Spread the News

කාර්දිනල්ට එල්. ටී.ටී.ඊ ක්‍රියාකාරකම් අත් හරින ලෙස දන්වා යැවු 2 වන ලිපිය.

කාදිනල්තුමනි,

මෙයට සති දෙකකට පෙර එනම් 2011 ඔක්තෝබර් 27 වන දින ඔබතුමන්ගේ නිල නිවාසය වෙත පැමිණ අතිගරු ජනාධිපතිතුමන් ඕස්ට්‍රේලියාවේදි දෙමළ ජාතිවාදි ත්‍රස්තවාදින්ගේ නොහික්මුණ සිද්ධි දාමයකට මුහුණ පෑමට සිදුවීම පිළිබඳවත් එයට ආනුෂාංගික වූ කරුණු පිළිබඳවත් කරුණු සඳහන් සංදේශයක් භාර දුන්නෙමු. එහෙත් එම භාර දුන් සංදේශයට මෙතෙක් අප වෙත සෘජු පිළිතුරක් ලබා නොදීම පිළිබඳව අපි කණගාටුවට පත් වෙමු. එහෙත් ඔබතුමන් 2011 නොවැම්බර් මස 06 වන ඉරු දින ඥානාර්ථ ප්‍රදිපය පුවත්පත “කිසිදු පූජකවරයෙකුට පක්ෂ දේශපාලනය ඔබින්නේ නැහැ” ශීර්ෂය යටතේ දැක්වූ කරුණුත් එදිනම ඉරිදා දිවයින සංග්‍රහය වාර්තා කරන ලද “ඇමෙරිකානු ක්‍රිස්තියානි සංවිධාන මෙරට තහනම් කරන්න – කාදිනල්තුමා රජයෙන් ඉල්ලයි” එක්තරා ප්‍රමාණයක අපගේ ලිපියට ලැබුණ ප්‍රතිචාර ලෙස දැක්විය හැක.

එහි පළමු ලිපිය පිළිබඳව සලකන කල එහි සඳහන් වන එස්.ජේ. එම්මානුවෙල් පාදිලිතැන පිළිබඳව ඔබතුමන් දරන ආකල්පය පිළිබඳව අපට අස්වැසිලිදායක කාරණයක් වුවද ඔහුගේ ක්‍රියාකලාපය දැන දැනම ඔහුව පාලනය කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව ඇත්තේ බලවත් කණගාටුවකි.

ඒ පිළිබඳව ඔබතුමන් දැක්වූ අදහස් පුවත්පතේ දක්වා ඇත්තේ මෙසේය. “එස්. ජේ. එම්මානුවෙල් පියතුමාගේ ක්‍රියාකලාපය ගැන විනයානුකූලව කටයුතු කළ හැකි වන්නේ යාපනය රදෞරු හිමිපාණන්ව පමණකි. එම්මානුවෙල් පියතුමා යාපනය පදවියේ පූජකවරයෙකු වන නිසාත්, ඒ සම්බන්ධව විනය කටයුතු කිරීම අගරදගුරු පදවියේ කාර්යය හාරයක් නොවන බවත්, කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ බෙදුම්වාදය යළි ජය ගැන්වීමට යමෙකු උත්සාහ කරන්නේ නම් එය අනුමත කළ නොහැකි බවත් එතුමෝ ප්‍රකාශ කළය” යනුවෙනුයි.

එම ප්‍රකාශය අනූව එම්මානුවෙල් පාදිලිතැන ගැන කටයුතු කළ යුත්තේ යාපනය රදගුරු වන බවයි. එය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නොව මහ හොරාගෙන්ම පේන ඇසීමක් බඳුය. අප දන්නා ආකාරයට එම්මානුවෙල් පාදිලිතැනගෙන් පමණක් නොව යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමල – මඩකලපු රදගුරුවරුන්ද බෙදුම්වාදයට පක්ෂ බවය. එය ඔබතුමන් නොදැන සිටීම මවිතයට කාරණාවකි.

