Spread the News

මතුපිටින් පෙනෙන නීතිමය ක්‍රියාවලීන්ට පිටුපසින් සිට, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය සහ මහජන මතය සූක්ෂ්ම ලෙස මෙහෙයවන පූර්ව සැලසුම්සහගත ව්‍යුහාත්මක ස්ථර තුනක ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජය තුළ පැහැදිලිවම නිරීක්ෂණය කළ හැකියි. දේශීය සංස්කෘතික පදනම් සහ ඓතිහාසික උරුමයන් බාහිර ලිබරල් ප්‍රතිසංස්කරණවලට යටත් කිරීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන මතවාදී බලවේග සහ අරමුදල් සපයන කණ්ඩායම්, විදෙශ්  රටවල් සමුහයක්  හා ඩයස්පොරවකට හිමිකම් නැති තාමට රටක් අහිමිවී නොගිය නමුත් එම වචනය පටලවාගත් පෙර ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්දකම් ඇති පිරිස් සහ බාහිර සහ අභ්‍යන්තර දේශපාලන බලවේග හා එක්ව මෙහෙයවනු ලබන පළමු ස්ථරය (මූල්‍ය සහ සමහර රාජ්‍යතාන්ත්‍රික කළු බලවේග සහිත  සෙවනැල්ල) මෙහි මූලිකම පදනම ලෙස පෙන්වා දීමට හැකියි. ඔවුන් “මානව හිමිකම් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්” පෙරදැරි කරගනිමින්, දේශීය මතවාදයන් ව්‍යුහාත්මකව වෙනස් කිරීමට අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය සහ නෛතික උපදෙස් ඉතාමත් සූක්ෂ්මව දේශීය නියෝජිතයන් වෙත සපයන ආකාරය දෘශ්‍යමාන වේ.

මෙම පළමු ස්ථරයෙන් උත්පාදනය කෙරෙන මතවාදී ශක්තිය දේශීය තලයට බද්ධ කරනු ලබන්නේ දෙවැනි ස්ථරය (තොරතුරු සහ මතවාදී මෙහෙයුම් ජාලය) මඟිනි. විවිධ ඩිජිටල් අවකාශයන්, මාධ්‍ය සාකච්ඡා සහ සංවිධානාත්මක විවෘත ප්‍රකාශ හරහා රටේ පවතින සාම්ප්‍රදායික පාලන ක්‍රම, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ සහ සමහර ආගමික නායකයන්ගේ භූමිකාව සහ ජාතික ආරක්ෂක ව්‍යුහයන් පිළිබඳව දැඩි විවේචනාත්මක මහජන මතයක් නිර්මාණය කරමින්, සිවිල් නීතිමය තීන්දු බලාත්මක කිරීමට අවශ්‍ය කරන සමාජයීය වටපිටාව මෙමඟින් සකස් කරනු ලබන බව නිරීක්ෂණය කළ හැකියි.

