කකුලක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ අනිත් කකුල විපක්‍ෂයේ පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ගැන ප්‍රශ්නයක්‌!

Spread the News

කකුලක්‌ ආණ්‌ඩු පක්‍ෂයේ අනිත් කකුල විපක්‍ෂයේ
පාර්ලිමේන්තුවේ ආසන පැනවීම ගැන ප්‍රශ්නයක්‌!

අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත්වී සති දෙකක්‌ ගතව ගියේය. ජනාධිපති ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලයක්‌ රටේ ක්‍රියාත්මකව තිබේ. අග්‍රාමාත්‍යවරයෙක්‌ බලයට පත්වී ආණ්‌ඩුව ඉදිරියට ගෙන යමින් තිබේ. පසුගිය සතිය පුරාම අපි දේශපාලනමය වශයෙන් දුටුවේ අග්‍රාමාත්‍යවරයා බලවත්ව ජනාධිපතිවරයා හා කරට කර ක්‍රියාත්මක වෙමින් ආණ්‌ඩුව ඉදිරියට ගෙන යන ආකාරයයි.

අපේ සමාජයේ ලබා තිබෙන අත්දැකීම් තුළ එය අපට අලුත් අත්දැකීමක්‌ ලෙස කැපී පෙනෙන්නට විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට පෙර පැවසූ ආකාරයටම සිය රාජකාරි කටයුතු ආරම්භ කළේම සරල හා නිහතමානී ගති පැවතුම්වලින් පිරි වැඩි කලබලයක්‌ නැති පාලකයකු ලෙසිනි. සුපුරුදු අල්පේච්ච ගති පැවතුම් කිසිවක්‌ වෙනස්‌ නොකොට සැප සම්පත් හා බලතල ඉතා අඩුවෙන් භාවිත කරමින් මුල සිටම ඔහු උත්සාහ කළේ තමන් ආරම්භ කරන්නට බලා සිටි යහපාලනයට ජීවිතයෙන්ම ආදර්ශයක්‌ සැපයීමට යෑයි කිවහොත් නිවැරැදිය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වසර 20 ක්‌ විපක්‍ෂයේ සිටි පාක්‍ෂිකයන්ගේ ජයග්‍රහණයේ අභිමානය යහපත් ලෙස සමරන්නට ඉඩ දුන්නේය. විරුද්ධ පක්‍ෂවලට හිsරිහැරයක්‌ වන ලෙස ජයග්‍රහණය සැමරීමේ ක්‍රියාපටිපාටිය වෙනස්‌ කර නිහතමානීව ජයපැන් බොන කලාව පාක්‍ෂිකයන්ට ආදර්ශයෙන් ඔප්පු කර පෙන්වීමට රනිල් දැරූ තැත රටේ බොහෝ ප්‍රදේශවල සාර්ථකව තිබිණි. අසාර්ථක වූවා නම් වූයේ “අගලවත්ත මන්ත්‍රී දණගැස්‌සවීමේ සිද්ධිය” බඳු සිදුවීම් අතළොස්‌සකදී පමණි.

මේ සියල්ලටම වඩා එක්‌සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන්ට වැදගත් වූයේ මේ ලැබුණ තමන්ගේ රජය යටතේ දින සියයේ කෙටි කාලපරාසය තුළ හෝ රාජ්‍ය වරප්‍රසාද භුක්‌ති විඳීමටය. පසුගිය සතියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විවේකයක්‌ නොවූයේ එසේ රජයේ තනතුරු හා පත්වීම් ඉල්ලාගෙන ඒවා බලාපොරොත්තුවෙන් හමුවන්නට වැල නොකැඩී පැමිණෙන පක්‍ෂයේ ක්‍රියාකාරීන් නිසාය. රනිල් ඉතා කල්පනාකාරීව ඒ සියල්ල පාලනය කරගන්නා ආකාරය පසුගිය සතියේ දක්‌නට ලැබුණ කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ විය.

අලුත් ඇමැතිවරු යහපාලනයට සැරසෙති

පසුගිය සතියේ අපට විශේෂයෙන්ම දැකගන්නට ලැබුණ දේශපාලන සංසිද්ධිය වූයේ අලුත් අමාත්‍යාංශවල අලුත් ඇමැතිවරු පැමිණ වැඩ භාරගැනීම්ය. මංගල සමරවීර විදේශ ඇමැතිවරයා පසුගිය සතියට පෙර සතියේම පත්වීම ලැබුවාට පසුවදා අමාත්‍යාංශයට ගොස්‌ කිසිත් සද්දයක්‌ නැතිව කලබලයක්‌ නැතිව වැඩ භාර ගත්තේය. ඒ ඔහුට ළඟ ළඟම විදේශ සංචාරයකට සහභාගි වන්නට සිදුව තිබූ නිසාය. ඔහු වැඩ භාරගැනීමෙන් පසු කරන පළමු රාජකාරිය ලෙස ඉන්දියාවට ගියේ පසුගිය කාලයේ රටේ අනුගමනය කරමින් තිබූ විදේශ ප්‍රතිපත්තිය නිසා තරමක්‌ විරසකයකට පත්ව කලකිරීමක සිටි ඉන්දීය රජය යළි මිතුරු කර ගැනීම සඳහාය. ඔහු ඒ කාර්යය සාර්ථකව කරමින් සිටියේය.

