මවගේ ක්ෂණික ක්‍රියාවෙන් දරුවා බේරෙයි.
බඹරගල සිට මහනුවර බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් බැසීමට උත්සාහ කළ මවක් සහ ඇයගේ කුඩා දියණියක් බස් රථයේ තුන්වන පඩියෙන් බිමට ඇද වැටීමේ සිදුවීමක් අද උදය වරුවේ මහනුවර ස්විස් හෝටලය අසල බස් නැවතුම්පළෙන් වාර්තා විය.
එහිදී දරුවා වඩාගෙන සිටි මව බිම වැටෙන අවස්ථාවේදීත් තම දෑතින් දරුවාව ආරක්ෂිතව ආවරණය කර ගැනීමට ක්ෂණිකව ක්‍රියා කර ඇති අතර, එම නිසා දරුවාගේ හිස බිම වැදී සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී තිබේ. මෙම අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථය සම්පූර්ණයෙන්ම නතර කර, අනතුරට ලක්වූ මව සහ දියණිය වෙත පැමිණ ඔවුන් නැගිටුවා ගැනීමට සහ අවශ්‍ය අනෙකුත් උදව් උපකාර කිරීමට කටයුතු කර ඇත.
මවගේ ක්ෂණික ක්‍රියාව නිසා කුඩා දියණිය කිසිදු අනතුරක් නොමැතිව බේරී තිබේ.අනතුරට ලක්වූ මව ප්‍රකාශ කර සිටින්නේ තමන් සාමාන්‍යයෙන් දෛනික ගමන් බිමන් සඳහා පෞද්ගලික බස් රථ සේවාවන් බහුලව භාවිතා කරන බවයි. අද දින ඇය මෙම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථය භාවිතා කර ඇති අතර, ඇය පෙන්වා දෙන්නේ බස් රථ සියල්ලම වාගේ දිනපතාම පාහේ මෙලෙස තැනින් තැන මිනිස්සු දමමින් ඉතා ඉක්මනින් මගීන්ව බස්සවමින් ධාවනය කිරීමට කටයුතු කරන බවයි.
බස් රථ සම්පූර්ණයෙන්ම නතර කිරීමට පෙර මෙලෙස මගීන් කඩිනමින් බැස්සවීමට උත්සාහ කිරීම මෙවැනි අනතුරුවලට සෘජුවම හේතු වන බව ප්‍රදේශවාසීහු ද පෙන්වා දෙති. මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බස් රථයක් නැවතුම්පළක සම්පූර්ණයෙන්ම නතර කරන තෙක් මගීන්ට බැසීමට ඉඩ නොදීමේ පිළිවෙත පිළිබඳව මගීන් මෙන්ම රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද වඩාත් සැලකිලිමත් විය යුතුය.
එබැවින් ප්‍රවාහන බලධාරීන් මෙවැනි සිදුවීම් සහ මගී චෝදනා පිළිබඳව අවධානය යොමු කර, සියලුම බස් රථ සේවකයන් මගී ආරක්ෂාව පිළිබඳව තවදුරටත් දැනුවත් කිරීමට පියවර ගන්නේ නම් මෙවැනි අනතුරු ඉදිරියට වළක්වා ගත හැකි බව මහජනතාව පවසති.
සිලෝන් වෝච් විශේෂ වාර්තාකරු මහනුවර