වඩාත්ම සූක්ෂ්ම සහ මර්දනකාරී කොටස වන්නේ මෙහි තුන්වැනි ස්ථරයයි (පරිපාලන යාන්ත්‍රණය තුළ පවතින සැඟවුණු පද්ධතිය). රාජ්‍ය පරිපාලන ව්‍යුහය, නීති අංශ සහ ආයතනික පද්ධතීන් තුළ මෙම ලිබරල් මතවාදයන්ට අනුකූලව ක්‍රියා කරන නිලධාරී කණ්ඩායම් රහසින් ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය නායකයෙකු ව්‍යවස්ථාපිත තීරණයක් ගන්නා අවස්ථාවලදී හෝ නීතිමය ලියකියවිලි සකස් කරන විට, පසුකාලීනව එම තීරණ අධිකරණය හමුවේ පහසුවෙන්ම අභියෝගයට ලක් කිරීමට හැකි වන පරිදි පරිපාලනමය හිඩැස් සහ දෝෂ එලෙසම තැබීමට මෙම ස්ථරය ක්‍රියා කරන ආකාරය පෙන්වා දීමට හැකියි.තවද බුද්ධ ශාසනයට අයත් ප්‍රමුඛස්ථානය සියුම්ව බිඳ දමා අන්‍යාගමික පුජක වරුන් සදහාද එම අයිතීන්ද එම ප්‍රමුඛස්ථානයම  බන්දේසියේ තබා පුජ කිරීම නිර්ලජ්ජිත වචන හරබයන් ඔස්සේ ඔවුන්ගේම හදවතින් පැන  නොනගින එහෙත් බටහිර ලිබරල් මතවාද සහ සිවිල් සංවිධාන ජාලයන් විසින් “නීතිය ඉදිරියේ ආගමික නායකයන්ට විශේෂ වරප්‍රසාද නොතිබිය යුතුයි” යන මතය ක්‍රමවත්ව සමාජගත කිරීමට ක්‍රියා කරන බවට ප්‍රබල සාක්ෂි මෙන්ම නීතිමය ලියකියවිලි වර්තමානයේ රට තුළ පවතී.

විශාල නඩු හබ වාර්තා හා විවධ භික්ෂුන් වහන්සේලා පෙන්නවා දෙන ආකාරයෙන්ම දැනගත හැකිවේ.ලංකාවේ ක්‍රියාත්මක ලිබරල් සිවිල් සංවිධාන විසින් වරින් වර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති ව්‍යවස්ථාපිත නඩු සහ ප්‍රකාශන මෙයට ඇති ප්‍රධානතම ලිඛිත සාක්ෂියක් ලෙස පෙන්වා දීමට හැකියි. ඔවුන් දිගින් දිගටම අධිකරණය හමුවේ තර්ක කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මඟින් සහතික කර ඇති “නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වේ” යන මූලධර්මය, ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය (බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම) මඟින් යටපත් නොකළ යුතු බවයි. ඔවුන්ගේ නිල ලේඛන සහ අධිකරණ පෙත්සම්වල පැහැදිලිවම දැක්වෙන්නේ, කිසිදු පුරවැසියෙකුට තමන් දරන ආගමික පූජක තත්ත්වය හෝ සිවුර මත පදනම්ව සාමාන්‍ය සිවිල් වැරදිවලින් හෝ උසාවියට අපහාස කිරීම්වලින් විශේෂ නෛතික මුක්තියක් හෝ වරප්‍රසාද නොලැබිය යුතු බවයි.

දෙවැනි සාක්ෂිය වන්නේ මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විසින් වසරක් පාසා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) වෙත ඉදිරිපත් කරන වාර්තායි. එම වාර්තාවල ශ්‍රී ලංකාවට නිරන්තරයෙන්ම චෝදනා එල්ල කරන්නේ “මහජන අවශ්‍යතාවය” යන්න මෙරට බහුතර සංස්කෘතික සංකල්ප සමඟ පටලවාගෙන ඇති බවයි. භික්ෂූන් වහන්සේලා නීතියට අදාළ කටයුතුවලට මැදිහත් වන විට රජය සහ නීතිය බලාත්මක කරන ආයතන ඔවුන්ගේ සිවුරට ඇති ගරුත්වය නිසා නීතිය තදින් ක්‍රියාත්මක නොකරන බවට ඔවුන් ජාත්‍යන්තරව මතයක් සාදයි. තුන්වැනි සාක්ෂිය වන්නේ රජය සහ බන්ධනාගාර ප්‍රකාශකයා විසින් මෑතකදී නිකුත් කරන ලද නිල ප්‍රකාශයන් ය. බන්ධනාගාර ආඥාපනතේ පවතින නීතියට අනුව වරදකරු වන භික්ෂූන් වහන්සේලාගේ සිවුර ඉවත් කළ යුතු බවත්, මේ වන විටත් භික්ෂූන් 63 නමක් එම එකම නීතිය යටතේ සිරදඬුවම් විඳින බවත් රජය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. බන්ධනාගාර ප්‍රකාශකයාද අවධාරණය කළේ, වරදකරු වී සිරදඬුවම් ලැබූ ඕනෑම අයෙකු උසාවියට ඉදිරිපත් කළ යුත්තේ “ඔහුගේ තරාතිරම හෝ තත්ත්වය නොසලකා” බන්ධනාගාර නීති රීතිවලට අනුකූලව පමණක් බවයි.වසර තුනකට වරදකරුවන් වූ පුද්ගලයන් ඔවුන්ගේ පුජක තත්වයෙන් ඔබ්බට මෙම දඩුවම ක්‍රියාත්මක වන බව එම අන පනත් කියවූ විට මානව වැටහේ. මෙය බටහිර ලිබරල්වාදීන් ඉල්ලා සිටින “ආගමික නායකයන්ට විශේෂ වරප්‍රසාද නැත” යන සිවිල් මූලධර්මය රාජ්‍ය ආයතනික පටිපාටිය තුළ බලාත්මක වී ඇති ආකාරය පෙන්වන පැහැදිලි ප්‍රායෝගික සාක්ෂියක් ලෙස පෙන්වා දීමට හැකියි.