මේ අයුරින් සද්ධ බද්ධ නොමැතිව වැඩ රාජකාරි පමණක්‌ භාරගත්තේ ඇමැතිවරු අතළොස්‌සක්‌ යෑයි කිවහොත් නිවැරැදිය. ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද වැඩ භාරගත්තේ තමන්ම අතින් සියලු වියහියදම් ද දැරූ චාම් උත්සවයකිනි.

අමාත්‍ය කරු ජයසූරියට පසුගිය සතියේ අමාත්‍යාංශ දෙකක වැඩ රාජකාරි භාරගන්නට සිදුව තිබුණේ දෙවාරයකටය. පළමුව බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ඔහු වැඩ භාර ගත්තේය. දෙවනුව පළාත් පාලන, පළාත් සභා හා ප්‍රජාතන්ත්‍රීය යහපාලනය පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත්තේ සියලු නිකායවල ස්‌වාමීන් වහන්සේලා හා ආගමික පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ ආශිර්වාදය අනුදැනුම හා උපදේශකත්වය මතය. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැඩ බාරගනිමින් ඔහු කීවේ මෙතෙක්‌ කලක්‌ මඟහැරෙමින් අතපසු වෙමින් තිබූ විහාර දේවාලගම් පනත, බෞද්ධ ප්‍රකාශන පනත ආදී අණපනත් සියල්ල වහාම බලාත්මක වන ආකාරයට ඉදිරියේ විධිවිධාන සකස්‌ කරන බවයි.

ඒ අයුරින් වියදම් අඩු චාම් උත්සව දක්‌නට ලැබුණේ ඉතාමත්ම සීමිත ගණනකි. එහෙත් සමහර ඇමැතිවරු ඒ උත්සව මහ ඉහළින් සමරමින් ලද අවස්‌ථාව අත් නොහැර උත්සව පවත්වන ආකාරය ද පසුගිය සතියේ දකින්aනට ලැබිණි.

දින සියයේ මේ කාලපරාසයට පත්කරනු ලබන්නේ තාවකාලික කැබිනට්‌ මණ්‌ඩලයක්‌ බව පත්වීම් ලිපි භාරදෙමින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේ පසුගිය සතියට පෙර සතියේය. එහෙත් මේ සති දෙකට ඒ සියල්ල අමාත්‍යවරුන්ට අමතකව ගිය සෙයක්‌ පෙනිණ. ඒ ටික කාලයට පත්ව ආ අමාත්‍යවරුන්ටත් එහා ගොස්‌ අමාත්‍යාංශ ඇතුළේ පෙරළියක්‌ කරන්නට සමහර ලේකම්වරුන්ට අවශ්‍ය බවක්‌ දැනෙන්නට පටන් ගත්තේය. ඔවුන් අමාත්‍යාංශවල මේස පුටු වෙනස්‌ කරමින් නම් මාරු කරමින් µයිල් කවරවල පවා නම් වෙනස්‌ කරමින් බෝඩ් ලෑලි වෙනස්‌ කරමින් විප්ලවයක්‌ කර වැඩ පෙන්වන්නට වෙහෙසුණේ අමාත්‍යවරු වැඩ බාරගැනීම්වලදී උත්සව නොපවත්වා අඩුවෙන් වියදම් කර චාම්ව කරන ලද සියල්ල කණපිට හරවමිනි. ඒවා පිටට පෙනෙන්නට වූයේ පිත්තෙන් දිය එකතු කර පීල්ලෙන් ගලා යන්නට සැලසුවා සේය.

මහින්ද පසුපස පොලිසියත් පන්නලා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනාගත යහපාලන සැලසුම් සකස්‌ කරමින් අපිස්‌ ජීවිතයක්‌ ගෙවමින් සිය නිලධාරීන් සමඟ අනාගතය දෙස බලද්දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ආණ්‌ඩුවේ බලපරාක්‍රමය විහිදුවමින් පාලන ව්‍යqහය සකසමින් සිටියා යෑයි කිවහොත් නිවැරැදිය. අමාත්‍යාංශ සතු රාජ්‍ය ආයතනවල හා ව්‍යවස්‌ථාපිත ආයතනවල සභාපතිවරුන් හා බලධාරීන් පත්කර ඉවර කිරීම හා ඒවා ක්‍රියාකාරීන්ගේ සිත් නොරිදෙන ආකාරයට කරගැනීම රනිල් හමුවේ තිබූ ලොකුම අභියෝගය විය. ඉවසිලිවන්ත රනිල් කලබලයක්‌ නොපෙන්වා පියවරෙන් පියවර ඒ සියල්ල ඉටුකරන බව පෙනෙන්නට තිබිණ.

මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පසුගිය කාලයේ මුහුණ දෙන්නට සිදුව තිබූ අවිවේකී වෙහෙසකර ජීවිතය ටිකෙන් ටික ඈත්ව යන්නට පටන්ගෙන තිබිණි. විවේකය හා නිදහස ඔහු සොයා එන්නට විය. වැල නොකැඩී ජනාධිපතිවරයාව බලන්නට ආ ආධාරකරුවන් හා පාක්‍ෂිකයන් එක පාර අඩු වූයේ නැත. සිදුවූයේ ඔහු කොහේ සිටින්නේදැයි සොයා ගන්නට බැරිවීමය. මහින්ද ඉන්නේ මැදමුලනද තංගල්ල කාල්ටන් නිවසේද නැතහොත් කොළඹ ද කියා නිශ්චිතව දැනගන්නට නොහැකි නිසා ජනතාව ඔහු සොයා යැම අඩු කරන තත්ත්වයක්‌ තුළ හිටපු ජනාධිපතිවරයාට එදා අස්‌වැසිල්ලක්‌ ලැබුණේ යෑයි කීම සාධාරණය.

මේ අතරතුර ජනාධිපති මහින්දට අයත් තංගල්ලේ කාල්ටන් නිවසට පසුගිය සතියේ මුල එක්‌තරා හේතුවක්‌ නිසා පොලිසිය කඩාවැදීම ද විශේෂ සිද්ධියක්‌ විය. මහින්ද රාජපක්‍ෂ ඇතුළු පවුලේ වගකිවයුත්තන් කිසිවෙක්‌ නිවසේ නොසිටි අවස්‌ථාවක මේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම පැමිණ සිටියේ විශේෂ වරෙන්තුවක්‌ ද සහිතවය. ඔවුන් පරීක්‍ෂා කරනු ලැබ තිබුණේ ගුවන් යානාවක කොටස්‌ හෝ සුපිරි වර්ගයේ මෝටර් රථයක කොටස්‌ කාල්ටන් නිවසේ කොහේ හෝ තැනක සඟවා තිබේද කියා බව එවෙලේ නිවසේ සිටි සේවකයන්ට දැනගන්නට ලැබී තිබිණි. ඔවුන් ඒ පිළිබඳ නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති අතර නාමල් අදාළ පොලිස්‌ ප්‍රධානීන්ට කතා කර විරෝaධය පළකර තිබුණත් පරීක්‍ෂණයට ඒ කිසිවකින් බාධාවක්‌ නොවූ බව කියවිණි.

ස්‌වාධීන මන්ත්‍රීවරු කථානායකට මෙසේ ලියති

පසුගිය සඳුදා උදේ පොලිසිය විසින් තංගල්ලේ කාල්ටන් නිවස පරීක්‍ෂා කරන අතරතුර කොළඹ එක්‌තරා ස්‌ථානයකදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ ද පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කිසිදු නියෝජිතයකු පැමිණ නොසිටීම ද විශේෂ කරුණක්‌ ලෙස සැලකිණි.

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, තිස්‌ස විතාරණ, ඩග්ලස්‌ දේවානන්ද, වාසුදේව නානායක්‌කාර හා උදය ගම්මන්පිල ද එහි ප්‍රධාන ක්‍රියාකාරීහු ලෙස සිටියහ. මෙහිදී සාකච්ඡාවට ගැනුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් පැවැත්වෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන විධායක කමිටු රැස්‌වීමට සහභාගි වනවාද නැද්ද යන කාරණාව පිළිබඳවය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමිවීමත් සමඟම ඊට අනුබද්ධ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නායකත්වය ද නිරායාසයෙන් ඔහුට හිමිව තිබේ. මේ නිසා ඔහු කැඳවන විධායක සභා රැස්‌වීමට සන්ධාන පාක්‍ෂික ක්‍රියාකාරීහු යායුතුය. මෙහිදී සන්ධානයේ පක්‍ෂ නායකයන් වන සෙසු පක්‍ෂ කෙසේ කටයුතු කළයුතු ද කියා සාකච්ඡාව පැවැත්විණි.

මහජන එක්‌සත් පෙරමුණ හැටියට අපි මේ නියෝග පිළිගන්න බැඳිල නෑ. අපි සන්ධානගත වුණේ එක්‌ අරමුණකට රට ගෙනියන්න. දැන් ඒ අරමුණ වෙනස්‌, ඒක නිසා අපි මේකට යන්නේ නෑ. දිනේෂ් කීවේය.

