පෙබරවාරි 9දා දක්‌වා ඥානසාර හිමි රිමාන්ඩ් මහෙස්‌ත්‍රාත් නියෝගයත් සමග හෝමාගම රත්වෙයි

Spread the News

පෙබරවාරි 9දා දක්‌වා ඥානසාර හිමි රිමාන්ඩ්
මහෙස්‌ත්‍රාත් නියෝගයත් සමග හෝමාගම රත්වෙයි

සමන් ගමගේ, හෝමාගම ජයසිරි කාරියවසම්

අධිකරණයට අපහාස කිරීම, කණ්‌ඩායමක්‌ සමග පැමිණ රටේ ශේ්‍රෂ්ඨතම රාජ්‍ය ආයතනය වූ අධිකරණයට අභියෝග කිරීම සහ විභාගවන නඩුවකට බලපෑම් කිරීම මෙහිදී ඥානසාර හිමියන්ට එල්ල වූ චෝදනා විය.

මහෙස්‌ත්‍රාත්වරයා ඥනසාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කරන බව සඳහන් කරමින් සිය නියෝගය ප්‍රකාශ කිරීමත් සමග මහා සංඝරත්නය ඇතුළු දහසක පමණ සිවිල් පුරවැසියන් පිරිසක්‌ හෝමාගම අධිකරණ භූමිය තුළ මෙන්ම අවට ප්‍රදේශයේ සිට සටන් පාඨ කියමින් ඊට විරොAධය දක්‌වන්නට වීම නිසා ඊයේ (26) දහවල් එම ප්‍රදේශයේ දැඩි කලබලකාරී බවක්‌ද ඇති වි තිබිණි.

මෙහිදී සියයක පමණ භික්‍ෂූන්වහන්සේ පිරිසක්‌ තමන්ද බන්ධනාගාරගත කරන ලෙසට පවසමින් අධිකරණයේ ආරක්‍ෂිත වැට කඩාගෙන ඊට ඇතුළු වීමට ගත් උත්සාහයකදී සිදු වූ පොලිස්‌ පහර දීමකින් එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය. එසේ රෝහල්ගත කර සිටිනුයේ මාපුටුගල ධම්මසිරි නමැති භික්‍ෂූන් වහන්සේ නමකි.

මෙම තත්ත්වය හේතුවෙන් පොලිස්‌ ජල ප්‍රහාරක රථ සහ කැරළි මර්දන ඒකකය පොලිස්‌ විශේෂ කාර්ය බළකා කණ්‌ඩායමක්‌ද හෝමාගම අධිකරණය අවට ප්‍රදේශය වෙත කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබුණු අතර අවට පොලිසි පහකින් අතිරේක නිලධාරින් ආරක්‍ෂාවට යෙදවීමටද කටයුතු කරනු ලැබීය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ නඩුව පෙරේදා (25 වැනිදා) හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගෙන අවසන් වීමෙන් පසු භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ සමඟ අධිකරණය වෙත පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ආණ්‌ඩුවේ රාජ්‍ය නිලධාරින් නිකරුණේ රණවිරුවන් පිරිසක්‌ සිරගත කොට ඇතැයි හඬ නඟා පවසමින් ඔවුන් නිදහස්‌ කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටිනු ලැබූහ.

එක්‌නැලිගොඩ නඩුවට බන්ධනාගාරගත කර සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ නිලධාරින් හය දෙනා වෙනුවෙන් ඒ අවස්‌ථාවේ බොහෝ කරුණු සඳහන් කළ ඥනසාර හිමියෝ පසුව අධිකරණයෙන් පිටව ගියහ.

මෙම සිද්ධියත් සමඟ ඥනසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහෙස්‌ත්‍රාත් රංග දිසානායක මහතා හෝමාගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාට නියෝග කළ අතර හෝමාගම පොලිසිය මගින් ඥනසාර හිමියන් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනුවය. මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්‌වූ ඥනසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුෂාර දිසානායක මහතා උන්වහන්සේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය ඉදිරියේ කතා කරනු ලැබුවේ රට සහ රණවිරුවා පිළිබඳ උපන් සානුකම්පිත වේදනාව හේතුවෙන් බැවින් ඒ පිළිබඳ සානුකම්පිතව සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.

“මේක සුළුකොට තකන්න පුළුවන් සිද්ධියක්‌ නොවේ. රජයේ උත්තරීතර ආයතනයට අභියෝග කරලා තිබෙන්නේ. රටේ මිනිස්‌සු මේ දෙස බලාගෙන සිටිනවා. නිසි තීරණයක්‌ නොගතහොත් එය වැරදි පූර්වාදර්ශයක්‌ වනු ඇතැයි” එහිදී සඳහන් කළ මහෙස්‌ත්‍රාත්වරයා ඥනසාර හිමියන් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

උන්වහන්සේ බන්ධනාගාරගත කිරීමේ ආරංචිය සැල වීමත් සමඟ ඊයේ පස්‌වරුව වන විට මහා සංඝරත්නය ඇතුළු සිවිල් පුරවැසියන් පිරිස්‌ වශයෙන් එම ප්‍රදේශය වෙත පැමිණ විරෝධතාවේ යෙදි සිටි පිරිසට එක්‌වන අයුරුද දක්‌නට ලැබිණ.

