Spread the News

ආරියතිලක
2026.03.08

ඉරානයට ඇමරිකාව විසින් යුද්ධ ප්‍රකාශ කොට අදට දින නවයකි. ඇමරිකා ඊශ්‍රායල් ඒකාබද්ධ යුද මෙහෙයුමක් ලෙස එය දියත් වී ඇත.

රටක් තවත් රටකට යුද්ධ ප්‍රකාශ කළ පසු යුද්ධ ප්‍රකාශයට භාජනය වන රටේ සියලු ආරක්ෂක හමුදා සහ යුදමය වශයෙන් භාවිතා වන සියලු යුද උපකරණ හා යුද භාවිතයන් සතුරු රාජ්‍යයේ ඉලක්ක බවට පත් වීම සිදු වේ. යුද්ධායුධ සම්බන්ධ සියලු දෑ පිළිබඳව කිසිදු ලිහිල් බවක්, සතුරු රාජ්‍ය එකිනෙකාට නො දැක්වීම යුද ප්‍රතිපත්ති වේ. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හෝ රාජ්‍යක්, ‍යුද්ධයට මැදි වී සිටින රාජ්‍යක යුද්ධෝපකරණ සම්බන්ධ කුමන හෝ දෙයක් ආරක්ෂා කිරීමට, රැකවරණය සැළසීමට ඉදිරිපත් වීම ද, යුද්ධයට මැදි වී සිටින අනෙක් රාජ්‍යයේ උදහසට ලක්වීම නො වැළැක්විය හැකිය. කවරෙකුගේ හෝ දිවි බේරීමට කොන්දේසි විරහිතව ක්‍රියා කිරීමට අයිතිය ඇත. එයට කාගෙන්වත් අවසර අවශ්‍ය නැත. එය ද කළ යුත්තේ, යුද්ධය පවතින්නේ බලවත් රාජ්‍ය දෙකක් අතරනම්, එම රාජ්‍යයන් දෙක ම තම රටේ රාජ්‍යතාන්ත්‍රික මිතුරන් නම්, එම රජ්‍යයන් දෙකෙහිම හොඳ හිත පළුදු වීමට හේතු නො වන පරිඳි, ක්‍රියා කළ යුතු ය. එයට රජයක් වශයෙන් රාජ්‍යතාන්ත්‍රික හා උපායමාගික දැනුම උපදේශකයන් මගින් ලබා ගත යුතු ය. තම තනි මතයට ක්‍රියා කොට රාජ්‍ය දෙකින් කවර රාජ්‍යක් කෙරෙහි හෝ විරසක කර ගැනීම බලවත් ලෙස තම රට, අගාධයට හෙලා ගැනීම ස්ථීර ය.

පසුගිය මාර්තු 4 වෙනි දින දකුණු මුහුදේ සිට නාවික සැතපුම් 19 ක දුරින් සිදු වූ ඉරාන යුද නෞකාවකට ඇමරිකානු ප්‍රහාරයක් සිදු විය. එම ප්‍රහාරයෙන් පසු තවත් ඉරාන යුද නෞකාවක් ලක් රජයෙන් උපකාර ඉල්ලූ බව මාර්තු 5 වෙනි දින සවස, විශේෂ මාධ්‍ය හමුවක් තබා ජනාධිපතිවරයා විසින් කියන ලදී. එම නෞකාවේ නාවිකයන් කොළඹ වරායට ගෙන්වා ගෙන, නැව ත්‍රිකුණාමල වරායටත් රැගෙන යන බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සඳහන් කළේ ය. කියන ලද ආකාරයෙන් ම එය සිදු කළ බව මාධ්‍ය වාර්තා මගින් කියවිණි.

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි ගලවා ගත් ලක් රජය භාරයේ සිටින පිරිස සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන අනෙක් ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නො දෙන්නැයි ඇමරිකාව, ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි. මෙය ලක් රජය සෑම අතින් ම අපහසුතාවයට අනාගතයේ පත් වීමට මඟක් වන බව පැහැදිලි ය.