මමත් ඒ මතයට එකඟයි. විමල් වීරවංශ ද ඊට එකඟ වූයේ ජාතික නිදහස්‌ පෙරමුණ හැටියටය. කොහොමටත් විමල්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ එක කණ්‌ඩායමක කටයුතු කරන්නය බැරි ආකාරයේ ප්‍රශ්න පසුගිය මැතිවරණ සමයේ නිර්මාණය වී තිබිණි. වාසුදේව හා ගම්මන්පිල ද එම මතයේම සිටියහ.

අපි මේ පාර රැස්‌වීමට යනවා. ගිහින් තත්ත්වය බලල තමයි ඊළඟට අපි මෙතන එකට ඉන්නවද නැද්ද කියල තීරණයක්‌ ගන්නේ. සෙසු පක්‍ෂ නායකයෝ කියා සිටියහ.

මෙම රැස්‌වීම නිමා කළ පක්‍ෂ නායකයෝ ඊළඟට කෙළින්ම ගියේ පාර්ලිමේන්තුව වෙතය. පාර්ලිමේන්තුවේදී කථානායකවරයා හමු වූ මේ නායකයෝ එක්‌තරා ලිපියකින් ලිත ඉල්ලීමක්‌ කරනු ලැබුවේ පක්‍ෂ නායකයන් ගණනාවකගේම අත්සන් ද සහිතවය.

අපි පාර්ලිමේන්තුවේ ස්‌වාධීනව කටයුතු කරන විපක්‍ෂයේ පක්‍ෂවල නායකයෝ ලෙස පිළිගන්න. අපිට එසේ ස්‌වාධීනව කටයුතු කරන විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන වරප්‍රසාද ලබාදෙන්න…… පක්‍ෂ නායකයෝ ඉල්ලා සිටියහ. එහි අතාවුල්ලාගේ අත්සන ද සහිත වීම විශේෂත්වයක්‌ විය.

පුටු ගැන කතාවට
පක්‍ෂ නායකයෝ එක්‌වෙලා

19 වැනි සඳුදා හවස පාර්ලිමේන්තුවේදී තවත් විශේෂ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ පැවැත්වුණේ කථානායක චමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙනි. ඊට එක්‌සත් ජාතික පක්‍ෂයේ සභානායක කිරිඇල්ල, ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක ගයන්ත සහභාගි වූහ. ඒ හැරුණු විට අතුරලියේ රතන හිමි, රවුµa හකීම්, ආර්. සම්බන්ධන්, ජෝන් සෙනෙවිරත්න, විමල් වීරවංශ, ඩග්ලස්‌ දේවානන්ද යන මැති ඇමැතිවරු සහභාගිව සිටියහ.

මෙහි අරමුණ වූයේ නව ආණ්‌ඩුවේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙන අප්‍රේල් 20 වැනිදා පාර්ලිමේන්තුවේ සංයුතිය හා න්‍යාය පත්‍රය සාදා ගැනීමය.

මුලින්ම කතා බහ කළේ පසුගිය පාර්ලිමේන්තුවේදී වැඩ අවසන් කරන්නට බැරිව තිබූ පනතක්‌ ගැනය. එය කාලාවරෝධ පනත ලෙස නම් කර තිබූ අතර ඉන් කෙරුණේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් අයිතිය නිරවුල් කිරීමය. ඉඩම් අහිමි වූ දෙමළ ජනතාවට යළි තම ඉඩම්වල අයිතිය ලබාදීම මෙම පනතේ අරමුණ විය. එය 20 වැනිදා සැලකිල්ලට ගන්නට හකීම් යෝජනා කළේය.

මෙම පනත පසුගිය පාර්ලිමේන්තුවේදී කල් තැබුවේ ඊට අදාළව බොහෝ අය විරුද්ධත්වය ප්‍රකාශ කළ නිසයි. චම්පික ඇමැතිතුමාලා, දේවානන්ද ඇමැතිතුමාලා එදා ඊට විරුද්ධ වුණා. විමල් පෙන්වා දුන්නේය. ප්‍රශ්න තිබුණත් එම පනත සම්මත කර ගන්නට එක්‌සත් ජාතික පක්‍ෂය එකඟත්වය පළ කළේය. මම මේ පාර්ලිමේන්තු සැසිය 20 වැනිදාට පමණක්‌ සීමා කරනවා. චමල් රාජපක්‍ෂ කථානායක කීවේය.

එහෙම බෑ ඊළඟ දිනයේදී මට කල් තැබීමේ යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට අවශ්‍යයි, පශ්චාත් මැතිවරණ ක්‍රියා පිළිබඳව. තවමත් සන්ධානයට ඡන්ද දීපු පිරිස්‌වලට දැඩි හිංසා පීඩා සිදුවෙනවා. රජයේ කර්මාන්තශාලාවේ වෘත්තීය සමිති නායකයන්ට පහරදීලා තියෙනවා. සේවකයන්ට වැඩට යන්න දෙන්නේ නැහැ. සමහර තැන්වල මේවා ගැන විවාදයක්‌ අවශ්‍ය වෙනවා. විමල් වීරවංශ තර්ක කළේය. සමහරුන්ගේ වැඩ තහනම් කරලාත් තියෙනවා.