ඔබතුමන් අභිනවයෙන් කාදිනල් ධූරයට පත් වීමෙදී, ඔබතුමන්ව හඳුන්වා දුන්නේ ආසියාවටම ලැබුන පත් කිරිමක් වන බවය. අප දන්නා ආකාරයට රෝමානු කතෝලික පල්ලිය ලෝකයේ මනාව සංවිධානය වූ ධූරාවලියක් අනූව ගොඩ නැගුන සංස්ථාවකි. එසේ හෙයින් ඔබතුමන් කළ යුතු වන්නේ හොරට පමණක් නොව හොරාගේ ගුරු වන මහ හොරුන් පිළිබඳවද සොයා අවශ්‍ය කාරණා කිරීමය. අවම තරමින් අප උපන් බිමේ අනාගතය පිළිබඳව සලකා බලා එසේ කළ නොහැකි නම් ඔය කාදිනල් ධූරයෙන් ඇති ඵලය කුමක්ද ? එබැවින් ඔබගේ වගකීම වන්නේ ඔබතුමාද බෙදුම්වාදය අනුමත නොකරන බැවින් පසුගිය යුධ සමයේ සිට මේ දක්වා බෙදුම්වාදයට පක්ෂ අයවලුන් සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමය. යම් හෙයකින් එය ඔබතුමාට කළ නොහැකි දෙයක් නම් අදාළ අයවලුන් දැනුවත් කර කරවිමය.

ඔබතුමන් තවදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තෙ ජාති , ආගම් වශයෙන් බෙදී වෙන්වී ගැටුම් ඇති කර ගැනීම නොව රට නගා සිටුවීමට සියළු භේද අත්හැර එකමුතුවී ක්‍රියාකළ යුතු බවයි යනුවෙනි. අප ප්‍රකාශ කර සිටින්නේත් කැපවී සිටින්නේත් ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේත් වෙන කිසිවක් නොව එයමය. එහිදී අවධාරණය කර ප්‍රකාශ කළ යුත්තේ කිසිදු දිනක ගැටුම් වලට මුල් වුයේ සිංහල බෞද්ධයා නොව අනෙකුත් පාර්ශ්වයන් වන බවය. එය ඉතිහාසය මනාව විමසන මැදහත් බුද්ධියක් ඇත්තෙකුට තීරණය කළ හැක. පෘතුගීසීන් විසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීමේදී සිංහල බෞද්ධ කොපමණ ප්‍රමාණයක් නිරපරාදේ හිරිහැරයට භාජනය කළාද ? ඝාතනය කළාද ? වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් කොල්ල කනු ලැබුවද ඉන් පසුව ආ ලන්දේසින්ගෙන් කතෝලික පූජකයන්ට සහ ජනතාවට දරුණු ලෙස විරුද්ධව කටයුතු කරද්දි ඔවුන්ගේ ආරක්ෂාව සපයා දුන්නේ උඩරට සිංහල බෞද්ධ රජවරුන්ය. එපමණක් ද න්ව අපේ මහා සංඝරත්නය තමන් ලබා ගන්නා පිණ්ඩපාතයෙන් කොටසක් ලබා දුන්නේ කතෝලික පූජකවරුන්ටය.

