IMAGE BY ambuluwawa.com
Spread the News

අම්බුලුවාව භාර අරමුදල් පනත, මෙරට ඉතිහාසයේ
අරුම පුදුම! පැනවීමක් නො වන්නේ ද්?

ආරියතිලක
2026.06.14

2009 අංක 44 දරන අම්බුලුවාව භාර අරමුදල් පනතේ කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට සහ පරිපාලන කටයුතු පෞද්ගලික පවුල් පාලනයකට නතු වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනාව සත්‍යාසත්‍යතාව සලකා බැලීම වටී. එම පනත, “අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත” ලෙස
2009 වර්ෂයේ අගෝස්තු මස 21 දින බලාත්මක වී ඇත. මෙම පනත හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා හා ඔහුගේ පවුලේ දරුවන් හෝ පවුලේ ඥාතීන් ප්‍රධාන කොට පවතින බව, මෙම පනත අධ්‍යනය කිරීමෙන් පැහැදිලි ලෙස පෙනී යයි. කිසිදු ලෙසකින් පනත ප්‍රකාර ව දි.මු ජයරත්න හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දරුවන් හැර හෝ, එම පවුලේ වැඩිමහල් පිරිමි ඥාතීන්ගෙන් හැර, වෙනත් කිසිදු අයෙකු මෙම අම්බුලුවාව භාර අරමුදලේ ප්‍රධානියා ලෙස පත් විය නො හැක්කේ ය. අරමුදලේ භාරකාර මණ්ඩලයේ සමාජිකයන්ගෙන්, නිර්මාතෘවරයා විසින් පත් කළ යුතු සාමාජිකයන් 7 දෙනා, දි.මු.ජයරත්න මහතාගේ පිරිමි ඥාතීන්ගේ අනුදැනුම හා නිර්දේශයෙන් පිටස්තතරව පත් විය නො හැක.

“අම්බුලුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල පනත” යන ලුහුඬු නාමය දරණ මෙම පනතෙන් ඇති කරනු ලබන අරමුදල, පනතෙහි 2 වන වගන්තියේ 2 වන අනු වගන්‍තිය අනුව සංස්ථාවක් බව කියා ඇත. මෙම අරමුදලේ පරිපාලනය, කළමනාකරණය, පාලනය පනතෙහි 3 වන වගන්තියෙන් භාරකාර මණ්ඩලයකට පවරා තිබේ. එකී භාරකාර මණ්ලයට පනතෙහි 3 වන වගන්තියේ 2 අනුවගන්තියෙන් නිර්මාතෘවරයා ඇතුලු සමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත විය යුතු බව පනවා ඇත්තේ ය. පනතෙහි 3 වන වගන්තියේ 3 වන උපවගන්තියෙන්, නිර්මාතෘවරයා භරකාර මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු බව නිශ්චිතව ම පනවා ඇත. නිර්මාතෘවරයා හෙවත් සභාපතිවරයා මණ්ඩලයේ රැස්වීම්වල මුලසුන දැරිය යුතු බව පනතෙහි 3.(9) වගන්තියෙන් පනවා ඇත.

මෙම අරමුදලේ නිර්මාතෘවරයා කවුද? යන්න පනතෙහි 19 වන වගන්තියෙහි “අර්ථ නිරූපණය” යටතේ “නිර්මාතෘවරයා” අර්ථ නිරූපණය කොට ඇත්තේ “ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න විය යුතු ය.” යනුවෙනි.

නිර්මාතෘවරයා සහිත දස (10) දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයෙහි ඉතිරි සාමාජිකයන් ලෙස,

3.(2) (ආ).පරිසර සහ ස්වාභාවික සම්පත් විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා;

3.(2) (ඇ).බුද්ධ ශාසන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා; සහ,

පනතෙහි 3 (2) හි (ඈ) ඡේදය ප්‍රකාරව නිර්මාතෘවරයාගේ අභිමතයෙන් පත් කරනු ලබන, සාමාජිකයන් සත් දෙනෙකුන් අයත් වේ. අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනා හැරුණු විට, භාරකාර මණ්ඩලයේ පරිපාලනය, කළමනාකරණය, පාලනය නිර්මාතෘවරයා ඇතුලු සාමාජිකයන් අට (8) දෙනෙකු ඔහුගේ අභිමතයට යටත් වේ.

එසේ ම පනතෙහි 3.(8) වගන්තියෙන් නිර්මාතෘවරයා විසින් කවර හෝ වේලාවක පත්කළ සාමාජිකයෙකු හේතු දක්වා ධූරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය.