එනමුත් කිරිඇල්ල ප්‍රමුඛ එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයෝ ඊට තදින් විරුද්ධත්වය ප්‍රකාශ කළහ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයන් පිරිසක්‌ ලිතව ඉල්ලලා තිබෙනවා තමන්ට පාර්ලිමේන්තුව තුළ ස්‌වාධීනව කටයුතු කරන්න අවශ්‍යයි කියලා. මේ ගැන ඔබතුමන්ලා මොනවද හිතන්නේ… කථානායක කීවේය.

අපිට ඒ ගැන ප්‍රශ්නයක්‌ නෑ. කිරිඇල්ල කීවේය.

මෙයාලා බුලත් කොලෙන් නේ ඡන්දය ඉල්ලලා තියෙන්නේ. මේක වුණොත් ඉදිරියේදී තාක්‍ෂණික ගැටලු මතුවෙනව. හකීම් එසේ කියද්දී රතන හිමියෝ ද එය අනුමත කළහ.

වෙනම ඉන්න ඕන
විමල්, දිනේෂ්, වාසු කියති

පාර්ලිමේන්තුවේ මීට පෙර ඒ සඳහා පූර්වාදර්ශයක්‌ තියෙනවා නේ. මතකද 2005 දී ජනතා විමුක්‌ති පෙරමුණ සන්ධාන රජයෙන් ඉවත් වුණා. එවකට වෙනම කණ්‌ඩායමක්‌ ලෙස සිටි කණ්‌ඩායමේ නායකයා විමල් වීරවංශ එයාලට ඒ අවස්‌ථාව දීල තියෙනවා විමල් විශේෂ ප්‍රකාශයක්‌ කළේත් එහෙමයි. දිනේෂ් පෙන්වා දෙද්දී ඒ අදහස පිළිගන්නට අන් හැමටම සිදුවිය. පක්‍ෂ නායකයන්ට ස්‌වාධීනව පක්‍ෂ නායකයෝ ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ අවස්‌ථාව ලැබිණි.

මීළඟට කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නිලධාරියාව පෙන්වූයේ පසු දින පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම පිළිබඳව මතුව ඇති ගැටලු ගැන කතාබහ කර ගන්නටය. ඔහු පැමිණ ගැටලුව විග්‍රහ කළේය.

අපට නම් ප්‍රශ්නයක්‌ නෑ. අපි විපක්‍ෂයේ වාඩි වෙන බව ලිතවත් දන්වලයි තියෙන්නේ විමල් කීවේය.

ඔබතුමාලා ගැන නොවෙයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීතුමන්ලා ගැන තමයි ප්‍රශ්නය තියෙන්නේ වේත්‍රධාරියා කීවේය.

මේක ජාතික ආණ්‌ඩුවක්‌ නේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් ඒ ජාතික ආණ්‌ඩුවේ ඉන්නවා… රතන හිමි කීහ.

මේ කියන කතාව ඇත්තක්‌ද…. කතානායක චමල් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්නගෙන් ඇසීය.

කථානායකතුමනි… කොටසක්‌ ආණ්‌ඩුවේ තවත් කොටසක්‌ විපක්‍ෂයේ… ජෝන් එසේ කීවේ සියලු දෙනාම හිනස්‌සවමිනි.

ඒ කියන්නේ කකුලක්‌ ආණ්‌ඩුවේ කකුලක්‌ විපක්‍ෂයේ… කොහොමද මෙයාලා ගැන තීන්දුවක්‌ ගන්නේ… විමල් සිනාවෙමින් කීවේය.

අවුලක්‌ම නැතිව
පාර්ලිමේන්තුවත් රැස්‌වෙලා

20 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තුව සිරිත් පරිදි පැවැත්විණි. පාර්ලිමේන්තුව පැවැත්වෙන්නට ප්‍රථම විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න විපක්‍ෂයේ අසුන් ගන්නා අයගේ හා ආණ්‌ඩු පක්‍ෂයේ අසුන් ගන්නා අයගේ නම් ලැයිස්‌තුවක්‌ දෙන්නට සමත්වීම නිසා වේත්‍රධාරියාට අවසාන මොහොතේ වුව අසුන් පනවන්නට හැකිව තිබිණි.

පසුව සුපුරුදු විහිලු තහළුවලින් යුතුව පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු පැමිණ අසුන් ගත්හ. පාර්ලිමේන්තුවේ නිලධාරීහු ඔවුනට අලුත් අසුන් පනවා ඇති ස්‌ථාන පෙන්වා දෙන්නට උදව් උපකාර කළහ. වැඩි කලබලයක්‌ නොවීය. සිරිත් පරිදි කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සවස 1.00 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරිණි.