මුස්ලිමුන්ටත් සිංහල බෞද්ධයන් සලකනු ලැබුවේ එසේමය. යුරෝපීය ආක්‍රමණ හමුවේ පහතරට වාසය කිරීමට අපහසු වූ විට ඔවුන්ටද රැකවරණය දුන්නේ සිංහල බෞද්ධයින්මය. අද මහා මුස්ලිම් ජනාවාස වී ඇති නැගෙනහිර මුලින්ම මුස්ලිමුන් පදිංචි කරවනු ලැබුවේ කන්ද උඩරට රජකළ  සෙනරත් රජු යුගයේදීය. එහෙත් මේ සත්‍ය ඉතිහාසය පිළිබඳව කථා කිරීම සමහරුන්ට ජාතිවාදයකි. එසේ වෙතත් කතෝලික පල්ලියද අද තමන්ට නැති ඉතිහාසයක් මවා පාන අතර ඉතිහාසයේ පෘතුගීසීන් කරන ලද සාහසික ඝාතන හා විනාශ කිරීම් වසා දැමීමට ඒ අඳුරු ඉතිහාසය පාසල් පෙළ පොත් වලින් ඉවත් කිරීමට රජයට බලපෑම් කර ඇත. මෙය කොතරම් සදාචාර නොවන ක්‍රියාවක්ද ? ඉතිහාසය එක් එක් පුද්ගලයන්ට අනූව වෙනස් කළ හැක්කක්ද ? මෙවැනි ජාතික අපරාධ සඳහා රජයද පොළඹවා ගන්නා ඔබතුමන්ලා අවම වශයෙන් එහි කළගුණය රැකීමටවත් රජයට අවශ්‍ය සහය ලබා නොදෙති. එහෙත් ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් රැකීමට ඉදිරිපත් වෙති.

බෞද්ධයෝ කිසි විටෙක අනෙක ආගම් අදහන්නන්ට නිකරුනේ හිරිහැර නොකළ පිරිසක් බවට උවමනා තරම් නිදසුන් දැක්විය හැක. පාණදුරා වාදය වැනි මහා වාදයන්ට ද මඟ පෑදුවේ ක්‍රිස්තියානින් බුදු දහමට අපහාස කරමින් ගෙන ගිය මතවාදයන්ට පිළිතුරු දීමට විනා ක්‍රිස්තියානින් මෙන් අනෙක් ආගම් හෑල්ලු කිරීමට හෝ හෙළා දැකීමට නොවන බවද මතක් කර තිය යුතු යැයි සිතමු. සැමවිටම ජාතිවාදය , ආගම්වාදය ආරම්භ කර ඇත්තේ සිංහල බෞද්ධයන් නොවන බව අවධාරණය කළ යුතුය. බෞද්ධයන්ට අන්‍ය ආගමික සහජීවනය පිළිබඳ යහපත් ඉතිහාසයක් ඇත. කිසිදු දිනෙක ආගමේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කර නොමැත. එහෙත් දේවවාදී ආගම් තම ආගමික ග්‍රන්ථවලම සඳහන් කර ඇත්තේ අන් ආගම් සහ අන්‍යාගමිකයන් විනාශ කරන ලෙසය. එය එසේ නොවේ ඇයි අද කිසිවෙකුට කිව නොහැක. බෞද්ධයන්ට යම් හිරිහැරයක් වූ විට එයට විරුද්ධව පිළිතුරු දෙනවිට එය ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ලෙස හදුන්වා තමන් සුදනන් වීමට තැත්කරන්නේ නම් එය හෘද සාක්ෂියට භාරදිය යුතු කරුණකි. මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමේදී මෙයට පෙර ලිපියේ අප දැක්වූ දෙමළ ත්‍රස්තවාදයත් එහි ව්‍යාප්තියත් පිළිබඳ කතෝලික පල්ලියේ දායකත්වයත් අනුග්‍රහයත් පිළිබඳ සඳහන් කර ඇති බැවින් නැවත සටහන් නොකරමු. එසේ හෙයින් අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ පදනම් විරහිතව සිංහල බෞද්ධයින්ට අපහාසවන ආකාරයට අන්තවාදින්, ජාතිවාදින් , ආගම්වාදින් ලෙස අනියත චෝදනා එල්ල නොකරන ලෙසය. අප උත්සාහ කරන්නේ අපේ නැතිවෙන අයිතිය රැක ගැනීමට මිස අනෙක් ආගම් නැති කරලිමට නොවන බව මතක් කර දිය යුතුය.