විධායක බලතල ක්‍රියාත්මක කිරීමේදී සිදුකරනු ලබන පරිපාලනමය වැරදි හෝ නීතිමය පටිපාටීන් මඟ හැරීම්, පසුව අධිකරණය හමුවේ පහසුවෙන්ම අභියෝගයට ලක් කිරීමට මෙම සංවිධාන සතු නීතිමය ශක්තිය ඉවහල් වේ. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාපිත නීති මඟ හැර (විනිසුරු වාර්තාවක් හෝ නීතිපති උපදෙස් නොගෙන) දුන් සමාවන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන විට, විධායකය විසින් සිදු කරන ලද එම ව්‍යවස්ථාපිත වැරැද්ද නිසා අවසානයේදී භික්ෂූන් වහන්සේ නමකට තම චීවරය අහිමි වී සුදු ඇඳූමෙන් උසාවියට පෙනී සිටීමට සිදු වේ. මෙය ව්‍යවස්ථාදායකය සහ විධායකය විසින් තම වගකීම් නිසි පරිදි ඉටු නොකිරීමේ පාලන තන්ත්‍රයේ බිඳවැටීම සෘජු ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකියි.

කර්තෘ වන මා විසින් මීට පෙර සහ මෑතකදී රචිත The Final Wall (අවසාන පවුර) පර්යේෂණ ග්‍රන්ථය මඟින් ප්‍රධාන වශයෙන්ම දිගටම සාකච්ඡා කරනු ලැබුනේද බාහිර ලිබරල් ප්‍රතිසංස්කරණ සහ විදේශීය මතවාදයන් හමුවේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික අනන්‍යතාවය රැකගැනීමේ අවසාන සදාචාරාත්මක සහ නෛතික ආරක්ෂක පවුර ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ක්‍රියාත්මක වන ආකාරයයි සහ එය යොදවාගත යුතු ආකාරයි. නීතියට පිටින් නොව මෙම නීති රාමුව තුලම අපේකම සදහා ඇති නීති රාමු තුලින්ම ආරක්ෂාව සපයා ගන්නා ආකාරයයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍ම ව්‍යවස්ථාව තුළ පවතින සුවිශේෂීම ලක්ෂණය වන්නේ එය ලිඛිත සිවිල් නීතියකින් මෙන්ම ඓතිහාසික සාම්ප්‍රදායික උරුමයන්ගෙන් සමන්විත (අලිඛිත) ද්විත්ව ස්වභාවයක් ගැනීමයි. වර්තමාන සමාජ දේශපාලනික වටපිටාව තුළ, ආගමික නායකයන් සිවිල් දඬුවම්වලට ලක්වීමේදී පැනනඟින ගැටලු හුදෙක් පෞද්ගලික සිදුවීම් හෝ තනි පුද්ගලයන්ගේ ක්‍රියාවන්හි ප්‍රතිඵලයන් නොවේ. එය රටේ පවතින විවිධ මතවාදී කඳවුරු, ආයතනික පද්ධතීන් සහ ව්‍යුහාත්මක බලපෑම් ජාලයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැඹුරු ව්‍යුහාත්මක ගැටුමක සමුච්චිත ප්‍රතිඵලයක් ලෙස පෙන්වා දීමට හැකියි. මෙවැනි ගැටුම් අපරට තුල නිර්මාණය කරන්නේ අප රටට හෝ කලාපයට බොහෝ ඇතින්  සිට අරමුදල් හා ප්‍රස්නෝත්‍ර ලබාදී සියුම්ව විවිධ දේශපාලන මත ඇති කණ්ඩායම් හා ප්‍රසිද්ධියේ මත හැප්පවිමවලට ඉඩ හරිමිනි. රටේ දියුණුවට ඇති කාලය, ධනය, ශ්‍රමය මොවුන් මෙසේ විනාශ කරති. 

