සම්බන්ධන්ට හා සුමන්තිරන්ට ටී.එන්.ඒ. විනය පරීක්‍ෂණයක්‌

Spread the News

සම්බන්ධන්ට හා සුමන්තිරන්ට ටී.එන්.ඒ. විනය පරීක්‍ෂණයක්‌

කීර්ති වර්ණකුලසූරිය – චතුර පමුණුව

ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් හා මන්ත්‍රී ආර්. සුමන්තිරන් යන මහත්වරුන් ජාතික නිදහස්‌ දින උළෙලට සහභාගි වීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානය තුළ අර්බුදයක්‌ මතුවී ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවට එම සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ යෝජනා කර ඇත. එම විනය පරීක්‍ෂණය කඩිනම් කළයුතු බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාද ප්‍රකාශ කර තිබේ.

දෙමළ සන්ධානයේ එකඟතාවයකින් තොරව නිදහස්‌ උළෙලට යැමෙන් සම්බන්ධන් හා සුමන්තිරන් යන මහත්වරුන් පක්‍ෂයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කර ඇතැයි ප්‍රේමචන්ද්‍රන් මහතා පවසා ඇත.

මේ අතර උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ ද්‍රවිඩ ජනතාව නිදහස්‌ වනතුරු තමා නිදහස්‌ දිsන උත්සව වර්ජනය කරන බවයි.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේදී පැවැති 67 වැනි නිදහස්‌ උත්සවයට සහභාගි වී දෙමළ ජනතාව පාවා දුන්නා යෑයි චෝදනා කරමින් ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදීන් දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ගේ ඡායාරූප ගිනිතබා ඇත.

දෙමළ සන්ධාන නායකයන් මෙලෙස නිදහස්‌ උළෙලකට සහභාගි වූයේ වසර 43 කට පසුවය. දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ 1972 දී කිසිම නිදහස්‌ උළෙලකට සම්බන්ධ නොවීමට තීරණය කළේය.

මෙලෙස ඡායාරූප ගිනිතැබීමක්‌ සිදුවූයේ පෙරේදා ලන්ඩනයේදී පැවැති විරෝධතාවයකදීය.

මෙම උද්ඝෝෂණය ලංකාවේ නිදහස්‌ දිනයට විරෝධය පෑම පිණිස සංවිධානය කර තිබිණි.