Spread the News





අතපය ගැට ගසා මුහුණට මිරිස් කුඩුත් ගහලා

දුගඳ නිසා ගම්මුන් සොයා බලද්දී සිද්ධිය හෙළිවෙයි

පන්සලේ පොඩි හාමුදුරුවන් ආගිය අතක් නෑ

මෝටර් රථය ඇතුළු දේපළත් අතුරුදන්

රද්දොළුව වෑත්තෑව නන්දාරාමාධිපතිව වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන් විහාරස්ථානයේ කුටියක නිදන ඇඳක් මත අත්පා ගැටගසා මුහුණට මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයක් දමා ඝාතනය කර තිබියදී ඊයේ (14 වැනිදා) පස්වරුවේ සීදුව පොලිසිය මගින් දේහය සොයා ගෙන ඇත.

ඝාතනයට ලක්ව අපවත් වන විට පනස් වැනි වියේ පසු වූ උන්වහන්සේ කටාන අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයා ලෙස ද කටයුතු කළහ.

විහාරස්ථානය දෙසින් අධික දුගඳක් ඇතිවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසියට සිදු කළ දැනුම් දීමකට අනුව සිදුකළ සොයා බැලීමකදී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

කිසියම් අයකු හෝ පිරිසක් එක්ව දින දෙක තුනකට පෙර නායක හිමියන් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මහානාම හිමියන්ගේ දේහය පොලිසිය මගින් සොයා ගන්නා අවස්ථාව වන විට විහාරස්ථානයේ වැඩවිසූ කුඩා හිමිනම එහි සිට නොමැති අතර ඒ හිමියන් ආගිය අතක් නැතැයි ද අනාවරණය වී තිබේ.

විහාරස්ථානයේ වූ මෝටර් රථ ඇතුළු දේපළ ද අතුරුදන් වී ඇත. සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සමන් ගමගේ, කටුනායක ආනන්ද නිශ්ශංක, ප්‍රදීප් ජයසේකර සහ විමල් කීර්ති