නියමිත න්‍යාය පත්‍රයේ පිළිවෙළට අනුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස සිය විශේෂ කතාව කරමින් සිටියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පාර්ලිමේන්තුවට පැමිණියේය. කතාව අතරතුර ජනාධිපතිවරයා පැමිණි බැවින් බොහෝ දෙනකු ඔහු දුටුවේ ද නැත. බොහෝ දෙනෙක්‌ දැක්‌කේ ජනපති අසුන් ගන්නා විටය.

ජනාධිපති මෛත්‍රී රනිල්ගේ හා නිමල් සිරිපාල ද සිල්වාගේ කතා සාවධානව අසා සිටියේය. කතා දෙක ඉවර වූ පසුව ජනාධිපතිවරයා නැගිට පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේ කථානායකවරයාට ආචාර කරමිනි. අරුන්දික ප්‍රනාන්දු ඇතුළු කිහිපදෙනෙක්‌ නැගිට ජනාධිපතිවරයාට ද ආචාර කරනු දක්‌නට ලැබිණි.

මේ අතර පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ අවධානය තමන් වෙත යොමු කරවා ගනිමින් දිනේෂ් ගුණවර්ධන වේගවත් හා හැඟුම්බර කතාවක්‌ කළේය.

මේ කතාවට අනතුරුව කතා කළේ විමල් වීරවංශය. විමල් සිය සුපුරුදු “විපක්‍ෂ වේගවත් කතාව” කලකට පසු අත්හදා බලමින් කරුණු කාරණා සහිත හැඟුම්බර වේගවත් කතාවක්‌ කළේය. ඊට විපක්‍ෂයේ පක්‍ෂවල මන්ත්‍රීවරු මේසවලට තට්‌ටු කරමින් ප්‍රසාදය පළ කළ නිසා විමල් තව තවත් ධෛර්යවත් වී කතා කළේය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ තවත් එක්‌ ජනාධිපතිවරයෙක්‌ විතරක්‌ නොවෙයි. තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් තීන්දු තීරණ අරන් යුද්ධයක්‌ කරපු නායකයෙක්‌. රට බේරලා දිනවපු නායකයෙක්‌. එතුමන්ට අවමන් කරන්න යන්න එපා. එතුමන්ට අවමන් කරලා ඡන්දය ඉල්ලන්න ජනතාව ඉදිරියට යන්න හිතන්න එපා. මතක තියාගන්න මේ දින 100 ඉවර වුණාට පස්‌සේ මේ රටේ තව මහ මැතිවරණයක්‌ පැවැත්වෙන බව අමතක කරන්න එපා.

විමල්ගේ වේගවත් කතාවට නොමඳ ප්‍රසාදයක්‌ ලැබිණි. සමහරු ඔහු හමුවන්නට පැමිණ ප්‍රශංසා කළහ.

“නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායකතුමා තමන්ගේ කතාවේදී හිටපු ජනාධිපතිතුමා ගැන වචනයක්‌වත් කතා කළේ නැහැ. සන්ධානයට ඡන්දය දීපු ලක්‍ෂ 58 ක්‌ ජනතාවට ස්‌තුතිය පළ කළේවත් නෑ. එහෙම තිබියදී ඔබතුමා කරපු කතාව හරි වටිනවා….” මන්ත්‍රීවරු කීහ.

තර්ජන ගර්ජනවලට බයවෙලා ඉන්න බෑ… මේ විදිහට දින 100 ක්‌ ගියොත් රටම ඉවරයි. සාලින්ද දිසානායක කීවේය.

වැඩිම වුණොත් මෙයාලා අපිව හිරේ දාවි. හිරේ ඉන්නෙත් අපි වාගේම මිනිස්‌සු තමයි. ඕවට බයවෙලා ඉඳලා බෑ… කුමාර වෙල්ගම විමල්ගේ පිටට තට්‌ටු කරමින් කීවේය.

මෛත්‍රීව බෙදාගන්න
දෙපිලෙන් ඇදිල්ලක්‌

අලුත් ආණ්‌ඩුව ජාතික ආණ්‌ඩුවක්‌ යෑයි කියන පිරිසක්‌ ද සිටිති. එහි සිටින අනෙකුත් පක්‍ෂවල ඇමැතිවරු ස්‌වල්ප දෙනාත් ජනාධිපතිවරයාත් ගැන සිතමින් සමහර මන්ත්‍රීවරු එසේ විග්‍රහ කරන්නට උත්සාහ කළත් එක්‌සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයා කිසි විටෙකත් මෙය ජාතික ආණ්‌ඩුවක්‌ යෑයි නොකියන්නට වගබලාගෙන සිටියහ. ඔවුන් නිතරම කීවේ මේ උදාවී ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ය කියාය.

