

ම

මහනුවර පොත්ගුල් විහාරය ඉදිරිපස බස් නැවතුම්පළ ආසන්නයේ ඇති පදික මාර්ගයේ කැඩී බිඳී ගිය කොටසක පැටලී භික්ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී තුවාල ලැබීමේ අවාසනාවන්ත සිදුවීමක් මීට විනාඩි 40 කට පමණ පෙර වාර්තා විය. පදික මාර්ගයේ ගමන් කරමින් සිටියදී උන්වහන්සේගේ කකුල පැටලී හිස ද බිම වැදී ඇති අතර, වැටීමේදී සිදු වූ අනතුරෙන් උන්වහන්සේගේ අත්වල ඇඟිලි ප්‍රදේශයෙන් දැඩි ලෙස ලේ වහනය වී තිබේ. අනතුර සිදුවී විනාඩි 30කට අධික කාලයක් ගතවන තුරුත් කිසිදු ගිලන් රථ සේවාවක් එම ස්ථානයට පැමිණ නොමැති අතර, එම ස්ථානය අසල වෙළඳාම් කටයුතුවල නිරත වන සුනීතා සහ සෝමාවතී යන මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් සහ මඟීන් එක්ව තුවාල ලැබූ භික්ෂූන් වහන්සේව ආරක්ෂා කර ගැනීමට සහ උපකාර කිරීමට මහත් වෙහෙසක් ගෙන ඇත.
පසුව එම ස්ථානයට වැඩම කළ පොත්ගුල් විහාරයේ අනෙක් ස්වාමීන් වහන්සේ නමකගේද සහයෝගය ඇතිව, පසුව පැමිණි ගිලන් රථයකින් උන්වහන්සේව රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ. මහනුවර වැනි ජනාකීර්ණ නගරයක පදිකයන් බහුලව ගැවසෙන මෙවැනි අනතුරුදායක මාර්ග වහාම පිළිසකර කිරීමේ අවශ්‍යතාවයත්, මහජනතාව අනතුරකට ලක්වූ වහාම ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා හදිසි ගිලන් රථ සේවා වඩාත් කාර්යක්ෂම සහ වේගවත් කිරීමේ අවශ්‍යතාවයත් මෙම අනතුර මගින් පැහැදිලිවම පෙන්වා දෙයි.
සිලොන් වෝච් මහනුවර