බොදුබලසේනා සංවිධානය, රාවනා බලය සහ සිංහල රාවය යන සංවිධානවලට අයත් මහා සංඝයා වහන්සේ ඇතුළු පිරිස්‌ද එසේ උද්ඝෝෂණයට එක්‌ව සිටි අතර ඥනසාර හිමියන් මුදා නොහැරියොත් ගිනි තබාගෙන සියදිවි නසා ගන්නා බව පවසමින් භික්‍ෂූන් වහන්සේ නමක්‌ අධිකරණය ඉදිරිපිට බැරලයක්‌ මත නැගී පෙට්‍රල් බෝතලයක්‌ද අතින් ගෙන විරෝධතාවේ නිරත වූහ.

උඩුවේ ධම්මාලෝක, ඔමාරේ කස්‌සප සහ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද යන හිමිවරුද ඊයේ සවස්‌ වන විට එහි පැමිණ ඥනසාර හිමියන්ගේ සුවදුක්‌ විමසමින් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරන්නට වූහ. මේ අතරේ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාද එහි ළඟා විය.

භික්‍ෂූන් වහන්සේ ඇතුළු පිරිස්‌ ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් හෝමාගම නගරය ඇතුළු අවට ප්‍රදේශයේ මාර්ග සියල්ලද ඇහිරී ගොස්‌ තිබුණු අතර රට ජාතිය වෙනුවෙන් කතා කළ ඥනසාර හිමියෝ බන්ධනාගාරයට රැගෙන යැමට ඉඩ නොදෙන බව පවසමින් භික්‍ෂූන් වහන්සේ කිහිප නමක්‌ බන්ධනාගාර බසයට ගෙල තබා මහමඟ නිදා සිටින අයුරුද දක්‌නට ලැබිණ.

මෙසේ උද්ඝෝෂණ පවත්වමින් තිබියදී සවස 5.00 ට පමණ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ අධිකරණය තුළ සිට පිටතට පැමිණි ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ රැස්‌ව සිටි උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණ මෙසේ පවසන්නට වූහ.

අප මේ ගෙවා දමන්නේ ජාත්‍යන්තරය විසින් අපව කොටුකළ යුගයක්‌. නීතිය කාටත් පොදුයි. සන්ධ්‍යා එක්‌නැළිගොඩටත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි උසාවියෙදි හරි දෙයක්‌ නෙවෙයි කළේ. බුද්ධි අංශ නිලධාරීන් සිරකර සිටින එකට විරෝධය පළකරමින් කතා කළා තමයි. ඒක සිද්ධ වුණේ නැවතත් එම නිලධාරීන්ව බන්ධනාගාරගත කරන මොහොතේ ඔවුන්ගේ ඇස්‌වලින් ගලාගිය කඳුළු දැක ඇති වූ වේදනාව නිසයි. අපිට ගැටලු තිබෙන්නේ මහෙස්‌ත්‍රාත්තුමා සමඟවත් මෙහි සිටින බන්ධනාගාර නිලධාරීන් හෝ පොලිස්‌ නිලධාරීන් සමඟවත් නොවේ. රට කරවන මහ එවුන් එක්‌කයි.

එනිසා නීතිය දුන් නියෝගයට අවනත වෙලා මම මේ ගමන දවස්‌ දෙකකට ගිහින් එන්නම්. ඒකට ඉඩ දෙන්න යෑයි ද ඉල්ලා සිටියහ. ඒ සමඟම එම ස්‌ථානයේ රැඳී සිටි භික්‍ෂූන් වහන්සේ සහ ගිහි පිරිස ඒකට ඉඩ දෙන්න බෑ. ඔබ වහන්සේට නීතිය ක්‍රියාත්මක කරනවනම් බදියුදීන්වයි, හිරුණිකාවයි හිරේ දැමිය යුතු යෑයි කියා මහ හඬින් කෑගැසූහ.

මේ අතරතුර පිරිස අස්‌වසන්නට නැවතත් ඥනසාර හිමියෝ උත්සාහ කළත් එය ද අසාර්ථක වූහ. පසුව උන්වහන්සේ බන්ධනාගාර නිලධාරීන් සමඟ අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අතර විරෝධතාකරුවන්ගේ දැඩි බාධාකිරීම් මධ්‍යයේ කැබ් රථයක නංවාගත් බන්ධනාගාර නිලධාරීහු උන්වහන්සේව බන්ධනාගාරය වෙත රැගෙන ගියහ. ඒ සමඟම රැස්‌ව සිටි පිරිස ප්‍රකෝපකාරී වෙමින් පොලිසිය හා ගැටෙන්නට වූහ. එහිදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය බැටන් ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හරිනු ලැබූහ. මේ අවස්‌ථාවේ විරෝධතාකරුවෝ පොලිස්‌ නිලධාරින් වෙත පෙට්‍රල් විසි කරමින් පෙට්‍රල් ප්‍රහාරයක්‌ද එල්ල කළහ. මෙම සිද්ධියත් සමඟ ඊයේ සවස්‌වරුවේ හෝමාගම අධිකරණය හා දුම්රිය පොළ පිහිටි ප්‍රදේශය එකම යුද පිටියක්‌ බවට පත්ව තිබිණි. කෙසේ වෙතත් පසුව පොලිසියට හා විශේෂ කාර්ය බළකායට විරෝධය පළ කරමින් පිරිස ක්‍රම ක්‍රමයෙන් විසිරී ගියහ.