එක්‌සත් ජාතික පක්‍ෂය හිමිකරගත් ඇමැති ධුර සංඛ්‍යාවත් රජයේ ආයතනවල නිලතල ප්‍රමාණයත් ආයතන ප්‍රමාණයත් දෙස බලන විට ඒ පිළිබඳ තර්කයක්‌ නැති විය.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරු හා ක්‍රියාකාරිකයෝ මෙන්ම පාක්‍ෂිකයෝ සැනසුම් සුසුමක්‌ හෙලූ එකම කරුණ වූයේ “ජනාධිපතිතුමා අපේ පක්‍ෂයේ නේ” කියමිනි.

මෛත්‍රීපාල ජනාධිපති ජය ලැබීමත් මහින්ද ජනාධිපති පරාජය වීමත් සමඟ ශ්‍රීලනිපයේ බලය මෛත්‍රීපාල ජනපතිට හිමිවිය. එසේ හිමිවූයේ වැල නොකැඩී ආණ්‌ඩුවට එක්‌වන මන්ත්‍රී සන්නිපාතය වළකා මුළු පක්‍ෂයම ගෙඩිය පිටින් මෛත්‍රීපාල ජනපතිට ලබාදීම නිසාය.

ඒ තත්ත්වය තුළ සැනසීමට පත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ මෛත්‍රීපාල ජනපතිට සියලු පැතිවලින් අයිතිවාසිකම් කියන්නට පටන් ගත්හ. ඔහු ටිකින් ටික තම ගොඩට ගෙන ඊළඟට හදන ආණ්‌ඩුව තම පක්‍ෂයෙන් සාදා ගන්නට හැකිදැයි උත්සාහ කළහ.

මේ තත්ත්වය එක්‌සත් ජාතික පක්‍ෂය ද හොඳින් වටහාගෙන සිටියේය. මෛත්‍රීපාලගේ අයිතිය වෙනුවෙන් ඔවුන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මෙන් “හුණුවටයේ සටනකට” නොගිය ද උපක්‍රමිකව මෛත්‍රී නතුකර ගැනීමට අවශ්‍ය සියලු මෙහෙයුම් යෙදීය. මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ නිලධාරි යාන්ත්‍රණය තුළ තීරණාත්මක තනතුරු දීමේදී එජාපයේ මෙහෙයුම ක්‍රියාවට නැගීය. ඒ සඳහා දැනටමත් එජාපයට හිතවත් නිලධාරීන් ගණනාවක්‌ ජනාධිපතිවරයා ළඟ තීරණාත්මක පත්වීම් ලබාදී ස්‌ථානගත කිරීම තුළ මෙම මෙහෙයුම මොනවට පැහැදිලි විය.

මහින්ද සටනට ගන්න
ඇතුලෙන්ම මෙහෙයුම්

මෛත්‍රීගේ අයිතිය තහවුරු කර ගන්න මේ අයුරින් එජාපය හා ශ්‍රී ලනිපය සීතල යුද්ධයක්‌ කරමින් සිටින අතරතුර තවත් පිරිසක්‌ හොර රහසේ කතාබහ කරමින් කරන්නට වෙහෙසුන මෙහෙයුමක්‌ද තිබිණි. ඒ වූ කලී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලන කරළියට ගෙන ඒමේ මෙහෙයුමයි. මෙම මෙහෙයුම තුළ පිටට කැපී පෙනෙන්නට කවුරුවත් එළිපිට නොසිටියත් යම් පිරිසක්‌ ඇතුළාන්තයේ සිටින බව පෙනෙන්නට වූයේ යම් යම් තැන්වල යම් යම් නායකයෝ මතු කළ තර්ක විතර්ක හා කතා නිසාය.

විමල් වීරවංශ මේ සම්බන්ධයෙන් කටයුතු කළේ හිටපු ජනාධිපතිවරයාගේ අගය හා වටිනාකම හැකි හැම වෙලාවකම මතු කරමිනි. සමහර පළාත් මහ ඇමැතිවරුද යම් යම් තැන්වල මේ ආකාරයේ විග්‍රහයන් කළේ යළි වතාවක්‌ ජනාධිපති මහින්ද දේශපාලන කරළියට පැමිණිය යුතු බව ව්‍යංගයෙන් යුතුව ජනතාවට ඒත්තු ගන්වමිනි.

පසුගිය සතියේ මිනුවන්ගොඩ ආසනයේ ආසන බල මණ්‌ඩල රැස්‌වීම පැවැත්වූණේ බස්‌නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රධානත්වයෙනි. මෙහිදී ඔහු වේගවත් කතාවක්‌ කළේය. ඉන් ප්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අගයයි. මහින්ද රාජපක්‍ෂ දිනා දුන් රට හා දිනා දුන් නිදහස ගැන කියමින් ඔහු පෙන්වා දුන්නේ මේ රටේ ජනතාව කවරදාකවත් ඔහු අමතක කර ගමනක්‌ යා යුතු නැති බවය.