මේ අනුව භාරකාර මණ්ඩලයේ නිර්මාතෘවරයා හෙවත් සභාපතිවරයාගේ අභිමත බලයට මෙම මෙම අරමුදල පත් වන බව පැහැදිලි ය.

නිර්මාතෘවරයාගේ අනුප්‍රාත්තිය හෙවත් ඊ ලඟ උරුමකරු පත් කිරීම—

නිර්මාතෘවරයාගේ අනුප්‍රාත්තිය හෙවත් ඊ ලඟ උරුම කරුවෙකු පනතෙහි දක්වා ඇත. පනතෙහි
16 වන වගන්තියෙන්, නිර්මාතෘවරයා මියගිය අවස්ථාවකදී, නිර්මාතෘවරයාගේ පුතා වන තැනැත්තා නිර්මාතෘවරයාගේ ධූරයට අනුප්‍රාප්ත විය යුතු අතර, ඉන් පසුව පරම්පරාවෙන් පැවැත එන වැඩිමහල් පිරිමි තැනැත්තකු අනුප්‍රාත්තිකයා විය යුතු බව පනවා ඇත්තේ ය. මෙයට පිටස්තර කිසිවෙකුට මෙම භාරකාර මණ්ඩලයේ නිර්මාතෘවරයාගේ ධූරයට පත් නො විය හැක්කේ ය.. ඒ හේතුවෙන් මණ්ඩලයේ සභාපති ධූරයට ද, හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ඥාති නො වන පිටස්තර අයෙකුට පත් නො විය හැක්කේ ය. පිරිමියෙකුට හැර ස්ත්‍රී පාර්ශවයේ කිසිදු අයෙකුට නිර්මාතෘවරයා ලෙස හා සභාපතිවරයා ලෙස පත් විය නොහැක්කේ ය.

මෙහි විශේෂයෙන් අවධානයට යොමු විය යුතු, 14 වන වගන්තිය අනුව,

අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් දණඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු බව කියා ඇත.

දණඩ නීති සංග්‍රහයේ “රජයේ සේවකයා” පිළිබඳව අර්ථ දී ඇත්තේ 19 වන වගන්තියේ ය. එම 19 වන වගන්තිය, 2021 අංක 5 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතෙහි 11 වෙනි වගන්‍තිය සමඟ කියවිය යුතු ය.

දණ්ඩනීති සංග්‍රහයේ 19 වන වගන්තියට වැටෙන, අම්බුලුවාව භාර අරමුදල පනතෙහි 14 වන වගන්තියෙන් අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් රජයේ සේවකයන් වන බැවින් මෙහි සේවය කරන කිසිවකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමේ හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අසුන් ගැනීමේ සුදුසුකම ද අහෝසි වේ. එපමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිට මෙම භාරකාර අරමුදලේ නිලධරයෙක් හෝ සේවකයකුව සිටීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමේ නුසුසුදුසු කමක් වෙනවා මෙන් ම, එය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි වීමට ද හේතූ ය. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය මත ඇති අග්‍රාමාත්‍ය ධුරය, අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධූර දැරීමට ද හිමිකම අහිමි වනවා ඇත්තේ ය. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවට අනුව ය. විශෙෂයෙන් මෙම භාර අරමුදල පනතෙහි 2 වන වගන්තියේ 2 වන අනු වගන්තිය අනුව සංස්ථාවක බව පනවා තිබීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 (1) ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය ප්‍රකාරව ද සලකා බැලීම ද සුදුසු ය.

දස දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයෙහි [පනතෙහි 3 .(2) (ආ).]පරිසර සහ ස්වාභාවික සම්පත් විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ

[ පනතෙහි3.(2) (ඇ)]බුද්ධ ශාසන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා යන රාජ්‍ය නිළධාරීන්ගේ සේවය සළසන බැවින් ද 14 වන වගන්තිය අනුව, අරමුදලේ සියලු නිලධරයන් සහ සේවකයන් දණඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු බව කියා ඇති බවින් ද මෙම පනතේ 15 වන වගන්තිය ප්‍රකාරව, අරමුදල අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ කර ගත යුතු බව පනවා ඇති බැවින් ද මෙම භරකාර මණ්ඩලයයේ රාජ්‍ය නිළධාරීන් දෙදෙනාට ඉහළින් ඇති ධූරය හා අනෙකුත් සමජික ධූර රාජ්‍ය සේවයට අනුයුත්ත නැතැයි කිව හැකි ද?