යුද්ධයෙන් පසු දෙමළෑ ජන කොටස නැවත ප්‍රධාන ප්‍රවාහයට ඇතුළු කර ගැනීමට හැකිවීම සඳහා ඒ අය අතර ඇති යුද්ධයෙන් පසුව ඇති ආතතිය දුරු කිරීමට ධෛර්යවත් දේශපාලනික විසඳුමක් වෙත යොමු විය යුතු බව ඔබතුමන් විසින් අවධාරණය කළ බව ඥානාර්ථ ප්‍රදීපය දක්වා ඇත. සමහරුන් දේශපාලන විසඳුම යැයි සඳහන් කරන්නේ යුද්ධයෙන් ලබා ගත නොහැකි වූ බලය දේශපාලනය නැමැති බන්දේසිය මත තබා ලබා දීමක් ද යන්න සැක හැර දැන ගත යුතුය.

දෙමළ වීම නිසා මේ රටේ කිසිවෙකුට වූ අසාධාරණයක් නම් අපි නොදනිමු. එහෙත් සිංහල වීම නිසා සිංහලයන්ගේ රටේම සිංහලයන්ට සිදුව ඇති අසාධාරණෑය පිළිබ්ඳව කිසිවෙක් කතා නොකරයි. අප කවුරුත් දන්නා පරිදි දෙමළ ජනතාවට රටේ (විශේෂයෙන්ම දකුණේ) ඕනෑම ස්ථානයක පදිංචි වීමට ඇති හැකියාව තිබුනද සිංහලයන්ට උතුරේ පදිංචි වීමේ අයිතිය නැති බව සැවොම දන්නා කාරණයකි. ඔබතුමන් උගත් පාඩම් කොමිෂන් සභාව හමුවේ ඊනියා ජාත්‍යන්තරය සහ දෙමළ බෙදුම්වාදීන් සැනසීමටදෝ පවසා සිටියේ සිංහලයන් උතුරේ පදිංචි නොකළ යුතු බවකි. රට සැමගේම නම් සිංහලයන්ට උතුර අකැප වන්නේ කුමන පදනමක් මතද යන්න තේරුම් ගත නොහැකි ගැටළුවකි.

අවසාන වශයෙන් ඔබගේ ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ හොඳ හිත දිනා ඔවුන් විදේශීය කුමන්ත්‍රණ වලින් මුදවා ගැනීම අප කළ යුතු ප්‍රධානතාම් දෙයක් බවයි. ඔබතුමන් කුමක් කීවත් නැවතත් අප අවධාරණයෙන් හා වගකීමෙන් යුතුව කියා සිටින්නේ විදේශීය පමණක් නොව දේශීය කතෝලික පල්ලිය ප්‍රමුඛ ක්‍රිස්තියානි පල්ලිවලට අවශ්‍යව ඇත්තේ මෙරට බෙදා උතුරේ ඊලම නමින් වෙනම ක්‍රිස්තියානි රටක් බිහි වනවා දැකීමය. ඒ මන්ද යන්න ප්‍රථමයෙන් ඔබ වෙත ලැබීමට සැලැස්වූ ලිපියේද සඳහන් වුවද එහි ඇති වැදගත්කම සලකා නැවතත් මතක් කර සිටිමු.