මෙම වර්තමාන සන්දර්භය තුළ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි වගන්තියේ (4) උපවගන්තිය (Article 105(4)) පිළිබඳව නීතිමය විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම වගන්තිය මඟින් භික්ෂූන් වහන්සේලාගේ විනය, භික්ෂූන් අතර ආරවුල් සහ විහාරස්ථානවල කාර්යයන්ට අදාළ ඇතැම් ආරවුල් විසඳන අධිකරණ, විනිශ්චය සභා හෝ ආයතන (සංඝාධිකරණ) නීතියෙන් පිහිටුවීමට පාර්ලිමේන්තුවට සෘජු ව්‍යවස්ථාපිත බලය ලබා දෙයි. සංඝාධිකරණයකින් තොරව කටයුතු සිදුකල හැකි බව හෝ එසේ සිතීම අමනෝන්‍ය මතයකි විධායකය තිබෙන්නේ වරදක් වනවිට අත පෙවීමට නොවේ යන මතය හා වැරදි නිවරදි කිරීමට හා සිදුවෙන්න යන වැරදි නැවත්වීමට හා සිදුවී තිබෙන වැරදි හරි ගැස්සවීමද උගතෙකු සිටින විධායකය විසින් කල හැක. එහෙත් නෛතික ප්‍රතිපත්තියකට අනුව තවමත් ඒ සදහා මංමාවත් සකස් කිරීමට කිසිම කෙනකු උත්සහයක් නොගනී.

