Spread the News

අපි වෙනුවෙන් හැදෙන
අලුත් ජාතික හැඳුණුම්පතේ කතාව

ඕනෑම රටක ජීවත්වන පුරවැසියකුගේ අනන්‍යතාවය සමාජය විසින් තීරණාත්මකව පිළිගනු ලබන්නේ එම රටෙන් පුරවැසියාට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට අනුවය. මීට අමරතව පාසල් සිසුන්ට පාසල් හැඳුනුම්පත, විශ්වවිද්‍යාල සිසුන්ට විශ්වවිද්‍යාල හැඳුනුම්පත, රෝහල් සේවකයන්ට රෝහල් හැඳුනුම්පත, ආදී වශයෙන් තමන් නිරත වන වෘත්තීය හෝ ක්‍ෂේත්‍රයට අදාළවද විවිධ හැඳුනුම්පත් පුද්ගලයන්ට හිමි වේ. නමුත් මේ සියලු හැඳුනුම්පත්වලට වඩා වැදගත් තැන හිමිවන්නේ රටකින් පුද්ගලයකුට ලබාදෙන ජාතික හැඳුනුම්පතටය. මන්දයත් රටක පුරවැසි අනන්‍යතාවේ ප්‍රධාන සලකුණ ජාතික හැඳුනුම්පත වන නිසාය. මේ සටහන ලියන්නේ අපේ රටේ ජාතික හැ`දුනුම්පතෙහි වන්නට යන අලුත්ම පෙරළියක්‌ ගැන කියන්නටය.

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවයෙහි අනන්‍යතා සහතිකය, මේ වසරේදී නවමු ආකාරයකින් පුරවැසියන් අතට පත් කර ගන්නට කටයුතු සම්පාදනය වෙමින් පවතී. මේ කටයුත්ත සැලසුම් කරනු ලබන්නේ ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසිනි.

1968 හි අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධානානුකූලව, උචිත වන නියමිත කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින පුද්ගලයන් ලියාපදිංචි කර, එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා හඳුනාගැනීමේ පත්‍රයක්‌ නිකුත් කිරීමේ කාර්යභාරය ඉටුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවය.

හැ`දුනුම්පත් අංකය හැදෙන හැටි

මෙසේ ලියාපදිංචි කරන ලද සෑම පුද්ගලයකුටම හැඳුනුම්පතක්‌ නිකුත් කිරීමේදී නිශ්චිත වූ හැඳුනුම්පත් අංකයක්‌ ගණිතමය සූත්‍රයකට අනුකූලව සකසා එම පුද්ගලයාට නිකුත් කරනු ලැබේ. 1972 වසරේ සිට මේ වන විට නිකුත් කර ඇති එම හැඳුනුම්පත් අංකය ඉලක්‌කම් නවයකින් හා ඉංග්‍රීසි,ඪ, අක්‍ෂරය සහිතව නිකුත් කර තිබේ. සමහර පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කරන ලද මුල් කාලයේදී ඉලක්‌කම් නවයකින් හා ඉංග්‍රීසි ‘v’ අක්‍ෂරය සහිතව නිකුත් කර ඇත. නමුත් ගණිතමය සූත්‍රයට අනුව හැඳුනුම්පත් අංකය සකස්‌ කිරීමේදී ‘v’ හෝ ‘x’ අක්‍ෂරවල බලපෑමක්‌ නොමැත. හැඳුනුම්පත් අංකය සකස්‌ වී ඇත්තේ ලියාපදිංචි කරනු ලබන පුද්ගලයාගේ උපන් දිනයට අනුකූලව ගැහැණු හා පිරිමි අංක ලෙසය.

වැදගත්ම අනන්‍යතා සහතිකය නැතිනම් ජාතික හැඳුනුම්පත් අංකය සැකසී ඇති ආකාරය පිළිබඳව අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය. මේ වන විට අප සතුව ඇති ජාතික හැඳුනුම්පතේ ඉලක්‌කම් නවය සැකසී ඇත්තේ යම්කිසි විධිමත් රටාවකට අනුවය.

එහිදී පුද්ගලයා උපන් වර්ෂයේ අවසාන ඉලක්‌කම් දෙක වර්තමාන ජාතික හැඳුනුම්පතේ මුල් ඉලක්‌කම් දෙක වේ. වර්තමාන අප සතු ජාතික හැඳුනුම්පතේ තුන, හතර සහ පහ යන ස්‌ථානවල පිහිටි අංක ස්‌ථාන ගත කිරීමේදී ස්‌ත්‍රී හා පුරුෂ අංක සැකසීමේ ක්‍රමවේදයක්‌ පවතී.

ස්‌ත්‍රියකගේ ජාතික හැඳුනුම්පතේ තුන, හතර සහ පහ යන ස්‌ථානවල ඇති අංක ස්‌ථාන ගත කර ඇත්තේ, උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළමුවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති දින ගණනට 500 ක අගයක්‌ එකතු කර ලබා ගන්නා ලද අංක තුනෙනි.