දැනට සොයා ගෙන ඇති ඉරාන නෞකාව රැගෙන ඒම සහ එහි නාවිකයන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සමුද්‍ර නීති සහ අනෙකුත් ජාත්‍යන්තර නීති සහ ප්‍රඥප්ති අධ්‍යයනය කරගෙන යන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙයට සමාන සිදු වීමක් ඉන්දියාවේ සිදු විය. තවත් ඉරාන යුධ නෞකාවක් ඉන්දියාවේ රැකවරණය ඉල්ලා සිටි අවස්ථාවේ එම යුද නැව හා නාවිකයන් ඉන්දීය රජය භාරයට ගෙන රැකවණය දීම ය. මේ දෙක බැලූ බැල්ලමට සමාන වුවත් බොහෝ අසමාන කම් ද ඇත්තේ ය.

මාර්තු 5 වන දින සවස පැවැත් වූ ජනාධිපතිවරයාගේ හදිසි මාධ්‍ය හමුවෙහී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට, ජනාධිපතිවරයා දුන් පිළිතුරු අතරින් විශේෂයෙන් සැළකිල්ලට ගත යුතු පිළිතුරු කීපයක් ද අත. එනම්:-.

“ප්‍රශ්නය:-
වත්මන් රජය මීට මැදිහත්වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේද?

පිළිතුර:-
අප මේ කටයුතු කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුවයි. යම් සිදුවීමක් වූ විට ඒ සිදුවීමෙන් ලාභ පටු ප්‍රයෝජන ගන්න උත්සාහ කළ යුතු නැහැ.

ප්‍රශ්නය:-
අපේ මේ ප්‍රවිශ්නය ඇමරිකාවේ කනස්සලට ලක්වේද?

පිළිතුර:-
මේ කිසිම පාර්ශවයකට යුධමය වශයෙන් සහය දීමක් නොවේ.අපේ මුහුදු සීමාව ඇතුළේ ජීවිත විශාල ප්‍රමාණයක් ආපදාවට ලක්වී තිබෙනවා. රාජ්‍යයක් ලෙස අපේ වගකීම ඒ ජනතාව සුරක්ෂිත කිරීමයි.කවර හෝ පාර්ශවයක් අනතුරකට ලක් වුණොත් අප අනුගමනය කරන ක්‍රියා පිළිවෙත මෙයයි.කවර හෝ කෙනෙක් අපව ප්‍රශ්න කරනවා නම් එය කළ යුත්තේ අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තීන්ට අනුව කටයුතු නොකරනවා නම් පමණයි.

ප්‍රශ්නය :-
මේ සම්බන්ධයෙන්ඇමරිකා තානාපති කාර්යාලය දැනුවත් කළාද?

පිළිතුර:-
මේක අපේ ස්වාධීන තීරණයක්.විදේශ අමාත්‍යංශය විවිධ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කරනවා. නමුත් යම් යම් රාජ්‍යවල බැඳීමකට යටත්ව අප තීරණ ගන්නේ නැහැ.”

මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කරන කරුණු අතරින්

“අප කටයුතු කරන්නේ ජ්‍යාතන්තර සම්මුතීන් අනුවයි.”

“කවර හෝ කෙනෙක් අපව ප්‍රශ්න කරනවා නම් එය කළ යුත්තේ අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තීන්ට අනුව කටයුතු නොකරනවා නම් පමණයි.”

යන ජනාධ්පතිවරයාගේ ප්‍රකාශ අනුව අන්තර් ජාතික සම්මුතීන් ලෙස එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම්.පිළිබඳ විශ්ව ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS), ඉන් ප්‍රධාන ය. කුමන මට්ටමේ අන්තර් ජාතික සම්මුතීන් තිබුණ ද ඒ සියලු අන්තර් ජාතීක සම්මුතීන් බලාත්මක වන්නේ යුද හා ආර්ථික
බලය මත බව කිව යුතු ය. අන්තර් ජාතික සම්මුති පිළිගත් රාජ්‍යයන්හි යුදමය හැකියාව අවසාන තීන්දුව තීරණය කරනු ඇත.