එම කරුණු සැකෙවින් පෙළ ගස්වනු ලැබුවහොත් මෙසේ වනු ඇත. ඊලමේ නිර්මාතෘවරුන් ද කතෝලික – ක්‍රිස්තියානි පල්ලියයි. එය අතු ගා දමන බව සපත කළෑ අතිගරු ජනාධිපතිතුමන් ජනාධිපතිවරණයට පෙනී සිටින විට පල්ලිය ප්‍රසිද්ධියේ ඔහුට එරෙහි විය. ඔහුගේ ජයග්‍රහණයෙන් පසුව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ආරම්භ කරන විට එයට එරෙහිව පල්ලිය කරනු ලැබුවේ ජනාධිපතිතුමගේ කකුලෙන් ඇදීමය. ජාත්‍යන්තරය පුරා ප්‍රචාරය කරනු ලැබුවේ යුද්ධයේ දී විනාශ  කරනු ලබන්නේ පල්ලි බවය. තවත් පැහැදිලිව කියනවා නම් ගුවනින් බෝම්බ දමන්නේ පල්ලි ඉලක්ක කරගෙන බවය. යුද්ධය යන අතරතුර එයට එරෙහිව ත්‍රස්තවාදින්ට සක්‍රීය දායකත්වයක් ලබා දුන් සියළු රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන සියල්ලම පල්ලිවලට අනුබද්ධ හෝ පල්ලි සමග සම්බන්ධතා ඇති ඒවාය. අපට එරෙහිව ලෝකය වටා පච ප්‍රචාර ගෙන ගිය ඊනියා මානුෂික සංවිධාන ද පල්ලියේ උදවියගේය. යුද්ධයට එරෙහි සාම පෙළපාලි ගියවුන් අතර සිටි බහුතරයක් මෙහෙයවූයේ පල්ලියයි. අපේ රටේ යුද්ධය නවතාලීමට කටයුතු කළ සියළු රටවල් කතෝලික හෝ ක්‍රිස්තියානි රටවල් වෙයි. අදද යුද්ධයේදී රටක් විදියට අප ලත් ජයග්‍රහණෑය දරා ගත නොහැකිව යුධ අධිකරණෑයට ගෙන යාමට කටයුතු කරන්නන් නියෝජනය කරන්නේ ද කතෝලික – ක්‍රිස්තියානි පල්ලියි. එමපණකින් නොනැවතී රට වෙනුවෙන් පෙනී සිටින භුමියේ සැබෑ උරුමක්කාරයන්ට අන්තවාදීන් , ජාතිවාදීන් , ආගම්වාදීන් කියන්නේ කතෝලික ක්‍රිස්තියානි නායකකාරකාදීන්ය. එහෙත් එම පල්ලිවලය අනූව ලෝකයේ සිටි දරුණුම ත්‍රස්තවාදියා වන ප්‍රභාකරන් යනු මහත්මයෙකි, මානව හිතවාදියෙකි.

