණික ඇගයුම් කමිටුවක අනුමැතිය ලැබුණු පසුයි.

ප්‍රශ්නය(- රක්‌නා ලංකා ආරක්‌ෂක සේවාව ගැන ඔබ කියන්නේ කුමක්‌ද? මේ සමාගමට අයත් අවි ගබඩාවක්‌ කොළඹ බණ්‌ඩාරනායක සමුළු ශාලා ගොඩනැඟිලි සංකීර්ණයෙන් හමුවුණා.

පිළිතුර(- රක්‌නා ලංකා කියන්නේ විශාල උනන්දුවක්‌ සහ කැපකිරීමක්‌ යොදවා පිහිටවූ රජයේ ආයතනයක්‌. මේ ආයතනයත් ලංකා ලොජිස්‌ටික්‌ස්‌ වගේම ආරක්‌ෂක අමාත්‍යාංශයට අයත් දේපලක්‌. ආරක්‌ෂක අමාත්‍යාංශයේම අතිරේක ලේකම්වරයකු යටතේ මෙය ක්‍රියාත්මක වුණා. රජයට අයත් දේපලක්‌ නිසා මේ ආයතනයත් කෝප් කමිටුවට යටත්. රක්‌නා ලංකා නිසා විශ්‍රාමික හමුදා සෙබළුන්ට විශාල වශයෙන් රැකියා ලැබුණා. රක්‌නා ලංකා වැඩිපුරම කළේ ඉන්දියන් සාගරයේ ගමන් කරන නැව්වලට ආරක්‌ෂාව දීමයි. මෙය ඉතාම විශාල ලාභ ගෙන දුන් ව්‍යාපාරයක්‌. රක්‌නා ලංකා ආයතනය සහ ඇවන්ට්‌ගාඩ් නමැති දේශීය පෞද්ගලික ආරක්‌ෂක සමාගම අතර ව්‍යාපාරික ගිවිසුමක්‌ තිබෙනවා. ඒ ගිවිසුමට අනුව ජාත්‍යන්තර මට්‌ටමේ ව්‍යාපාර කටයුතු රක්‌නා ලංකා ආයතනයට ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ඇවන්ට්‌ගාඩ් ආයතනයට අවසර ලැබෙනවා. මුහුදු මාර්ග සහ නැව්වලට ආරක්‌ෂාව සැපයීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා අනුමත කළ ව්‍යාපාරයක්‌. මේ සඳහා පිළිගත් නීති රීති අනුගමනය කළ යුතුයි. මේ නීති අනුගමනය කරමින් රක්‌නා ලංකා ආයතනය ආරක්‌ෂක කටයුතු සඳහා පුද්ගලයන් සහ ආයුධ සැපයීම කළා. මා නැවතත් කියන්නේ මේ කාරණයට අදාළ නීති රීති අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි. මන්ද පුද්ගලික ආරක්‌ෂක සමාගමකට දුන් ගිනි අවියක්‌ නීති විරෝධී කටයුත්තකට යොදා ගත්තොත් එය ලොකු ප්‍රශ්නයක පටන් ගැන්ම වනවා. විශාල ලාභ ලැබූ ආයතනයක්‌ වන රක්‌නා ලංකාවේ එම ලාභ රජයට හිමිවුණා. මේ කලාපයේ නැව්වලට ආරක්‌ෂාව සපයන ප්‍රධානතම ආරක්‌ෂක සමාගම බවට රක්‌නා ලංකාව පත්වුණා. මේ ආයතනය විනාශ කිරීම දරුණු අපරාධයක්‌.

ප්‍රශ්නය(- නව මුදල් ඇමැතිතුමා වන රවී කරුණානායක කියා තිබෙනවා ලංකා බැංකුවේ ආරක්‌ෂක ලේකම් නමට ඇති ගිණුමක රුපියල් බිලියන 8 ක්‌ තැන්පත aකර තිබෙනවා කියලා. මේ ගැන ඔබ කියන්නේ කුමක්‌ද?