පළාත් බල පෙරළිවලට
ජනපති නැහැලු

පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සියලුම පළාත් සභාවල ශ්‍රීලනිප හා සන්ධාන මහ අමැතිවරු, ඇමැතිවරු හා මන්ත්‍රීවරු වෙනුවෙන් වෙනමම හමුවක්‌ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රී ඊට සහභාගි වී සභාව අමතා විශේෂ කතාවක්‌ කළේය. ඔහු කතා කළේ ලංකාවේ මේ දිනවල වෙමින් පවතින පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල බල පෙරළිය ගැනය.

මේ දවස්‌වල පළාත් සභා නගර සභාව ප්‍රාදේශීය සභා ගැන රටේ විවිධ තැන්වල විවිධ කතා තියෙනවා. සමහරු කියනවා සන්ධානයට අයිති පළාත් සභා පෙරළෙනවා කියලා. නගර සභා පෙරළෙනවා කියලා. නමුත් මම මෙතැනදි එකක්‌ කියන්න ඕන. අපිට ජනතාව බලය දීල තියෙන්නේ මාව ජනාධිපති හැටියට පත් කළේ දින 100 ක්‌ ඇතුළත අපි කරනවා කියල පොරොන්දු වුණ කාරණා නිසයි. ඒවා නොකර එක එක ඒවා කරන්න අපට බෑ. ඒකයි මම කියන්නේ අපි හැම කෙනෙක්‌ම මේ දින 100 වැඩසටහන සාර්ථක කර ගන්න ආණ්‌ඩුවට උදව් කරන්න ඕන කියලා. ඒ වගේම මම මේකත් කියනවා. පළාත් සභාවක හෝ වෙනයම් ආයතනයක බලය පෙරළන්න හෝ වෙනස්‌ කරන්න හෝ මොනම කාරණයකටවත් මට කිසිම විටක පුද්ගලිකව මැදිහත්වීමක්‌ කරන්නේ නෑ.

ජනාධිපති මෙසේ කීමෙන් කරණා දෙකක්‌ පැහැදිලි විය. එකක්‌ තමන් ඊට කැමැති නැති බවත් බළපෙරලිවලට උදවු නොකරන බවත් අනෙක එවන් උත්සාහයක්‌ වේ නම් ඊට මැදිහත් වී රකින්න හෝ වළක්‌වන්නද තමන් උත්සාහ නොකරන බවයි. පළාත් සභා මැති ඇමැතිවරු එදා ඒ රැස්‌වීම නිමවී ආපසු ආවේ මේ උභතෝකෝටිකය ගැන කතා බහ කරමිනි.

වමේ පක්‍ෂවලත්
එකමතයක්‌ නෑලු

පැරණි වාමාංශික කණ්‌ඩායම් ගණනාවක්‌ම මුලදී එක මතයක සිටි බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. වාසුලා, ඩිවුලා, තිස්‌සලා, විමල්ලා, දිනේෂ්ලා මුලින් සිටියේ තනි මතකය. ශ්‍රීලනිපයත් සමග එක්‌ව මෛත්‍රීපාලට සහාය දෙන්නට ඔවුන් නොයන බව කිව් මේ නායකයෝ ස්‌වාධීනව සිටින්නට එකඟතාවක සිටි බව අපට මතකය.

සමසමාජ පක්‍ෂයේ ලාල් විඡේනායකලා, ජයම්පති වික්‍රමරත්නලා ඇතුළු පිරිසක්‌ ගොස්‌ මෛත්‍රීපිලට වැඩ කිරීම ගැන උරණ වූ තිස්‌ස විතාරණලා මුලින්ම කළේ ඒ කණ්‌ඩායම වෙනුවෙන් විනය ක්‍රියාමාර්ග ද ගැනීමය. ඔවුන් පක්‍ෂයෙන් නෙරපා දැමූහ. ඒ මීට ටික දිනකට ඉහතදීය.

එහෙත් පසුගිය සතියේ මේ කවුරුත් සිටියදී තිස්‌ස විතාරණ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවන්නට ගියේය. ඔහු මෛත්‍රී පාලනයට හා දින 100 ට සහාය පළ කරන බව කීවේය. මෛත්‍රීට වැඩ කළ පිරිසකගේ පක්‍ෂ සාමාජිකත්වය පවා තහනම් කළ මේ නායකයෝ පසුකාලීනව මෙසේ ගොස්‌ සහාය පළකර එකඟතාවකට පැමිණීම තුළ රටට පිළිබිඹු වූයේ කාගේවත් වරදක්‌ හෝ අන්කවරක්‌වත් නොව වර්තමාන දේශපාලන ක්‍රියාදාමයේ මෑත කාලීන ස්‌වභාවයයි. ඒ අද තිබෙන ස්‌වභාවය හෙට දිනයේ නියතයක්‌ම නොවන බව පෙන්වන යථාර්ථයයි.

බුලිත ප්‍රදීප් කුමාර