මෙ සාකච්ඡා කළ කරුණු ඉතිහාසයට එක්වී හමාරය. දැන් අප සූදානම් විය යුත්තේ අනාගතය යහපත් කර ගැනීමටයි. එහිදි කතෝලික පල්ලිය ප්‍රමුඛ අනෙකුත් පල්ලි වලට ද රටට ආදරයක් ඇත්නම් කළ හැකි වැඩ කොටසක් තවමත් ඉටු කිරීමට ඉඩ ඇත. එනම් මනා ජාලගතව ඇති ආගමික සංවිධානයක් වන ඔබතුමන්ලාගේ ආගමික සංස්ථා මගින් රටටත් අතිගරු ජනාදිපතිවරයාටත්, ආරක්ෂක ලේකම්වරයාටත් එරෙහිව ගෙන යන ගොතන ලද ප්‍රචාරයන්ට එරෙහිව අදාල අංශ දැනුවත් කිරීමයි. ඒ මන්දයත් මේ සියළු අභූත චෝදනා ඉදිරිපත් කර ඇත්තේ කතෝලික ක්‍රිස්තියානි රටවල් වීමයි. එසේත් නැත්නම් කතෝලික ක්‍රිස්තියානි සංවිධාන හෝ පුද්ගලයින් මඟිනුයි. එබැවින් ඔබතුමන්ගේ නිල බලය ද භාවිතා කර රටේ නමත් අපේ නායකයනුත් රැක ගැනිමට කටයුතු කරන ලෙස නැවතත් ඉල්ලා සිටිමු. තවද , අපගේ පෙර ලිපියෙන් සඳහන් කරන ලද ආගමකින් ආගමකට මාරු කිරීමේ පනත කඩාකප්පල් වීම පිළිබඳව සඳහන් කර තිබිණ. එහි වැඩගත්කම වැටහි ඇති බව ඔබතුමන් දිවයින පුවත්පතට ලබා දී ඇති ප්‍රකාශයෙන්ම තහවුරු වනවා ඇත. එම පනත සම්මත කර ගැනීමට හැකි වූවා නම් එය බෞද්ධයන්ට පමණක් බලපාන නොව සෑඅ ආගමිකයන්ටම තම ආගම රැක ගැනීමට සාධාරණ වන සර්වසම පනතකි. එහි සඳහම් වනුයේ ආගමකින් තව ආගමකට සදාචාර නොවන ලෙස බඳවාගන්නවුන්ට ක්‍රියාත්මක කරවන නීති කෘතිය පිළිබඳවයි. එහෙත් අවාසනාවකට එම පනත කඩාකප්පල් කිරීමට මූලික වූයේ කතෝලික පල්ලිය ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි පල්ලියි. පනත සෑදීමේදී එයට සහයෝගය දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආසන්න මොහොතේ එයින් ඉවත්වී මහපාරේ අත්වැල් බැඳ ගැනීමේ ප්‍රතිපල අද කතෝලික පල්ලියටද බලපා ඇති බව පැහැදිලිය. ප්‍රමාද වී හෝ එහි අවැසිතාවය ඔබතුමන්ලාට එහි සිහිවීම අපේ ව්‍යවාහාරයේ විධියට ආඳා යන්නය යවා වළපත අල්ලන්නා වැනි ක්‍රියාවකි. එහෙත් මෙම පනත නැවත ගෙන ඒම හෝ වෙනත් ආකාරයකට නීතියක් ගෙනවිත් මූලධර්ම්වාදීන් පාලනය කළ යුතු බව අපද අවධාරණය කරමු.

එසේ වුවද අපට සැකයක් ඇති වන්නේ කඩිමුඩියේම මතක් වු ඇමෙරිකානු ක්‍රිස්තියානි පල්ලි ඉවත් කිරීම පිටුපස ඇති අදිසි හස්තය කුමක් ද යන්නයි. මන්දයත් ඔබතුමන්ලා මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉහත සඳහන් පනත ඉදිරිපත් කිරීමට එරෙහිව අත්වැල් බැඳ ගත්තේ මූලධර්මවාදීන් මගත් එයට අමතරව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත් සමඟ වීමයි. 2004 වසරේදී එම පනත ඉදිරිපත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළ ප්‍රධාන පාර්ශවයක් වන්නේ රෝමානු කතෝලික පල්ලියයි. එකල ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එම පනත ගෙන ඒම වැළැක්වීම සඳහා විශාල කාර්යයභාරයක් කළ බව සැවොම දන්නා කරුණකි. ඔබතුමන් කියන ලෙස ඇමෙරිකානු ක්‍රිස්තියානි සංවිධාන ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි නම් එයට සෘජුව එරෙහි වීමේ හැකියාව කතෝලික පල්ලියට ඇත. එසේ තිබියදී රජය මඟින් එය කර දෙන ලෙස ඉල්ලා සිටින්නේ රජය තව ආකාරයකට ඇමෙරිකානු රාජ්‍යත් සමඟ පැටලවීමකටද යන අවිශ්වාසය අපට ඇත. එසේත් නැත්නම් අද කතෝලික පල්ලියේ භූමිකාව පිළිබඳ බෞද්ධ මෙන්ම දේශහිතෛශී කතෝලික ජනතාව තුල ඇති අප්‍රසාදය මඟ හැර යෑමට ගත් තාවකාලික උපක්‍රමයක් බවය.