දැන ලෝකයේ යුද කඳවුරු තුනක් (3) තිබේ.

  1. ධනවාදී ආර්ථික න්‍යාය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ යුද කඳවුර,
  2. කොමියුනිස්ට්වාදී පාලනය ප්‍රධාන දේශපාන න්‍යාය වශයෙන් පිළිගත් රාජ්‍යයන්ගේ යුද කඳවුර,
  3. ආගමික න්‍යායන් මූලිකකර ගත් රාජ්‍යයන්ගේ යුද කඳවුර
    යන ලෙසිනි.
  4. ධනවාදී ආර්ථික න්‍යාය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ යුද කඳවුර.

මෙම යුද කඳවුර ලෙස අප හදුන්වන්නේ, නේටෝ සංවිධානයට [North Atlantic Treaty Organization=(NATO)] අයිති රටවල් හා නේටෝ සංවිධානය අයිති රටවල් අතරින් එකක් හෝ කීපයක් සමඟ හෝ ගිවිසුම් මගින් යුදමය හෝ ආර්ථික අරමුණු උදෙසා එකඟ වූ රටවල් වේ. නේටෝ සංවිධානයට ඇමරිකා එක්සත් ජන්පදය ඇතුලු රටවල් 31 ක් අද වන විට අයිති ය. උතුරු ඇමරිකානු රටවල් දෙකක් හා යුරෝපා රටවල් 29 ක් ලෙසිනි.

ඒ, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, සහ බෙල්ජියම, ඩෙන්මාක්, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, එක්සත් රාජධානිය, ග්‍රීසිය, තුර්කිය, ජර්මනිය, ස්පාඤ්ඤය, චෙක්‌ ජනරජය, හංගේරියාව, පෝලන්තය, බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ඇල්බේනියාව, ක්‍රොඒෂියාව, මොන්ටිනිග්රෝ, උතුරු මැසිඩෝනියාව, ෆින්ලන්තය යන ලෙසිනි.

නේටෝ සංවිධානය බිහි වන්නේ සෝවියට සංගමයේ යුදමය ශක්තියට විරුද්ධව ය.

මේ නේටෝ රටවල පරම හිත්වත් රටවල් ලෙස ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව, ජපානය, සඳහන් කළ හැක.

එසේ ම යුරෝපා සංගමයේ රටවල් ද නේටෝ සංවිධානයට එකඟතාවයෙන් ක්‍රියා කරනු ඇත. යුරෝපා සංගමයේ රටවල් 27 කි. එම රටවල් අතරින් නේටෝ සාමාජික රටවල් 20 ක් යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරයි.

මහා බ්‍රිතාන්‍ය 1920 දී යුරෝපා සංගමයෙන් ඉවත් විය. මෙයට අමතරව නේටෝ සංවිධානය අයිති රටවල් අතරින් එකක් හෝ කීපයක් සමඟ හෝ ගිවිසුම් මගින් යුදමය හෝ ආර්ථික අරමුණු උදෙසා එකඟ වූ රටවල් අතර ඊශ්‍රායල ඇතුලු මැද පෙරදිග සීමිත රාජ්‍යන් ප්‍රමාණයක් ද ඉන්දියාව, පිලිපීනය, සිංගප්පූරුව, මියන්මාරය, තායිලන්තය, පාකිස්ථානය යන රාජ්‍ය ද මෙම යුද කඳවුර ඇතුලට වැටෙනවා ඇත.