පුද්ගලයා උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළමුවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති දින ගණනට අදාළ ඉලක්‌කම් තුනෙන් පුරුෂයෙකුගේ වර්තමාන හැඳුනුම්පතේ තුන, හතර, පහ යන ස්‌ථානවල පිහිටි අංක සැකසේ.

ස්‌ත්‍රියකුගේ මෙන්ම පුරුෂයෙකුගේ වර්තමාන ජාතික හැඳුනුම්පතේ ඇති හය, හත, අට යන ස්‌ථාන වල පිහිටි අංක තීරණය කර ඇත්තේ එක්‌ දිනකදී ශ්‍රී ලංකාවේ උපන් සංඛ්‍යාව 1000 කට අඩු 999 ක්‌ දක්‌වා යෑයි උපකල්පනය කිරීමෙනි. විශේෂයෙන් හය, හත, අට යන ස්‌ථානවල පිහිටි අංක තුන තීරණය කර ඇත්තේ, පුද්ගලයා ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කරන දෙපාර්තමේන්තුවට ලැබී එය අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක තුන අනුවය.

ස්‌ත්‍රී සහ පුරුෂයකුගේ වර්තමාන ජාතික හැඳුනුම්පතේ නවවෙනි ස්‌ථානයේ ඇති ඉලක්‌කම ස්‌ථාන ගත කර ඇත්තේ, එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට යන ස්‌ථානවල පිහිටි ඉලක්‌කම් අටට අදාළවය. එනම්, එම ඉලක්‌කම් අටට අදාළ ගණිතමය සූත්‍රයකට සැකසූ පසු පුද්ගලයාට නිශ්චිත අංකය ලෙස තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්‍ෂණ අංකය වර්තමාන ජාතික හැඳුනුම්පතේ නවවෙනි ඉලක්‌කමෙන් නියෝජනය වේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ අප සතු වර්තමාන ජාතික හැඳුනුම්පතේ දක්‌නට ලැබෙන අඩුපාඩු මගහරවා ගැනීම සඳහා මෙම වසරේ හඳුන්වා දීමට නියමිත නව ජාතික හැඳුනුම්පත සැකසෙන ආකාරය පිළිබඳවද දැනුවත් වීම වටින්නේය. නවමු හැඳුනුම්පත නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ වර්තමාන හැඳුනුම්පතේ පවතින යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසාය. අපේක්‌ෂාව එම ගැටලු අවම කරගැනීමය. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දුන් ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගත හැක්‌කේ මේ අයුරිනි.

පරණ හැඳුනුම්පතේ ගැටලු

මෙහිදී හඳුනාගත් මූලික ගැටලුව වන්නේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භයේ සිට මේ දක්‌වා නිකුත් කර ඇති හැඳුනුම්පත් සංඛ්‍යාවට අනුව සමහර වර්ෂ හා දිනයන් සඳහා ලබාදිය හැකි උපරිම හැඳුනුම්පත් අංක සංඛ්‍යාව මේ වන විට අවසන් වීමට ආසන්න වෙමින් පැවතීමය. මීට අමතරව හඳුනාගත් අනෙක්‌ ගැටලුව වන්නේ, වසර සියයකට පෙර උපන් පුද්ගලයන්ගේ උපන් දිනයට අදාළව නියමිත වයසේදී නිකුත් කරනු ලබන හැඳුනුම්පත් අංකයත් වසර සියයකට පසු එම උපන් දිනයට උපන් පුද්ගලයන්ගේ නියමිත වයසේදී නිකුත් කරනු ලබන හැඳුනුම්පත් අංකයත් එකම අංකයක්‌ වීමය. එනිසා පුද්ගලයන් දෙදෙනෙකුට එකම හැඳුනුම්පත් අංක නිකුත් කිරීමට සිදුවීමය.

මෙලෙස වර්තමාන හැඳුනුම්පත් අංකය භාවිතයේදී උද්ගත වන ගැටලුවලට ඉතා කඩිනමින් පිළියම් සෙවීම සඳහා මේ වන විට නව හැඳුනුම්පත් අංකයක්‌ නිකුත් කිරීමේ සාධකය අනිවාර්යය වූවක්‌ව තිබේ. ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නව හැඳුනුම්පතක අත්දැකීම් ලංකාවේ පුරවැසියන්ට සමීප කිරීමට බලාපොරොත්තුවෙන් සිටි.

අලුත් හැඳුනුම්පතේ වෙනස

නව හැඳුනුම්පත් අංකය අංක දොළහකින් (12) සමන්විත වේ. දැනට නිකුත් කරන ලද අප සතු වර්තමාන හැඳුනුම්පත් අංකයේ තිබූ v හෝ x ඉංග්‍රීසි අක්‍ෂර එහි සඳහන් නොවේ. එසේම නව හැඳුනුම්පත් අංකය ද ගැහැණු අංක හා පිරිමි අංක ලෙස වර්තමාන අප සතු හැඳුනුම්පත් අංක නිකුත් කර ඇති ආකාරයටම සකස්‌ වී ඇති අතර එහි කිසිදු වෙනසක්‌ සිදුව නොමැත.