එදා ඔබතුමන්ලා එම පනතට විරුද්ධ වුයේ එයින් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් නොරැකුනාට අපට කම් නැත යන අර්ථයෙන් බව දැන් අපට පැහැදිලි වී ඇත. තමන්ට අවාසියක් වන විට පමණක් කථා කිරීම කතෝලික පල්ලිය හඳුන්වාදුන් අන්තර් ආගමික සංවාදයටත් එයින් බිහි කරන ලද සර්වාගම් සංකල්පයටත් කොතරම් ගැලපෙනවාද යන්න අපට වටහාගත හැක. මූලධර්මවාදීන් පමණක් නොව ඔබගේ පල්ලියට ද අවශ්‍යෑව ඇත්තේ අප රට පමණක් නොව සමස්ථ ආසියාවම දේව රාජ්‍යයජ් වෙත ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත් කිරීමයි. එය සනාථ වන්නේ 1999 දි පාප්තුමක් ඉන්දියානු සංචාරයේදී වසර 2000න් ඇරඹෙන තෙවැනි සහශ්‍රකය ආසියාවෙ අස්වැන්න නෙලා ගැනීමේ දශකය ලෙස හඳුන්වා දිමයි. එනම් පළවෙනි සහශ්‍රකය යුරෝපයේත් , දෙවන සහශ්‍රකය ඇමෙරිකානු සහ අප්‍රිකානු මහද්වීප තුලත් කඩුවෙන් තුවක්කුවෙන් කරන ලද ක්‍රිස්තියානි ආගම් ප්‍රචාරයට මානුෂික මුහුණුවරක් දී සහජීවනය, සාමය වචන වලින් සරසා ඇති තෙවැනි සහස්‍රකයේද ආසියාව ක්‍රිස්තියානිය වපරා දේව රාජ්‍යයජ් ඇති කරලීමටයි. එය අසත්‍ය කරුණක් වන්නේ නම් සාක්ෂි ඇතුව ඔප්පු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

තවද කිව යුතු කරුණක් වන්නේ සහජීවනයට මුවා වී අප මහත් ගෞරවයෙන් භාවිතා කරන බෞද්ධයන් පමණක් භාවිතා කරන ආගමික වචන කෙළෙසීමයි. ඔනෑම භාෂාවක වචන සෑම අයෙකුටම  භාවිතා කළ හැකි මෙවලමක් බව සත්‍යයකි. එහෙත් සහජීවනය අගය කරන එය ගැන නිතර නිතර ජප කරන ඔබගේ පල්ලිය බෞද්ධයන් තම ආගම වෙනුවෙන් භාවිතා කරන නාහිමි , අනුනාහිමි , සඳහම් , සංඝ, බෝධි , ලංකාරාමය , ධාතු වැනි වචන බුදු දහමට කිසිදු සම්බන්ධයක් නැතිව භාවිතා කිරීම මඟින් බෞද්ධයන් තුල ඇති වන්නේ කණගාටුවකි. ඔබගේ ආගමේ ද ඒ සඳහා මෙතෙක් භාවිතා කරමින් තිබුන වචන යල්පැන ගොස් ද ? එසේත් නැත්නම් වෙන  යටි අරමුණක්ද ?

