සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

Spread the News

සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

source:

සිවුර පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් ඉකුත් 30වැනිදා සවස ප‍්‍රදේශවාසී මහ සඟරුවන ප‍්‍රමුඛ ජනතාව විසින් අල්වා කොටහේන පොලිසියට බාරදෙන ලදී. ශ‍්‍රමණ වේශධාරි පුද්ගලයකු ද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙක් කඨින පින්කම් සඳහා යැයි කියමින් ටිකට් පත් විකුණමින් සිටින අවස්ථාවේ දී මෙසේ ග‍්‍රහණයට නතුවී ඇත.

කලක් පටන් අදාළ කල්ලිය ව්‍යාජ ලිපිලේඛණ මෙන්ම, ව්‍යාජ රබර් සීල්ද සකසා ජාවාරමෙහි යෙදී ඇති බව හෙළිදරව් විය. පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකයට පැවරීමට පළාතේ මහා සංඝරත්නය පියවර ගත් අතර ඒ අනුව පෙරේදා රාත‍්‍රියේදීම පැය තුනක් වැනි කෙටිකාලයක් ඇතුළත බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයක දී මේ කල්ලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය විය.

මේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන ශ‍්‍රමණ වේශධාරියා සම්බන්ධයෙන් බොදු බල සේනාවේ විශේෂ අවධානය යොමුවිය. ඔහුගේ සම්පූර්ණ නම වශයෙන් සඳහන්ව ඇත්තේ පූජ්‍ය පිටකෝට්ටේ ආනන්ද හිමි යනුවෙනි. 1959 පෙබරවාරි 15 වැනි දින උපත ලබා ඇති ඔහුගේ ගිහි නම ගංගොඩවිල ශාන්ත දාබරේය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තිය අනුව කළ යුතු සාමනේර භික්ෂු පිළිබඳ ප‍්‍රකාශය යටතේ 79686 අංකයට ලියා පදිංචිය ද ලබා ඇත. 2005.07.06 වැනි දින කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 177/19, විවේකාරාමාධිපති පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් වෙතින් පැවිද්ද ලබා තිබේ. මූලික වශයෙන් මේ තැනැත්තා පිළිබඳව ලබාගෙන ඇති තොරතුරු එසේය.

මේ පුද්ගලයා විසින් හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරනු ලැබ ඇත. එවාට අනුව 590463515v දරන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ 117/19 විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ලිපිනයෙන් 2012.07.06 වැනි දින ශ්‍රී ලංකාවේ පුරවැසියකු වශයෙන් ලියාපදිංචි වී ඇත.

උපන් ස්ථානය කොළඹ ය. එහෙත් එම ජාතික හැඳුනුම්පත් අංකය යටතේම 41811, සංචාරක බෞද්ධ සංවිධානය බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරණ ලිපිනයෙන් 2003.09.09 වැනි දින මීට පෙර වතාවක ද ලියාපදිංචි වී තිබේ. එහි උපන් ස්ථානය කෝට්ටේය. තත්ත්වය කෙසේ වෙතත් මේ පුද්ගලයා මහණකොට ඇතැයි සැලකෙන්නේ 2005.07.06 වැනි දිනය.

තමාගේ මෙම ව්‍යාජ හැඳුනුම්පත්වලට අමතරව මොහු සතුව මහාචාර්ය මැදගම නන්දවංශ හිමිගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. 482452060v දරන එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2006.07.14 වැනි දිනය. මහාචාර්ය, විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විද්‍යාලය, අංක 58, විපුලසේන මාවත, කොළඹ 10 යනුවෙන් එහි සඳහන් වෙයි.

මහාචාර්ය මැදගම නන්දවංශ හිමියන්ගේ මුහුණුවර මේ ශ‍්‍රමන වේශධාරී පුද්ගලයාගේ මුහුණුවරටම සමාන වන අතර එය කෙසේ හෝ සොරකම් කර එහි සිටින මහාචාර්ය හිමි තමා බව කියමින් මොහු ආධාර එකතු කිරීමේ කටයුත්තේ නියැළී ඇත. මහාචාර්ය මැදගම නන්දවංශ හිමි තම හැඳුනුම්පත නැති වුණු බව මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පිටකෝට්ටේ ආනන්ද හිමි නමින් පෙනී සිටි මොහු ලිපිනය පහක් භාවිත කරමින් මුදල් ගැරීමේ කටයුතු කරගෙන ගොස් ඇත. කොළඹ 07, කොළඹ 10, මිනුවන්ගොඩ, අනුරාධපුරය, කෙසෙල්වත්ත යන ප‍්‍රදේශයන්ට අදාළ ලිපින පහක් ඔහු මේ සඳහා භාවිත කර ඇත.

