Spread the News
Mahinda Jayasinghe

මොඩියුල හැදුවේ නිලධාරින්… වැරදිවලට අගමැති හෝ ආණ්ඩුව වගකියන්න ඕන නෑ..
මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කීම සත්‍යක් ද?

ආරියතිලක
2026.01.28

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ මොඩියුල සැකසීම අධ්‍යාපන අමාත්‍යවරයා හෝ රජය විසින් සිදුකරන්නක් නොව, අදාළ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් විසින් සිදුකරන්නක් බව, මහින්ද ජයසිංහ
නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිරස රූපවාහිනියේ ‘සටන’ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.

එම මොඩියුලයන්හි අන්තර්ගතයේ නිවැරදිභාවය සහ ප්‍රමිතිය තහවුරු කිරීමේ සම්පූර්ණ වගකීම එම විෂය ප්‍රවීණයන් සතු වන බවත් තාක්ෂණික මට්ටමින් සිදුකෙරෙන මෙම ක්‍රියාවලියේ අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් අධ්‍යාපන අමාත්‍යවරියට, රජයේ අමාත්‍යවරුන්ට හෝ මන්ත්‍රීවරුන්ට භාරගත නොහැකි බවත් තව දුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

විෂය නිර්දේශ සහ ඉගැන්වීම් ක්‍රමවේද සැකසීම ශාස්ත්‍රීය කාර්යයක් බව හා දේශපාලන අධිකාරියට එහි සෘජු මැදිහත්වීමක් සිදුකළ නොහැකි බව ද ඔහුගේ අදහස විය.

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටහැනි මෙන් ම ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය හෑල්ලු කිරීමක් බව ද කිව යුතු ය. මෙම ප්‍රකශ අතිශයින් ම පුදුම සහගත ය. අප එසේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ය.

රටේ පාලන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ මත පවතී. විධායකය ඇතුලු සියලු පාලන ඒකක, ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට වගකීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී ඇත්තේ ය.

ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ භාරකාරිත්වය, ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය සතු ය. එසේ ම ඒ
පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ භාරකාරිත්වය පිළිබඳව
ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කිව යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව හා 43 වන ව්‍යවස්ථාවේ (1), (2), (3) යන අනුව්‍යවස්ථා වලින් ව්‍යවස්ථාපිත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාවෙහි.

“42. ව්‍යවස්ථාව
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බව;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් තත්කාලයේ පවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද, ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.”

යනුවෙන් ව්‍යවස්ථාපිත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වන ව්‍යවස්ථාවෙහි මෙසේ ව්‍යවස්ථාපිත ය. එනම්:-

“43. ව්‍යවස්ථාව
අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය:

(1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.

(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටින්නේ ය.

(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානයා ද වන්නේ ය.

එසේ වුව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිරී ගිය ද ජනාධ්පතිවරයා තව දුරටත් තම ධූරය දරන්නේ ය. “

(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන හා 43 වන ව්‍යවස්ථා ප්‍රකාරව, ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙය වීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ භාරකාරිත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට වගකීමට පිළිතුරු දීමට බැදී ඇත්තේ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ය. රජයේ ආණ්ඩුවේ පරිපාලන නිලධාරීන් නො වන බව හෙවත් රාජ්‍ය නිලධාරීන් නො වන බව ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 42 වන හා 43 වන ව්‍යවස්ථා ප්‍රකාරව පැහැදිලි ය.

ජනාධිපතිවරයා විසින් කරන ලද ධූරප්ප්‍රාප්ත අග්‍රාමාත්‍යවරයා යම් අමාත්‍ය ධූරයක් දරන්නේ ද එම අමාත්‍ය ධූරයේ ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටු කිරීම සම්බන්ධව, එම අමාත්‍ය ධූරය සහිත අමාත්‍ය මණ්ඩලය, සාමූහිකව පාර්ලිමේන්‍තුවට වගකීමට හා පිළිතුරු දීමට බැදී සිටිත්.

වගකීම අමාත්‍යංශ නිලධාරීන් පිට හෝ කර්තව්‍ය කළ නිලධාරීන් පිට දමා අමාත්‍යවරයාට බැහැර වීමට කිසිදු හැකියාවක් නැත්තේ ය.

අමාත්‍ය මණ්ඩලයේ නො වන සෑම අමාත්‍යවරයෙක් ම ද අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට වගකීමට හා උත්තර දීමට බැදී සිටීම;

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 (1) ව්‍යස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන, අමාත්‍ය මණ්ඩලයේ නො වන සෑම අමාත්‍යවරයෙක් ම ද අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට වගකීමට හා උත්තර දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වන ව්‍යවස්ථාවේ (4) වන අනුව්‍යවස්ථාව යටතේ බැදී සිටින්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(4) වන ව්‍යවස්ථාව නම්:-

“45(4). (1) වන අනුව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන සෑම අමාත්‍යවරයෙක් ම
අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකීමට සහ උත්තර දීමට බැදී සිටින්නේ ය.”

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව
ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ද අමාත්‍ය මණ්ඩලයේ නො වන අමාත්‍යවරු ද පාර්ලිමේන්තුවට වගකීමට සහ පිළිතුරු දීමට බැදී සිටී.

එසේ ම එම වගකීම සහ උත්තර දීමට බැදී සිටීම කිසිදු ලෙසකින් පාර්ලිමේන්තුව විසින් බැහැර නො කරන බව හා එසේ බැහැර කිරීමට අයිතියක් පාර්ලිමේන්‍තුව නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76(1) ව්‍යවස්ථාවෙන් කියා සිටී. එම 76(1) ව්‍යවස්ථාව පහත පරිදි ය.

“76.(1) ව්‍යවස්ථාව:
ව්‍යවස්ථා දායක බලය පවරා දීම.

පාර්ලිමේන්තුව විසින් පර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නො හළ යුත්තේ ය. කිසිම ආකාරයකින් අන් සතු නොකළ යුත්තේ ය. කවර වූ හෝ ව්‍යවස්ථාදයක බලයක් ඇති කිසිදු අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නො පිහිටවිය යුත්තේ ය.”

ජනතාවගේ පරමාධිපත්‍ය බලය තහවුරුකොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකශ අනනුකූල ද නැද්ද යන්න අප දක්වූ කරුණු සංසන්දනය කොට බැලිය හැකි වෙනවා ඇත. ජනතා පරමාධිපත්‍යයේ බලය හමුවෙහි හිස් ප්‍රලාපවලට පැවැත්මක් නැති බව ද අවධාරණය කරමු.

Protected by Security by CleanTalk