–  වත්මන් ධර්ම කථිකයෝ –

මතුපිටින් බලනකල මෙය සැබෑවක් බව ඔබට හිතෙන්නට පුළුවනි.

ඇත්තටම මේ කියමන් සැබෑවක්ද ?

අධ්‍යනයක යෙදෙමුද ?

ආර්යය පුද්ගලයන් 8 දෙනෙකි. බුදු දහමේ අග්‍ර ඵලය නිවනයි. බික්ඛු, බික්ඛුනි, උපාසක, උපාසිකාවන්ගේ පරම වෑයම මේ ආර්යය පුද්ගලයන් 8 දෙනා අතරටවත් පැමිණීමයි. ආර්යය පුද්ගලයෝ තම කටයුත්ත නිමාකලා වූ අය වෙති. ඔවුනට නිවන් වෙනුවෙන් අන් කලයුතු යමක් නැත. උත්සාහ කලද, නැතද, ඔවුන් නිවනටම පැමිණෙති.

ඉහත කියමන් ඇත්තද, බොරුද කියා සොයාබැලීමට හොඳම මග මේ ආර්යයභාවයට පැමිණියෝ ගේ ක්‍රියාකලාපය අධ්‍යනය කිරීමයි. 

01.බුදු හිමියන්. කලයුතු සියල්ල නිමාකල උතුමන්. වසර 45ක් පුජාවන්ම පමණක් නොව නොවිඳිනා දුක්ගැහැට හමුවේ ජනයා පීරමින් මාවතට බටුයේ ඇයි ?

02.දෑගසව්වන්. කළයුත්ත නිමාකලා වූවන්. කලයුතු සියල්ල කර අවසාන බැවින් නිහඬව ඉන්න තිබුනානේ. එසේ සිටියාද ? තම ජීවිතය නිමාවන තුරු සසුන, සසුනේ ස්ථාවර බව, එහි ව්‍යාප්තිය, වෙනුවෙන් අප්‍රමාන කැපකිරීම් කළා වුවන්.

03.සුදත්ත, සෝවාන් වූ අනේපිඩු සිටු, චතුරාර්ය සත්‍ය සාක්ෂාත් වීමෙන් පසුවත් සසුනේ පැවැත්ම, සසුනේ ව්‍යාප්තිය, සසුනේ ස්ථාවරත්වය ගැන මෙතරම් කැපකිරීමක් කල ගිහියෙක් නොමැති තරම්. තම වැඩේ කරගත්තා නම් නිහඬව වුවාද ? එසේ නම් සසුන, එහි පැවැත්ම, එහි ස්ථාවරත්වය, එහි ව්‍යාප්තිය වෙනුවෙන් මෙපමනස් කැපකිරීම් කලේ ඇයි ? පසුකාලීනව ආර්ථිකව ඉතා දුර්වල වුවත් හිමිවරුනට කාඩිකැඳ පිළිගැන්වූ බව සඳහන්. අවසානය දක්වාම වැඩෙහි යෙදුනු ගිහියන්. මගේ වැඩේ මම කරගෙන අවසාන නිසා මට දැන් සුවසේ සිටිය හැකිය කියා ඔහු නිකන් හිටියාද ?

03.සසුනට අභියෝග ආ මොහොතේ පළමුවැනි, දෙවැනි, තෙවැනි, ධර්ම සංගායනා කළාවූ උතුමන්. තමා රහත්වුවා යයි කියා තමාට නොව තම සසුනට අභියෝග පැමිණිනු කල මඟහැරියාද ?

04.සසුන අභියෝගයට ලක්කළ මොහොතේ නාගසේන මහතෙරුන් හා සබැඳි කතාව බලන්න. අපේ වැඩ අපි කරගෙන ඉවරයි. වෙන දෙයක් වෙච්චදෙන් කියා රහත් හිමිවරු මඟහැර සිටියාද ?

05.අශෝක අධිරාජයාගේ උදව්වෙන් සාසන ව්‍යාප්තිය තම කරට ගත්තේ රහත් හිමිවරුය. මහින්ද රහතන් වහන්සේ මෙරට කල වික්‍රමයන් ගැන ඔබ අසා ඇත. තමා ගේ වැඩ අවසානය මේ වැඩ මොකටද කියා ඔවුන් නිහඬ වුවාද ?