මෙම පනත 2009 වර්ෂයේ අගෝස්තු මස 21 දින බලාත්මක වන විට හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා, එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ වැවිලි අමාත්‍යවරයා ය. ඊට පසු අග්‍රාමාත්‍යවරයා වශයෙන්
2010 ජූලි 8 – පත්වන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය. ඔහු 2015 ජනවාරි 8 වන දින දක්වා අග්‍රාමාත්‍ය ධූරයේ සිටියේ ය.

නිර්මාතෘවරයාගේ අනුප්‍රාත්තිය හෙවත් ඊ ලඟ උරුමකරු පත් කිරීමේ දී අධ්‍යාපන සුදුසුකම් හා වයස නිර්දේශ නො කිරීම—-

මෙම පනතෙහි 16 වන වගන්තිය අනුව නිර්මාතෘවරයාගේ අනුප්‍රාත්තිය හෙවත් ඊ ලඟ උරුමකරු පත් කිරීමේදී, නිර්මාතෘවරයා මියගිය අවස්ථාවකදී, නිර්මාතෘවරයාගේ පුතා වන තැනැත්තා නිර්මාතෘවරයාගේ ධූරයට අනුප්‍රාප්ත විය යුතු අතර ඉන් පසුව පරම්පරාවෙන් පැවැත එන වැඩිමහල් පිරිමි තැනැත්තකු අනුප්‍රාත්තිකයා විය යුතු යැයි නීති ගත වී ඇති හෙයින්,හා භාරකාර මණ්ඩලයේ රජයේ අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙකු සිටින බැවින්, මෙම පැනවීමට කිසිදු අධ්‍යාපන සුදුසු කමක් නිර්දේශ කොට නැත; අමාත්‍යංශ ලේකම්වරු යනු රජයේ පරිපාලනය පිළිබඳ උසස් දැනුමක් ඇති, රාජ්‍ය සේවය පිළිබඳ පරිනත පුද්ගලයන් බැවින් ඊට ඉහලින් ඇති මෙම භාරකාර මණ්ඩලයේ නිර්මාතෘවරයා හා සභාපතිවරයාගේ ධූරයට පත් කිරීමේදී අධ්‍යාපන සුදුසු කම් දක්වා නැත්තේ ය. මෙම භාරකාර අරමුදල රාජ්‍ය සේවයට අනුයුක්ත කොට ඇති බැවින් හා සංස්ථාගත බැවින්, එවැනි ආයතනයක ප්‍රධාන තන්තුරට පත් වීමේ දී අධ්‍යාපන සුදුසු කම් නිර්දේශ කර නැත්තේ ය. එසේ ම වයස් සීමාවක් ද පනවා නැත්තේ ය.

භාරකාර මණ්ලයට පනතෙහි 3 වන වගන්තියේ 2 අනුවගන්තිය අනුව නිර්මාතෘවරයා විසින් පත් කළ යුතු අනෙක් සමාජිකයන් 7 දෙනාගේ අධ්‍යපන සුදුසු කම් හා අවම වයස් සීමාව හෝ දක්වා නැත.

පනත ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසි නො වන අයෙකුට හෝ භාරකාර මණ්ඩලයේ නිර්මාතෘවරයා ලෙස හෝ සාමාජිකයෙකු ලෙස හෝ පත් වීමට කිසිදු බාධාවක් නැත්තේ ය.

පනතෙහි 12 වන වගන්තියෙන් ගාස්තු ගෙවීම් වශයෙන් බදු වලින් නිදහස් කොට ඇත්තේ ය.

මෙම පනතෙහි 19 වන වගන්තිය, “අම්බුළුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාර අරමුදල” යන්න අර්ථ නිරූපණය කර ඇත්තේ මෙසේ ය.

“අම්බුළුවාව පරිසර සංවර්ධන සහ සංරක්ෂණ භාර අරමුදල” යන්නෙන් ගරු දිසානායක මුදියන්සේලාගේ ජයරත්න යන අය ද, එහි කළමනාකාර භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් වන තැනැත්තන් සහ ( 88 වන අධිකාරිය වූ) මහාභාරකාර ආඥා පනත යටතේ සංස්ථාපිත මණඩලයක් වූ ශ්‍රී ලංකා මහා භාරකාර මණ්ඩලය අතර 2000 සැප්තැම්බර 1 දින නුවරදී ඇති කර ගත් හා ගිවිස ගත් ප්‍රතිඥා පත්‍රය සහ විශ්වාස භාර ප්‍රකාශය අදහස් වේ.” යනුවෙනි.

Protected by Security by CleanTalk