මගේ මතය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 වැනි වගන්තියේ (4) හිතා මතා යටගස්වා ඇති බවය. එම වගන්තිය පමණක්ම පදනම් කරගෙන දැනටමත් රාජ්‍යය විසින් පිළිගත් සිවිල් බලැති සංඝාධිකරණ පද්ධතියක් පිහිටුවා ඇති බවක් හෝ ඒ පිළබඳව කතිකාවක් හෝ කිසිම දේශපාලන පොරොන්දු පත්‍රයක තාම බලාත්මක කරන නැත. (සියලුම භික්ෂූන් සම්බන්ධ සිවිල් නඩු සාමාන්‍ය අධිකරණවලින් සහමුලින්ම බැහැර කළ යුතු බවක් අප අවධාරණය නොකරමු). ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුවට ලබා දී ඇති එම බලතල ක්‍රියාවට නංවමින්, සියලුම නිකායන්ට පොදු වූ, සිවිල් නීතිය ඉදිරියේ බලාත්මක වන ස්ථාවර “සංඝාධිකරණ පනතක්” නීතිමය සන්දර්භයකට ගෙන සම්මත කර ගැනීමට ව්‍යවස්ථාදායකය මෙතෙක් අපොහොසත් වී තිබීමම සැකයට භාජනය කල හැකිය. ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් දක්වා ඇති මෙම පූර්වගාමී අඩුව, භික්ෂූන්ගේ විනය පිළිබඳ කාරණා සාමාන්‍ය සිවිල් අධිකරණ වෙත ගලා යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙන්වා දීමට හැකියි. භික්ෂූන් වහන්සේ නමකගේ විනය පිළිබඳ ගැටලුවක්, දේශීය පසුබිමට සහමුලින්ම ආගන්තුක වූ, යටත්විජිත සමයේ පීටර් ඇන්ඩර්සන් (Peter Anderson) වැනි විදේශීය නිලධාරීන් විසින් බලෙන් පටවන ලද රෝම-ලන්දේසි නීතිමය (Roman-Dutch Law) රාමුවෙන් විසඳීමට යාම බරපතල දෝෂයක් බව පෙන්වා දීමට හැකියි. භික්ෂූන්ගේ ගැටලු විසඳිය යුත්තේ ව්‍යවස්ථාවේ 105(4) යටතේ එන උසස් සාම්ප්‍රදායික ශාසනික ව්‍යුහයක් වන සංඝාධිකරණයකින් වුවද, රාජ්‍ය යාන්ත්‍රණය විසින් එය යටත්විජිත නීති මඟින් පාලනය කිරීමට යාම නිසා රටේ පවතින සංස්කෘතික හැඟීම්වලට බරපතල හානියක් සිදුවෙමින් පවතී. මෙම පරිපාලනමය සහ නෛතික පරස්පරතාවය පිළිබඳව වත්මන් රාජ්‍ය තාන්ත්‍රිකයන් පවා නිසි අවබෝධයකින් තොරව ක්‍රියා කිරීම ජාතිය සතුව පවතින, බලෙන්ලම එල්ලා ගත් හීනමානයකි. 

මෙම ව්‍යූහාත්මක මතවාදී මෙහෙයුම් තුළ, සාමාන්‍ය ලිඛිත සිවිල් නීති පද්ධතියට අමතරව මෑතකාලීනව වඩාත්ම උපයෝගී කරගනු ලබන ප්‍රධානතම ව්‍යවස්ථාපිත මෙවලමක් වන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනතයි. බටහිර ලිබරල් සංවිධාන ජාලයන් සහ දේශීය පරිපාලන යාන්ත්‍රණයන් විසින් මෙම පනතෙහි අඩංගු ප්‍රතිපාදන ඉතාමත් සූක්ෂ්ම ලෙස හැසිරවීම නිරීක්ෂණය කළ හැකියි. 2007 අංක 56 දරන පනතෙහි 3(1) ව්‍යවස්ථාව මඟින් පැහැදිලිවම දක්වා ඇත්තේ: “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම නොකළ යුතු අතර, වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුත්තේය.” මෙම වරද මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ ඇප දිය නොහැකි, මහාධිකරණයකින් පමණක් ඇප ලබාගත යුතු බරපතල සංඥෙය වරදක් ලෙස ව්‍යුහගත කර ඇත. නීති විශාදරයින් වන නීතිඥ වෘත්තියට අමතරව නීතියේ ශාස්ත්‍රීය පැත්ත, නීති ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථාපිත නීති විශ්ලේෂණය සහ නීති පද්ධති පිළිබඳව ගැඹුරු පර්යේෂණ කරන, විනිසුරුවරුන් හෝ ජ්‍යෙෂ්ඨ නීති මහාචාර්යවරුන් හෝ සිවිල් සංවිධාන තුල හෝ අපරට තුල ඉන්නා ප්‍රාමාණික උගතුන්
පෙන්වා දෙන්නේ මෙම පනතේ මූලික පරමාර්ථය ආගමික සුළුතරයන් ද්වේශ සහගත ප්‍රකාශවලින් ආරක්ෂා කිරීම වුවද, ප්‍රායෝගික තලයේදී මෙම නීතිය භාවිතා වන්නේ දේශීය සංස්කෘතික උරුමයන් වෙනුවෙන් හඬ නඟන ආගමික නායකයන් සහ භික්ෂූන් වහන්සේලාව නීතිමය උගුලකට හසු කර නිහඬ කිරීම සඳහා බවයි.