[යුරෝපා සංගමයේ සාමාජික රටවල් ලෙස,
ඔස්ට්‍රියාව, බෙල්ජියම්, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, , චෙක් ජනරජය, ඩෙන්මාර්ක්, ඇස්ටෝනියාව, ෆින්ලන්ඩ්, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, සයිප්‍රස්, අයර්ලන්තය, ලක්සම්බර්ග්, මෝල්ටාව, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, නෙදර්ලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, රෝමය, ස්පාඤ්ඤය, ස්වීඩනය, යන රටවල් අයත් වේ.

2.කොමියුනිස්ට්වාදී පාලනය ප්‍රධාන දේශපාන න්‍යාය වශයෙන් පිළිගත් රාජ්‍යයන්ගේ යුද කඳවුර,

මෙම යුද කඳවුරට රුසියාව, මහජන චීන සමූහාණ්ඩුව, උතුරු කොරියාව යන රටවල් ත්‍රිත්වය ප්‍රධාන වශයෙන් ගැනේ. මෙයට අමතරව කිව්බාව, බලවත් යුද ශක්තියක් නැති වුව ද වියට්නාමය, ලාඕසය, ලතින් ඇමරිකානු රටවල් කීපයක් ද මෙම යුද කඳවුලෙහි ලා ගිණිය හැක. මතවාදී වශයෙන් කොමියුනිස්වාදී දේශපාලන් පක්ෂ ආණ්ඩු කරවන රටවල් ද ගත හැක. ආණ්ඩු බලයේ සිටින තාක්කල් ඔවුන් මතවාදී වශයෙන් මේ යුදකඳවුරට සහාය දක්වනවා ඇත.

  1. ආගමික න්‍යායන් මූලිකකර ගත් රාජ්‍යයන්ගේ යුද කඳවුර
    යන ලෙසිනි.

මෙම කඳවුරට ආගම මූලික් කර ගත් ඉස්ලාමීය ඉරාන ජනරජය ඇතුලු එම මතවාදය මූලික කර ගත් ඇතැම් රාජ්‍යයන් අයත් වේ. දැනට ආගම් මූලික කර ගත් ස්ලාමීය රාජ්‍ය සංකල්පය හැර වෙනත් රාජ්‍යයන් ලෝකයේ නැත. නමුත් ඉරානයේ ස්ලාමීය ජනරජය සම්පූරණයෙන් ම ස්ලාම් ආගම පමණක් මූලික කර, එම මතවාදය ම පාදක කර ගනිමින් ආගමික මිලිටරිකරණයක් ඇති කර තිබේ. එවැනි රාජ්‍ය සංකල්ප පෙරදැරි කර ගෙන පැවැති රාජ්‍ය කීපයක් පසු ගිය කාලයේ බිඳ වැටිණි. ඇප්ගනිස්ථානය, සිරියාව, ඉරාකය, ලිබියාව, යන රටවල් ආගමික මිලිටරිකරණය පාදක කර ගත් රාජ්‍ය ව්‍යූහයක් ගොඩ නැගීමට උත්සාහ කළ රාජ්‍යයන් ය. ස්ලාම් ආගමික මිලිටරිකරණය පාදක කරගත් ඉලක්ක මත, ආගමික අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් බිහි විය. එම ත්‍රස්ත කණ්ඩායම් සඳහා මුදල්, අවිආයුධ, අවි පුහුණව, යුදවැදීම සඳහා තාක්ෂණික දැනුව ලබා දීම, ස්ලාමීය ඉරාන ජනරජය විසින් කළ බව ඔවුන්ට ඇති එක චෝදනාවක් වේ. ගාසා තීරයේ හමාස් සංවිධානයට හා පලස්තීනයට හා හිස්බුල්ලා සංවිධානයට ද සිරියාවේ ISIS සංවිධානයට ද, අල් කයිඩා හා තලේබාන් සංවිධානයට ද, මේ චෝදනා බලවත් ලෙස එල්ල වී ඇත. මෙම ආගමික මිලිටරිකරණයේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණය වන්නේ, තම ආගමික මතවාදයට පිටින් කිසිදු ඇදහීමක් හා පාලනයක් එම රටෙහි නො තිබිය යුතු බව ය.

