Spread the News

රතන හිමිට කරදරයක්‌ වුණොත්
රජය වගකීම භාරගත යුතුයි
– ජාතික හෙළ උරුමය

සිරිමන්ත රත්නසේකර

අතුරලියේ රතන හිමියන්ට යම් තර්ජනයක්‌ හෝ ජීවිත හානියක්‌ සිදුවුවහොත් එහි පූර්ණ වගකීම වත්මන් රජය විසින් භාරගත යුතු බව ජාතික හෙළ උරුමය කියයි.

එවන් තත්ත්වයක්‌ ඇති නොවන පරිදි කටයුතු කිරීම රජයේ වගකීම බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩ වාසය කරන රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය අල්ලා ගැනීමට රජය පහත් නින්දිත උත්සාහයක්‌ ගන්නවා. පිළිකුලෙන් යුතුව අප එය තරයේ හෙළා දකිනවා යෑයිද ඔහු කීවේය.

ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන්ගේ අනුදැනුම මත කෝට්‌ටේ නගරාධිපතිවරයා ඔහුගේ හෙංචයියන් යොදවාගෙන ඔබේසේකරපුර අවට සහ රාජගිරිය ප්‍රදේශයේ පැල්පත්වාසීන් උසිගන්වමින් මෙම පහත් කටයුත්ත සිදුකිරීමේ නින්දිත උත්සාහයක නිරතවී සිටිනවා යෑයි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

අතුරලියේ රතන හිමියන් සමග වෛරයෙන් ක්‍රෝධයෙන් ක්‍රියාකරන ඇතැම් දේශපාලනඥයින්ගේ මෙම පහත් උත්සාහය සඟ සතු දේපළක්‌ බලෙන් අත්පත් කර ගැනීම බවද හෙතෙම කියා සිටියේය.