රාජ්‍ය තාන්ත්‍රික යාන්ත්‍රණය, 2007 අංක 56 දරන මෙම විදේශීය සම්මුති පනත් ඉතාමත් දැඩි ලෙස සිවිල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, භික්ෂූන් වහන්සේ නමකගේ සාමාන්‍ය ප්‍රකාශනයක් පවා මෙම 3(1) උපවගන්තිය යටතේ “ආගමික වෛරය පැතිරවීමක්” ලෙස අර්ථකථනය කර, උන්වහන්සේලාව දීර්ඝ කාලයක් ඇප රහිතව සිරගත කිරීමටත්, සිවුර අහිමි කර සුදු ඇඳුමෙන් අනිකුත් අනපනත්ද උපයෝගී කරගෙන උසාවි දැක්වීමටත් ව්‍යවස්ථාපිත මාවත සකස් කෙරේ.ලිඛිත සිවිල් නීතිය විසින් “සංඝ” යන පදය තනි වචනයක් ලෙස වටහා ගැනීමට උත්සාහ කිරීම මෙහි පවතින ප්‍රධානතම න්‍යායික දෝෂයක් ලෙස පෙන්වා දීමට හැකියි. ඒවගේම වර්තමාන ජනාධිපතිවරයාත් එවැනිම අදහසක් දැරීම මිට දින කිහිපයකට පෙර දෙඩවීම පුවත් පත් හා රුපවාහිනී පුවත් තුල දුටුවේය. ”තනි සංඝයා වහන්සේ කෙනෙකු වැනි වචන ප්‍රකාශ වීමෙන් අභිජනනය වන්නේ අපේ විද්වත් භාවයේ අඩු ලුහුඬු කම්මය. අප ජාතිය, රටේ මුලික බස නොදනිම ඉහල සිට පහලට ඇති බවය.

විනය නීතියට සහ පාලි ශබ්ද ශාස්ත්‍රයට අනුව “සංඝ” යනු තනි පුද්ගලයෙකු හෝ තනි වචනයක් ලෙස ඒකීය අර්ථකින් ගත හැක්කක් නොවේ; එය සැමවිටම “සමූහයක්” නිරූපණය කරන බහුවචන අර්ථයකි. භික්ෂූන් වහන්සේ නමකගේ ශාසනික විනය පාලනය කළ යුත්තේ සමස්ත සංඝ සමූහය නියෝජනය කරන ව්‍යවස්ථාවේ 105(4) යටතේ එන සංඝාධිකරණයකින් පමණි.විනය නීතියට සහ පාලි ශබ්ද ශාස්ත්‍රයට අනුව “සංඝ” යනු තනි පුද්ගලයෙකු හෝ තනි වචනයක් ලෙස ඒකීය අර්ථකින් ගත හැක්කක් නොවේ; එය සැමවිටම “සමූහයක්” නිරූපණය කරන බහුවචන අර්ථයකි. භික්ෂූන් වහන්සේ නමකගේ ශාසනික විනය පාලනය කළ යුත්තේ සමස්ත සංඝ සමූහය නියෝජනය කරන ව්‍යවස්ථාවේ 105(4) යටතේ එන සංඝාධිකරණයකින් පමණි. දැනට මෙම සංඝාධිකරණ විදි හා ක්‍රමය විහාරස්ථාන තුල සිදු වෙමින් පවතී.