ඇමරිකා එකසත් ජනපද රාජ්‍යයේ ආදර්ශ පාඨය “ අප විශ්වාශ කරන දෙවියන් වහන්සේ උදෙසා” යනුවෙන් සඳහන් කරන්නෙ ක්‍රිස්තියානි ආගම වුවත් රාජ්‍යය සම්පූරණයෙන් ම අන්‍ය ආගම් ඇදහීමට විරෝධයක් කිසි ලෙසකින් ඇමරිකානු රජයේ නැත. එසේ ම නිදහස් මතධාරීව ජීවත් වීමේ අයිතිය තහවුරු කොට ඇත්තේ ය. නමුත් ඉරානයේ ස්ලාමීය ජනරජය සම්පූරණයෙන් ම ස්ලාම් ආගම මූලික කර ගෙන යන පාලනයෙහි අන්‍ය ආගම්වලට හා ප්‍රජාතන්ත්‍රවාදයට කිසිදු ඉඩක් නැත්තේ ය.

අන්තර්ජාතික නීති ඇතැම් අස්වථාවල යුදබලය හමුවෙහි ක්‍රියා විරහිත වීම.

අන්තර්ජාතික නිති මත සියල්ල විසදෙන්නේ නැති බවට එක් ශාක්ෂියක් නම් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් වෙත, අන්තර්ජාතික අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව ය.

2023 මාර්තු 17 වන දින, යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරය පිළිබඳ විමර්ශනයකින් පසුව, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ රුසියානු ළමා අයිතිවාසිකම් කොමසාරිස් මාරියා ල්වෝවා-බෙලෝවා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේ ය. ඒ රුසියානු-යුක්රේන යුද්ධයේදී නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම සහ ළමයින් මාරු කිරීමේ යුද අපරාධයට වගකිව යුතු බවට චෝදනා කිරීම මත ය . එම වරෙන්තුව අදවනතුරු බලාත්මක කිරීමට නොහැකි වී ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකුගේ නායකයාට, එරෙහිව නිකුත් කරන ලද පළමු වරෙන්තුව බව දෙස්, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් එම වරෙන්තුව අනුව, ජ්‍යාතන්තර නීතිය අනුව අත් අඩංගුවට ගැනීමට නො හැකි වී ඇත්තේ, යුද බලය නිසා බව කිව යුතු ය. ව්ලැඩිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයාට ජ්‍යාතන්තර අපරාධ අධිකරණයෙන් තෙවරක් වරෙන්තු නිකුත් කොට ඇත.

රුසියානු නායකයා ජ්‍යාතන්තර නීතිය තඹ දොයිතුවකට සැළකිල්ලට ගත්තේ නැත. ජ්‍යාතන්තර අපරාද අධිකරණයට භාර වූවේ ද? ජාත්‍යතර නීතිය කතා කරන අය පුටින්ට ජ්‍යාතන්තර අපරාධ අධිකරණයට භාර වෙන්නයයි කිසිවෙකු ඉල්ලා සිටි බවක් අපට දක්නට නො ලැබිණි.

මෙහිදී විශේෂයෙන් සැලකිල්ලකට ගත යුතු කරුණ නම්, යුරෝපා සංගමය විසින් ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීමට ගත් තීන්දුව ය.

