Spread the News

මහනුවර: ශ්‍රී ලාංකීය ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට නව අභිමානයක් එක් කරමින්, 71 වන වියේ පසුවන ප්‍රවීණ දිගුදුර ධාවන ශූර ඩී.එම්.ඒ.එස්. අතුල ශ්‍රී ලාල් ධනසේකර මහතා මහනුවරදී විශේෂ මාර්ග ධාවන වාර්තාවක් පිහිටුවීමට අද දින සමත් විය. පසුගිය අගෝස්තු 9 වනදා ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ කර අලවතුගොඩ දක්වා සාර්ථකව නිම කළ කිලෝමීටර් 31ක ධාවන අභියෝගයෙන් සහ දිගන ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මීටර් 10,000 ධාවන තරඟයෙන් පසුව, ඔහු සිය නවතම අභියෝගය ලෙස තෝරාගනු ලැබුවේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වී හඟුරන්කෙත මාර්ගය ඔස්සේ කියුලින්ද (Kiwulinda) දක්වා විහිදෙන අසීරු කඳු පල්ලම් සහිත ධාවන පථයයි.

ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ නිල නීතිරීතිවලට අනුකූලව සංවිධානය කර තිබූ මෙම දැවැන්ත ධාවන ඉසව්වේ නියමිත කිලෝමීටර් 30ක (30km) සමස්ත දුර ප්‍රමාණය එක දිගට දිව ගොස් පැය 3යි මිනිත්තු 25ක් වැනි කෙටි කාලයකින් නිම කිරීමට අතුල ශ්‍රී ලාල් මහතා මෙහිදී සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීය. විශේෂයෙන්ම අද දින මහනුවර ප්‍රදේශයේ පැවති වැසි සහිත බාධාකාරී කාලගුණ තත්ත්වය මෙම ධාවන අභියෝගය තවදුරටත් දැඩි කළ ද, එම වැසි සහිත දේශගුණය තමන්ට වාසිදායක ලෙස හරවා ගනිමින් ජයග්‍රහණය සනිටුහන් කිරීමට ඔහු සමත් විය.

මෙම සුවිශේෂී ධාවන වාර්තා අභියෝගය නිල වශයෙන් අධීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන තාක්ෂණික විනිසුරුවරයෙකු ලෙස මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනාධීර මහතා එක්ව සිටි අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අධීක්ෂකවරයෙකු ලෙස සාර්ක් (SAARC) මැරතන් රන් පදක්කම් ලාභී ප්‍රවීණ ක්‍රීඩක බන්දුල සමරසිංහ මහතා ද දායකත්වය සපයන ලදී. කඳුකර වංගු සහිත කාර්යබහුල මාර්ගයේ ධාවකයාගේ ආරක්ෂාව උපරිමයෙන් تහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ යතුරුපැදි බලකාය මඟින් ධාවන පථය පුරාවටම සුවිශේෂී මාර්ග මඟපෙන්වීමක් සහ ආරක්ෂක රැකවරණයක් සපයා තිබීම ද කැපී පෙනුණි.

අතුල ශ්‍රී ලාල් මහතා සතු මෙම අමිල ධාවන අත්දැකීම් සහ ප්‍රවීණත්වය අනාගත පරපුර උදෙසා සටහන් කර තබමින්, ඔහුව ප්‍රවීණ මලල ක්‍රීඩා උපදේශකවරයෙකු (Veteran Athletic Coach) ලෙස යොදවා ගැනීම හරහා පාසල් දුවා දරුවන්ට මෙන්ම දකුණු ආසියානු කලාපයේ සිටින මැරතන් ධාවකයන් දිරිගැන්වීමට මඟ පෙන්විය යුතු බව මෙහිදී ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි කතාබහට ලක්විය. එසේම මෙවැනි වයසක පසුවෙමින් වුවද ඔහු දක්වන මෙම දක්ෂතාවය ඉදිරි ඔලිම්පික් ධාවන තරඟාවලියේදී (Masters Olympic) ශ්‍රී ලංකා මාතාව නියෝජනය කරමින් ඔලිම්පික් පහන දැල්වීම උදෙසා (Olympic Torch Lighting) මෙරටින් ඉදිරිපත් කළ යුතු, මව්බිමට අභිමානයක් ගෙන ඒමට සමත් ජීවමාන ජීවමාන ගිනිසිළුව බඳු කදිම සුවිශේෂී සුදුස්සෙකු බව ද කාගේත් දැඩි ඇගයීමට හා කතාබහට ලක්විය. වයස් බේදයකින් තොරව දැඩි විනය සහ කැපවීම තුළින් ඕනෑම ඉලක්කයක් ජයගත හැකි බව සමාජයට පසක් කරමින් අතුල ශ්‍රී ලාල් මහතා තැබූ මෙම නවතම වාර්තාව මෙරට ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන තවත් සන්ධිස්ථානයක් වනු ඇත.

මහනුවර – විශේෂ වාර්තාකරු -Ceylon Watch

Protected by Security by CleanTalk