පිළිතුර(- මේ මුදල මේ ගිණුමට දැමුවේ භාණ්‌ඩාගාරයයි. ඒ මුදල උපයා ගත්තේ යුද හමුදා මූලස්‌ථාන ඉඩම විකිණීමෙන්. බත්තරමුල්ල නව ආරක්‌ෂක අමාත්‍යාංශ ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකරන්නේ මේ මුදලින්. පුද්ගලික ගිණුමක මුදල් තැන්පත් කරන්නට මොනම හේතුවකටවත් භාණ්‌ඩාගාරයට බැහැ. ඔය කියන ගිණුම මගේ නමට තිබෙන එකක්‌ නොවෙයි. එය ආරක්‌ෂක ලේකම් කියන තනතුරට අදාළ ගිණුමක්‌. අද මෙහි භාරකාරයා තමයි දැනට ඉන්න ආරක්‌ෂක ලේකම්. මෙය ස්‌ථාවර තැන්පතුවක්‌ නොවෙයි. නව යුද හමුදා ගොඩනැඟිලි සංකීර්ණය අප්‍රමාදව ඉදිකිරීම් සඳහා වැය කරන්නට තිබෙන මුදල් ගිණුමක්‌. මේ ඉදිකිරීම සඳහා බත්තරමුල්ලේ ඉඩම වෙන් කළේ අවුරුදු 20 කට ඉස්‌සර. ජනාධිපති චන්ද්‍රිකාගේ කාලයේදීත් මේ ඉදිකිරීම් සඳහා සැළසුම් ඇන්දා. ඒ අනුව මේ ගොඩනැඟිලි සමූහය දිගු කලක පටන්ම ඉදිකර අවසන් කරන්නට තිබුණ දෙයක්‌. අදාළ ගිණුම පරිපාලනය කරන්නේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරීතුමායි. මෙහි වාර්ෂික ශේෂය රජයේ ශේෂ පත්‍රයේ වාර්ෂිකව වාර්තා කරනවා.

ප්‍රශ්නය(- ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නැගුණ චෝදනාවලට ප්‍රමාණවත් උත්තර දෙන්නට රාජපක්‍ෂ ආණ්‌ඩුව පියවර ගත්තේ නැහැ. ඒ චෝදනා ඇත්ත බව මිනිසුන් පිළිගත්තේ ඒ නිසයි. ජනාධිපතිවරයාගේ දරුවන්ට පෞද්ගලික හෙලිකොප්ටර් තිබෙන බවට සමහරු චෝදනා කළා. එවිට ඔහු කීවේ “මගේ ළමයින් පුංචි කාලයේදී මම ඔවුන්ට සෙල්ලම් හෙලිකොප්ටර් අරගෙන දුන්නා” කියලයි. මෙය ප්‍රමාණවත් උත්තරයක්‌ නොවෙයි. රට තුළ හෙළිකොප්ටර් කීයක්‌ තිබෙනවාද කියන එකත් එයින් කීයක්‌ ගුවන් හමුදාවට අයත්ද කීයක්‌ පුද්ගලික අයිතියට යටත්ද කියන කාරණයත් තමන්ගේ පුතුන්ට හෙලිකොප්ටර් අයිති නැති බවත් ඔවුන් අවශ්‍ය අවස්‌ථාවලදී ගුවන් හමුදා හෙලිකොප්ටර් පාවිච්චි කරන බවත් ජනතාවට කිව යුතුව තිබුණා.

පිළිතුර(- කුඩා ගුවන් යානා සහ හෙළිකොප්ටර් අයිති පෞද්ගලික සමාගම් කිහිපයක්‌ මේ රටේ තිබෙනවා. උදාහරණයක්‌ ලෙස සජින් වාස්‌ ගුණවර්ධනට එවැනි හෙලිකොප්ටර් සමාගමක්‌ තිබෙනවා. යූ. එන්. පි යෙන් දේශපාලනය කරන දයා ගමගේ සහ මයන්ත දිසානායක (ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා) යන අයටත් හෙලිකොප්ටර් සමාගම්වල කොටස්‌ තිබෙනවා. නොයෙල් සෙල්වනායගම් නමැති ව්‍යාපාරිකයාටත් හෙලිකොප්ටර් තිබෙනවා. එහෙත් හිටපු ජනාධිපතිතුමාට, ඔහුගේ පවුලේ අයට හෙලිකොප්ටර් අයිති නැහැ.

සාකච්ඡා කළේ –  සී. ඒ. චන්ද්‍රප්‍රේම