නව හැඳුනුම්පතේ ඇති එක. දෙක, තුන, හතර යන ස්‌ථාන වල පිහිටි ඉලක්‌කම් හතර සැකසී ඇත්තේ, පුද්ගලයා උපත ලද සම්පූර්ණ වර්ෂයට අදාළ ඉලක්‌කම් හතර අනුවය.

පුද්ගලයා උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති ගණනට 500 ක අගයක්‌ එකතු කර ලබා ගන්නා ලද ඉලක්‌කම් තුනෙන් ස්‌ත්‍රියකගේ නව හැඳුනුම්පතේ පහ, හය, හත යන ස්‌ථානවල පිහිටි ඉලක්‌කම් සැකසේ.

පුරුෂයකුගේ නව හැඳුනුම්පතේ පහ, හය, හත යන ස්‌ථාන වල පිහිටි ඉලක්‌කම් තුන සැකසෙන්නේ පුද්ගලයා උපන් මාසය හා දිනය අනුව එම වර්ෂයේ ජනවාරි මස පළමුවැනි දින සිට උපත ලද දින දක්‌වා ඇති දින ගණනට අදාළ ඉලක්‌කම් තුනෙනි.

ස්‌ත්‍රී සහ පුරුෂ නව හැඳුනුම්පතේ අට, නවය, දහය, එකොළහ යන ස්‌ථාන වල ස්‌ථානගත කර ඇති ඉලක්‌කම් තීරණය කර ඇත්තේ එක්‌ දිනකදී ශ්‍රී ලංකාවේ උපත් සංඛ්‍යාව 10000 කට අඩු 9999ක්‌ දක්‌වා යෑයි උපකල්පනය කිරීමෙනි. පුද්ගලයා ලියාපදිංචියට ඉදිරිපත් කළ ඉල්ලුම්පත්‍රය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුවට ලැබී එය ලියාපදිංචි කරන ලද අනුපිළිවෙලට අනුව ලබාදී ඇති අංක හතර, නව හැඳුනුම්පතේ අට, නවය, දහය, එකොළහ යන ස්‌ථාන වල ස්‌ථාන ගත කරනු ලැබේ.

ස්‌ත්‍රී සහ පුරුෂ නව හැඳුනුම්පතක දොළොස්‌වන ස්‌ථානයේ ස්‌ථානගත කරන අංකය මගින් නියෝජනය වන්නේ නව හැඳුනුම්පතේ එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය, දහය, එකොළහ යන ස්‌ථානවල ඇති අංක එකොළහ ගණිතමය සූත්‍රයකට සැකසූ පසු පුද්ගලයාට නිශ්චිත අංකය ලෙස තහවුරු කිරීම සඳහා ලැබී ඇති පරීක්‍ෂණ අංකයයි.

මේ වන විට අප සතු වර්තමාන ජාතික හැඳුනුම්පත් අංක සහ හඳුන්වා දීමට නියමිත නව හැඳුනුම්පත් අංක අතර ඇති වෙනස ඉතා අල්ප බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියයි.

එමෙන්ම හැඳුනුම්පත් අංක සඳහා නව සූත්‍රයක්‌ උපයෝගී කොට නව හැඳුනුම්පත් අංකයක්‌ පෙර නිකුත් කරන ලද හැඳුනුම්පත් අංකයන්ගේ ගණිතමය සූත්‍රයට ගැලපෙන ආකාරයට සකස්‌ කිරීමේ වගකීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් බාරගෙන තිබේ.

පුරවැසි භාවයට අලුත් අනන්‍යතා සහතිකයක්‌ නිර්මාණය වන්නේ හැඳුනුම්පත්වල අංක නව ක්‍රමවේදයට අනුව පරිවර්තනය කිරීමෙනි. හැඳුනුම්පත නැතිවීම, හැඳුනුම්පත පලුදු වීම, නැතිනම් හැඳුනුම්පත වීරූප හෝ නොපැහැදිලි වීමෙන් භාවිත කිරීමට නොහැකි වීම ආදී අවස්‌ථාවන්වලදී හැඳුනුම්පතේ දෙවන පිටපතක්‌ ලබාගැනීමට ඉල්ලුම් කරන විට, පමණක්‌ අලුත් ක්‍රමවේදයට අනුව සැකසූ හැඳුනුම්පතක්‌ අප සතු කර ගැනීමට අවස්‌ථාව ලැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියයි. අලුත් අවුරුද්දේ තමන් අතගසන අලුත් ජාතික ව්‍යාපෘතියට යහපත් සමාජ ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්‌ෂා කරයි.

දුලීකා සමන්මලී