06.සිංහල රාජවංශය අභියෝගයට ලක් වූ මොහොතේ ලෙන් තුලින් එලියට විත් මහරහතන් වහන්සේලා කල මෙහෙය දුටුගැමුණු, වළගම්බා, ගජබා, විජයබා, පැරකුම්බා සමයන් අධ්‍යනයෙන් පෙනේ.

07.ආක්‍රමණිකයා හා සටන පැමිණි මොහොතේත්, ඔහුට යටත් වූ මොහොතේත් පන්සලෙන් එලියට පැමිණ පෘතග්ජන හිමිවරු, සිල් මෑණිවරු, ගිහියන්, උපාසිකාවන් පෑ වික්‍රමයන් ඉතිහාසය පුරාවට ඇත.

එසේ නම් නටන මේ අලුත් නාඩගම කුමක්ද ?

ඇයි ?

“ පින්වතුනි ! තමන්ගේ වැඩේ කරගන්න. සියල්ල එනම් ගිහි ජීවිතය, ගිහි බැඳීම්, ගිහි කටයුතු, චංචල, නිශ්චල දේපොළ අතාරින්න. රුක්ඛ මුලකට පැමිණෙන්න. නිවන් දකින්න. නිවන් දකින්න. නිවන් දකින්න.”

රට, වර්ගය, සසුන ගිණි තබමින් සිටින මොහොතේ රුක්ඛ මුලයද ඉතිරි නොවන බව තේරුම් ගැනීමට මේ මුග්ධ දේශකයන් තුල අබමල් රේණුවක හෝ ප්‍රඤාවක් වැඩි නැත. සසුන, එහි පැවැත්ම, එහි ස්ථාවරත්වය මව්බිම තුලම පාගා ගිණි අවුළුවමින් තිබේ. “පින්වතුනි ඕවා අමතක කරන්න. එන්න නිවන් දකින්න. එන්න නිවන් දකින්න. එන්න නිවන් දකින්න.” මේ වත්මන් පෙළෙහි අනුශාසනාවයි.  අඩුතරමින්  ගිහි ශිලය වත් හෙවත් පන්සිල් වත් නොමැති, සමාධියක් නොමැති, සුතමය ප්‍රඤාවක් නොමැති, චින්තාමය ප්‍රඤාවක් නොමැති, භාවනාමය ප්‍රඤාවක් නම් කිසිසේත් නොමැති මෙවැනි මුග්ධයන් ගේ දේශනා දේශනාවන් වෙනවාද ?

තමා රහත් වී ඇතිවා වුවත්, නොවුවත් සසුන අභියෝගයට ලක් වූ අවස්ථාවන්හිදී පෙර හිමිවරුන් ඉහත වැකි නොකියා වැටුණු සසුනත්, එහි පැවැත්මත්, එහි ස්තාවරත්වයත් වැටුණු වල කටින්ම ගොඩට ඇදගත්තේ ඇයි ?  ඒ වෙනුවෙන් මෙපමණ වූ කුලප්පුවක් ඔවුනට වැලඳුනේ ඇයි ?

ඉන් තමාට පාඩුවක් වෙයි කියලාද ?

නැත ! තමා සාක්ශාත් කල තමන්ගේ විමුක්තිය, ඊට උරදුන් විමුක්තියේ මාවත අනාගත ප්‍රඤාවන්තයන් වෙනුවෙන් රැකතිබීම සඳහා ඔවුන් මේ සා කැපකිරීමක් කර ඇත.

මුලා වුවන්ට නොරැවටෙන්න. මුලාවන්ගෙන් ප්‍රවේශම් වන්න.

සසුන ඔබගේ විමුක්තිය සඳහා පමණක්ම නොව අන්‍යන්ගේ විමුක්තියටත් එයම අදාළ බව තරයේ සිතට ගන්න. ඒ නිසා සසුනෙන් ප්‍රයෝජනගැනිමක් පමණක්ම සාසනය නොවන අතර සාසනය රැකගැනීමත් ඔබ සහ මගේ පරම යුතුකම සේ සලකන්න. ඒ වෙනුවෙන් ඔබට කල හැකි සෑම දේම නොපැකිලව ඉටුකරන්න.

ස්තුතියි !  

Protected by Security by CleanTalk