Spread the News

Divaina

තමා මන්ත්‍රීවරයකු ලෙස පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙනතුරු තමා මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයක දිවුරුම් ලබාදීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය නීතිඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20 දා) පොරොන්දුවක් ලබා දුන්නේය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ධම්මික පෙරේරා මහතා පත්කිරීම අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (20 දා) කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මගින් ධම්මික පෙරේරා මහතා එකී පොරොන්දුව ලබා දුන්නේය.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.

යම් පක්‍ෂයකට හිමිවන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වනවිට එය පිරවීම සඳහා පුද්ගලයකු නම් කිරීමට හිමිකම් ඇත්තේ අදාළ පක්‍ෂය විසින් මැතිවරණයේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇති දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවට නම ඇතුළත් කර ඇති පුද්ගලයකු පමණක් වන බවත් ධම්මික පෙරේරා මහතා මන්ත්‍රීවරයකු ලෙස යෝජනා කිරීමේදී එකී ක්‍රියාදාමය අනුගමනය කර නොතිබීම නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර හා දිස්ත්‍රික් මන්ත්‍රීධුර ලැයිස්තුවල ධම්මික පෙරේරා මහතාගේ නම ඇතුළත්ව නොතිබියදීත් ඔහු එකී පක්‍ෂයේ ජාතික මන්ත්‍රීධුරයකට පත්කිරීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බැවින් ඒ සඳහා අවසර ලබානොදෙන ලෙසත් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා විනිසුරු මඬුල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. එම පෙත්සම වැඩිරටත් සලකා බැලීම සඳහා අද (21 දා) යළි කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කළහ.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීම නීතිවිරෝධි හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජනඅරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටු සාමාජිකයකු වන දුමින්ද නාගමුව මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා යන මහත්වරුන් ප්‍රමුඛ කොමිෂන් සභා සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සහ නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.

ඒ ජේ. ඒ. අබේනායක