Spread the News

දියවන්නාවෙන් ඔබ්බට  ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුම

ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තරග වැදීමට තීරණය කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ රටේ ජනතාව වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගත් බව පැවසූ ඒ මහතා, මේ රටේ දේශපාලනයට සැබෑ නව සංස්කෘතියක් හඳුන්වා දීම වෙනුවෙන් කැපවන බව ද පැවසීය.

මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත්, රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යෑමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම තම ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ඇප කැප වන බවද පැවසීය.

අනුප්‍රාප්තික ජනාධිපති ධුර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ විශේෂ මාධ්‍ය හමුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම උදෙසා පැවැත්වෙන ඡන්ද විමසීම හෙට පැවැත්වෙන අතර එහිදී සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර ඇත.

අකිත පෙරේරා

Divaina