මිනුවන්ගොඩ අලූතෑපොල ආනන්දාරාමය නමින් හැඳින්වෙන විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකෙරෙන භික්ෂු ගිලානෝපස්ථාන දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා යැයි කියමින් රුපියල් 100, 200, 500, 1000, 2000, 5000 ටිකට්පත් මුද්‍රණය කර මොහු විශාල ආදායමක් උපයා ඇති අතර ඊට අමතරව සැලකිය යුතු මුදල් ප‍්‍රමාණයක් මූල්‍යාධාර වශයෙන් ද ලබා ඇත.

එමෙන්ම දඹදිව වන්දනාව සඳහා භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් වැඩමවීමට බලාපොරොත්තු වීම, අතීත බාරානාසිය නමින් පොතක් මුද්‍රණය කිරීම සඳහා යැයිද කියමින් මුදල් එකතු කර ඇති මොහු දැන් පවසන්නේ එම මුදල් සියල්ල තමාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් විසින් ලබා ගනු ලැබූ බවකි.

කෙසේ වෙතත් මොහු 2007 අගෝස්තු 03 වැනි දිනැති දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් බැංකු ඒකකයේ රුපියල් හත්ලක්ෂ අසූ පන්දහසක මුදලක් තැන්පත් කර ඇත. ඒ සඳහා එම බැංකුව විසින් අංක 2/0901/16/04816 දරන පාස්පොත තැපැල් කාර්යාලයෙන් නිකුත් කරනු ලැබ ඇත.

මේ ශ‍්‍රමන වේශධාරියාට එරෙහිව ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අලූත්කඬේ අංක 02 අධිකරණයේ නඩු අංක බී/47351/2/2007 දරණ නඩුව ගොනු කර තියෙනවා. එම නඩු වාර්තාවට අනුවත් මොහු විසින් ව්‍යාජ ලේඛන භාවිත කර හා ටිකට්පත් මුද්‍රණය කර විකුණා තිබෙනවා. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 454, 457, 459, 462, 403 හා 290 යන වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් ද එහි සඳහන් වෙනවා.

ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර විමර්ශන කටයුතු අවසන් කරන තෙක් මොහු 2007.07.24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. මෙලෙස වැරදිකරුවකු වූවකුට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි සහතිකයක් නිකුත් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් විනයට අනුව එවැන්නෙක් පැවිදි කරන්නෙ නෑ.

එසේම මොහු තම හැඳුනුම්පත් ලබාගැනීමේදීත් විශාල වංචා රැසක් කරලා තියෙනවා. ඒ වගේම 2009.09.16 වැනිදා අධිකරණ මනෝ වෛද්‍ය ඒකකය මගින්ද 2004.10.08 වැනි දින සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පෞද්ගලික වෛද්‍ය සහතිකයක් මගින්ද මොහු බරපතල මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට නිගමන ඉදිරිපත් කර තිබෙනවා.

”අදාළ රෝගය වැඩිවුණොත් මේ සැකකරුගේ ලිංගික ආශා වැඩිවන බවත් ඒ වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වෙනවා. ඒත් අපට ගැටලූවක් තියෙනවා ඒ වගේ මානසික රෝගියකුට මේ වගේ ව්‍යාජ අන්දමින් හැඳුනුම්පත් සකස් කර ගනිමින් සූක්ෂමව හා සංවිධානාත්මකව මුදල් ගැරීම කළ හැකිද කියලා.

අපට පැහැදිලි වෙන්නේ මේ වෛද්‍ය සහතික ලබාගැනීම මොහු දුරාචාරයේ නියැලීමටත් නීතියේ රැහැනින් මිදී යාමටත් අතකොළුවක් කරගෙන ඇති බවයි.

කොහොම වුණත් මෙවැන්නෙකුට ලියාපදිංචි සහතික නිකුත් කළ බලධරයා කවුද කියලා විශාල ගැටලූවක්. මේ ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සියලූ තොරතුරු විමර්ශනය කොට කඩිනමින් විධිමත් වාර්තාවක් සපයන ලෙසත්, මොවුන් සියලූ දෙනාටම එරෙහිව කඩිනම් නීතිමය පියවරක් අනුගමනය කරන ලෙසත් බොදු බල සේනා ජාලය වගකිවයුතු බලධාරීන් වෙත අවධාරණය කරනවා.”

ඒ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිකළ සඳහන් කිරීමයි.

සටහන: සංජීවිකා සමරතුංග