මේ හේතුවෙන් ඉරාන විප්ලවීය හමුදාවේ යුද, නාවික හා ගුවන් බලය ඇතුලු සියලු උපකරණ සහිත යුද බලය ත්‍රස්තවාදී ලැයිස්තුවට අයත් වනවා ඇත.
මෙයට ප්‍රතිචාර ලෙස 2026 පෙබරවාරි 21 දින ඉරාන රාජ්‍ය විසින් ද යුරෝපා සංගමයේ සාමාජික රටවල නාවික හා ගුවන් බලය “ත්‍රස්තවාදී කණ්ඩායම්” ලෙස ඉරනයේ හිටපු අධ්‍යාත්මක නායක අයතුල්ලා අල් කමේනි විසින් නම් කරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා රජය, මෙය බලපතල ලෙස සැළැකිල්ල නො ගත හොත්, බරපතල ප්‍රතිවිපාකයන්ට අනාගතයේ
ලක් රජයට මුහුණ දීමට සුදුවනු ඇත. ඉරානයේ සියලු යුද ගුවන් හා නාවික බලයට අයත් සියලු දෑ, යුරෝපා සංගමය විසින් ත්‍රස්ත ලැයිස්තු ගත බැවින් අද වන විට ලක් රජය භාරයේ ඇති, නෞකාව එම නැවේ නාවිකයන් ද ත්‍රස්ත ලැයිස්තුවට ඇතුලත් ය. නේටෝ රාජ්‍යයන් හා යුරෝපා සංගමයේ රටවල් සමඟ එදිරිවාදිකම් සාදා ගෙන, ඉරානය කරන මෙම යුද්ධයේ දී ඉරාන යුද නැව හා එම යුද නැවේ නාවිකයන් පිළිබඳව කිසිදු සිහිල් ප්‍රතිපත්තියක් නේටෝ රාජ්‍ය විසින් හා යුරෝප සම්ගමයේ රාජ්‍ය විසින් ඇති නො කරන ලද බව ද පැහැදිලි ය. මෙයට දක්වන ලක් රජයේ ප්‍රතිචාර වැරදුන හොත් යුරෝපා සංගමයේ GSP+ බදු සහන කපා හැරීමට යුරෝපා සංගමය ක්‍රියා කරනු ඇත. එපමණක් නොව සංචාරක ව්‍යාපාරයට ද හානි වීම ද ඇති කරයි. යුරෝපා සංගමයේ හ නේටෝ රටවල වැසියන්ට, සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් නො කිරීම ද ඉඩ ඇති කරයි. මෙයින් මෙරට, සංචාරක කර්මාන්තය කඩා වැටීමකට ලක් වීම නො වැළැක්විය හැකි ය.

ඇමරිකාව හා ඊශ්‍රායල මෙම යුද්ධය දිණුවත් මෙයින් ලංකාවට වන හානිය බරපතල ය. මෙම යුද්ධය ඇමරිකාව හා ඊශ්‍රායල දිනීමට නො හැකි වුවොත් වන හානිය ඊටත් වඩා බරපතල ය. චීනය හෝ රුසියාව හෝ උතුරු කොරියාව හෝ මෙම යුද්ධයට කුමන ආකාරයකින් හෝ ඉරාන පාර්ශවයට උදව් කළ හොත් ශ්‍රී ලංකාවට වන හානිය අතිශයින් බරපතල ය. හේතුව මෙරට වත්මන් ආණ්ඩුව, කොමියුනිස්ට්වාදය පිළිගත් හා කොමියුනිස්ට්වාදී න්‍යාය මත කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කොට ගත් දේශපාලන පක්ෂයකින් පත් වී ඇති බැවිනි.

ඉන්දියාව ද ඉරාන යුද නැවකට හා එහි නාවිකයන්ට ආරක්ෂාව ලබා දීමට ගත් තීන්දුවට එතරම් දැඩි ප්‍රතිචාර, ඇමරිකාව ඇතුලු ඇමරිකානු හිතවාදී රටවලින් එල්ල වේ යයි නො සිතිය හැක. හේතුව ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික පරිනත බව හා යුදමය හා ආර්ථික වශයෙන් බලවත් තැනක සිටින බැවිනි. ඉරාන යුද නෞකාව හා නවිකයන්ට සපයා දුන් ආරක්ෂාව, මේ ආණ්ඩුවේ ගමන තීන්දු වීම හා රටේ ආර්ථිකයට ද බලපාන බව පැහැදිලි වනවා ඇත.

Protected by Security by CleanTalk