Spread the News

ශ්‍රේෂ්ඨාධිකරණය ස්‌වාධීන නැතැයි අගමැති කියන්නේ කෙසේද?

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්‌ අසයි

චමින්ද සිල්වා

මෙරට අධිකරණය ස්‌වාධීනව කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය ස්‌වාධීන නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්‌ කථිකාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා විමසා සිටී.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට එරෙහිව අගමැතිවරයා විසින් පොදුරාජ්‍ය මණ්‌ඩලීය අධිකරණය වෙත යන බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් “දිවයින” ට අදහස්‌ දක්‌වමින් මහානාමහේවා මහතා එසේ ප්‍රකාශ කළේය. මහානාමහේවා මහතා මෙසේ ද පැවසීය.

මේ රටේ අධිකරණ ස්‌වාධීනව කටයුතු කරන බවට පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එම කළ ප්‍රකාශයට එරෙහිව අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින් ද යන්න අපිට පැහැදිලි නැහැ. අනික මෙරට අධිකරණයකට එරෙහිව තීන්දුවක්‌ දෙන්න කිසිම අධිකරණයකට බැහැ. කෙනකුට අවශ්‍ය නම් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යැමේ හැකියාව තිබෙනවා.
Image result for ranil wickramasinghe
ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් තීන්දු ලබාදුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත්කළේ අගවිනිසුරු විසිනුයි. එහිදී එක්‌ විනිසුරුවරයකු අස්‌වී ඒ බව අගවිනිසුරුවරයා වෙත දැනුම් දී තිබෙනවා. එහිදී අගවිනිසුරුවරයා විසින් ඉතිරි විනිසුරුවරුන් දෙදෙනාට තීන්දු කිරීමේ බලය ලබා දී තිබෙනවා. එම දෙදෙනා දුන් තීන්දුවට එරෙහිව අවශ්‍ය නම් පස්‌දෙනකුගෙන් හෝ හත්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක්‌ පත්කර තීන්දුවක්‌ ලබාදෙන ලෙස අභියාචනයක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්.
 

19 වන ව්‍යවස්‌ථා සංශෝධනය තුළින් අගමැතිවරයාට ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ලබාදුන්නා නම් කුමකින් කුමක්‌ වෙයිදැයි ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.