මෙවර ඥානාර්ථ ප්‍රදිපයේ එක් ප්‍රවෘත්තියක් වුයේ “සා. දොන් බොස්කෝ මුනිඳුන්ගේ ශුද්ධවූ ධාතු සිරිලකට වැඩම කරයි” යන්නයි. ධාතු යන වචනය බොදුනු අප භාවිතා කරන්නේ මහත් ගෞරවයෙන්ය. එය භාවිතාඅ කළ හැක්කේ බුදු රජාණන් වහන්සේගේ සහ සියළු කෙළෙසුන් ප්‍රහීන කළ මහ රහතන් වහන්සේලාට පමණමයි. ගුණසේන මහා සිංහල ශබ්ද කෝෂයේ ධාතු යන වචනයේ අර්ථය දක්වා ඇත්තේ බුද්ධ ආදි උත්තමයන්ගේ ශරීරයෙන් ඉතිරිවූ කොටස, පාරිභෝගික/උද්දේශිල පූජනීය වස්තුව යනුවෙනි. එම අර්ථ දැක්වීම අනූව පැහැදිලි කරුණක් නම් ධාතු යන වචනය භාවිතා කරන්නේ බුදු පසේ බුදු මහ රහත් යන බුද්ධාදි උත්තමයන්ට පමණක් වන බවයි. අපේ රටේ හෝ වෙනත් රටක වැඩ සිටි සංඝරාජවරයෙකුට හො දුටුගැමුණු වැනි ශ්‍රේෂ්ඨ නිරිදේකුගේ ශරීරයේ ශේෂව ඇති කොටස් වලට පවා මෙම ධාතු යන වචනය භාවිතා නොකරයි. එවැනි අය ආදාහනය කළ විට ඉතිරි වන කොටස් වලට භාවිතා කරන්නේ භෂමාවශේෂ යන වචනයයි. යමෙකුට ඉංග්‍රීසියේ ඇති relic යන වචනයට ඇති අර්ථය ධාතු යන්න බවට තර්ක කළ හැක. එහෙත් එය එසේ නොවන්නේ එම වචනයට සිංහල භාෂාවේ ඇති  පර්යාය පද අවැසි තරම් ඇති බැවිනි. නැතිනම් තනා ගත හැක. එබැවින් අප කාරුණිකව ඔබතුමන් වෙත දන්වා සිටින්නේ ඊනියා දේශීයකරණයේ නාමයෙන් බෞද්ධයන්ගේ සිත් නොරිදවන ලෙසය. බෞද්ධයන් මහත් ගෞරවයෙන් භාවිතා කරන වචන නොකෙළෙසන ලෙසය. නියම ආගමික සහජිවනය යන අර්ථය අනෙක් ආගම් කෙරෙහි එකිනෙකා දක්වන ගෞරවයයි.

අවසාන වශයෙන් අප කිව යුතු වන්නේ සංවාදයක් තුළින් යම් අපගමනයක් හෝ වැරදි ආකල්පයක් අප අතර ඇත්නම් එය නිවැරදි කර ගත හැකි බවයි. නුතන රෝමානු කතෝලික පල්ලිය සංවාදයට ඉතා ඉහල තැනක් ලබා දෙන බව දෙවන වතිකානු සභා කතිකාව අනූව පැහැදිලි වේ. එබැවින් එය ආදර්ශමත් කරමින් මෙම ලිපියටත් මෙයට පෙඅ අප පැමිණ භාරදුන් ලිපියටත් පිළිතුරු ලබා දීමට කාරුණික වේ යැයි සිතමු. එසේ නොමැතිව අන්තවාදීල් ලෙස හැඳින්වීම නුසුදුසු බව මතක් කර සිටිමු. අපට අවශ්‍ය වන්නේ ගැටුම් නොව සංවාදයයි. එහෙත් ඔබතුමන්ගේ පුව්ත්පත අප ලිපිය භාර දීමට පැමිණ ඝෝෂා කළෑ බව වාර්තා කර ඇත. එය අසත්‍යයක් බව පැහැදිලිව කිව යුතුය. එදින ඒ සඳහා සහභාගී වුයේ අප සංවිධානය නියෝජනය කරමින් මහා සංඝරත්නය සත්නමක් හා ගිහි පුද්ගලයන් තිදෙනෙකි. එබැවින් එවැනි සුළු පිරිසකට කරන්න පුළුවන් ඝෝෂාවක් නොමැත. මෙවැනි අසත්‍ය තොරතුරු පළ කිරීමෙන් ඇති වන්නේ සහජීවනයක් නොව විරසකයකි. ඔබතුමන් කෙසේ වෙතත් අප එම පදනම් විරහිත ප්‍රවෘත්තිය අමතක කර දමා සංවාදයක් තුළින් අප අතර එකිනෙකා පිළිබඳ අනවබෝධයක් ඇත්නම් එය මඟහරවා ගැනීමට මෙම ලිපි උපයෝගි වේ යැයි සිතමු.