Spread the News

ආර් සම්බන්ධන්ලා ද අද ඉල්ලා සිටින්නේ උතුර – නැඟෙනහිර පළාත් ඔවුන්ගේ ඓතිහාසික නිජභූමිය ලෙස පිළිගන්නා වෙනම පාලනයක් ගෙන යෑමේ බලයයි.

සම්බන්ධන්ලා ඉල්ලා සිටින මේ බලතල සියල්ල ක්‍රියාත්මක උතුර – නැඟෙනහිර පළාත් සභාවට බලතල ලබාගැනීමට නොහැකි වී ඇත්තේ සිය අභිමතය පරිදි පළාත් ආණ්ඩුකාරවරුන් පත්කොට ඔවුන් මගින් සිය විධායක බලය ක්‍රියාත්මක කරමින් පළාත් සභා සතු මූල්‍ය, පොලිස්, ඉඩම් හා ව්‍යවස්ථා සම්පාදන බලතල පාලනය කිරීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව නිසාය. ක්‍රියාත්මක වශයෙන් මේ බලතල පළාත් සභාවට ලබාගැනීම සඳහා කළ යුතුව ඇත්තේ ඉතා සුළු සංශෝධනයකි.

දැනට ජනපතිගේ අභිමතය අනුව කෙරෙන පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම මහ ඇමැතිගේ උපදෙස් අනුව සිදු කිරීමටත්, ආණ්ඩුකාරවරුන් සිය බලතල ක්‍රියාත්මක කිරීම, පළාත් මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත අනුව සිදු කිරීමටත් ඉඩ සැලසීමය. එවිට ඔවුන්ට උතුර – නැඟෙනහිර පූර්ණ ෆෙඩරල් පාලනයක් පවත්වාගෙන යා හැකිය. එහි අවසාන ප්‍රතිඵලය රට බෙදා වෙන්කිරීමය.

21 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ කාරක සභා අවස්ථාවේදී සිදුකරන සුළු වෙනසක් මගින් මේ රට පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ බිහිසුණු අනතුරක් තිබේ. සිදුවිය හැකි මේ මහා ව්‍යසනය වළක්වා ගැනීමට ඇත්තේ එකම එක විදියකි. එනම් කල් ඇතිව ජනතාව වෙත ඉදිරිපත් කර නැති කිසිම සංශෝධනයක් අවසාන මොහොතේ, කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකරන බවටත්, අවසාන මොහොතේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කෙරෙන කිසිම සංශෝධනයකට තුනෙන් දෙකේ බහුතරය නොලැබෙන බවටත්, වගබලා ගැනීමය.

එසේම ආණ්ඩුවේ ඉල්ලීම පරිදි ව්‍යවස්ථා සංශෝධනය සඳහා විවිධ දේශපාලකයන් විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා සියල්ල ජනතාවගේ දැනගැනීම සඳහා එළිදක්වන ලෙස සියලු ජනතා සංවිධාන, ජාතික සංවිධාන සහ දේශපාලන පක්‍ෂ විසින් ආණ්ඩුවට බලකර කියා සිටිය යුතු අතර දැනට ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති 21 වන ව්‍යවස්ථා සංශෝධනයට කවර හෝ පක්‍ෂයක් විසින් කාරක සභා අවස්ථාවේදී ගෙන ඒමට අදහස් කරන සංශෝධන සියල්ල විශේෂයෙන් උතුරු – නැඟෙනහිර බලය බෙදීමට අදාළ සංශෝධන සියල්ල මෙම පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට අවම වශයෙන් සති දෙකකට කලින් ප්‍රකාශයට පත්කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙස සියලු ජනතා සංවිධාන, ජාතික, ආගමික, සංවිධාන හා දේශපාලන පක්‍ෂ විසින් ආණ්ඩුවට තරයේ බලකර කියා සිටිය යුතුය. එසේ කල් ඇතිව ඉදිරිපත් කර නොමැති කිසිම සංශෝධනයක් අන්තිම මොහොතේ, කාරක සභා අවස්ථාවේදී භාර නොගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන්, අධිකරණ ඇමැතිතුමාගෙන් හා කථානායකතුමාගෙන් තරයේ ඉල්ලා සිටිය යුතුය.

එසේම තමාට කල්වේලා ඇතිව කියවා බලා අධ්‍යයනය කිරීමට අවස්ථාව නොලැබුණ ද අන්තිම මොහොතේ ගෙන එන සංශෝධනවලට පක්‍ෂව ඡන්දය දීමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. මන්ත්‍රීවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා කාරක සභා අවස්ථාවේදී 13 වැනි සංශෝධනය බලාත්මක කරන සංශෝධන කූට ලෙස ඇතුළත් කළහොත් ඒ මහා පාවාදීමට දායක වන කිසිවකුට ඉතිහාසය විසින් සමාවක් නොලැබෙන බවත්, ඔවුන්ට පෙන්වා දිය යුතුය.

✍️ ජේෂ්ඨ නීතීඥ කළ්‍යාණන්ද තිරාණගම

📰සම්පූර්ණ සටහන මෙතැනින්: https://www.lankaleadnews.com/?p=116723