“ආගම යනු පෞද්ගලික කාරණයක්” ලෙස හඳුන්වමින් බුද්ධ ශාසනයේ ආයතනික ස්වෛරීභාවය සහ සමූහ ව්‍යුහය (Collective Monastic Order) සිවිල් නීති මඟින් මර්දනය කිරීමට ඇතැම් ලිබරල් බලවේගයන් දරන උත්සාහයන් නීතිමය වශයෙන් පරාජය කළ හැකි බව ඔප්පු කරන ප්‍රබලතම සහ ස්ථාවර ව්‍යවස්ථාපිත සාක්ෂියක් ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2016 ජනවාරි 28 දින ලබාදෙන ලද තෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ නිශ්චය (SC-SD-01/2016) නමැති ඓතිහාසික නඩු තීන්දුව පෙන්වා දිය හැකිය. මෙම පනත් කෙටුම්පත මුලින්ම ලිබරල් මතවාදීන්ගේ නිර්මාණයක් නොවූ අතර, එය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මඟපෙන්වීම සහ සෘජු ඉල්ලීම පරිදි, අදාළ නිකායන් තුළ සඟ විනය බලාත්මක කිරීම සඳහා නෛතික සහාය ලබාගැනීමේ අරමුණින් බුද්ධශාසන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද්දකි. ඉන්පසුව 2016 ජනවාරි 12 වන දින රජයේ පනතක් ලෙස මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද, එහි අඩංගු ඇතැම් ප්‍රතිපාදන මඟින් සිවිල් රාජ්‍ය නිලධාරීන්ට ශාසන පාලනයේ අවසන් බලය ලැබෙන බැවින් බුද්ධ ශාසනයේ ස්වාධීනත්වයට හානි වේ යැයි බියෙන්, බුද්ධ ශාසනයේ උරුමය වෙනුවෙන් පෙනී සිටි දේශමාමක සහ ආගමික පාර්ශවකරුවන් විසින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලදී. මෙම පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, රජය විසින් ඉදිරිපත් කළ අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයක් සහ මහජන ජනමත විචාරණයක් (Referendum) අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බවයි.

එම ඓතිහාසික තීන්දුවේදී, කතිකාවත්වල නියමයන් උල්ලංඡනය කරන භික්ෂූන් වහන්සේලාට එරෙහිව පනත් කෙටුම්පතෙහි Clause 11(2) යටතේ දඩ හෝ සිරදඬුවම් වැනි අපරාධමය වගකීම් (Criminal Liability) පැටවීමට සහ හැසිරීම් පාලනය කිරීමට රජයට නීතිමය ප්‍රතිපාදන සැලසීමට උත්සාහ කර තිබීම, ව්‍යවස්ථාවේ 9, 10 සහ 14(1)(e) වගන්ති මඟින් සහතික කර ඇති මූලධර්ම සෘජුවම උල්ලංඡනය කිරීමක් බව අධිකරණය පෙන්වා දුන්නේය. එසේම පනතේ Clauses 4 සහ 5 යටතේ, අදාළ කතිකාවත ධර්ම විනයට අනුකූලදැයි සහතික කිරීම සඳහා රජය විසින් පත් කරනු ලබන බාහිර “විශේෂඥ මණ්ඩලයක්” පිහිටුවීමට යෝජනා කර තිබීම බුදුදහමට සහ ශාසනයට සිවිල් රාජ්‍යය විසින් කරනු ලබන සෘජු ව්‍යවස්ථාදායක මැදිහත් වීමක් ලෙස ප්‍රතික්ෂේප විය. භික්ෂූන්ගේ අභ්‍යන්තර විනය පාලනය කිරීමේ ස්වෛරී බලයඇත්තේ මහා සංඝ සභාවට මිස රාජ්‍ය නිලධාරීන්ට නොවන බව අධිකරණය අවධාරණය කළ අතර, මන්ත්‍රගුරුකම් හෝ ගුප්ත විද්‍යා කටයුතුවල නිරත වීම, වෙළඳ හෝ ව්‍යාපාරික කටයුතු කිරීම, රියදුරු බලපත්‍ර ලබාගෙන වාහන පැදවීම වැනි ක්‍රියාවන් (Clauses 2(2), 2(3), 2(4)) සිවිල් නීති මඟින් සීමා කිරීමට යාම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය විය. එමෙන්ම, විනය පරීක්ෂණයක් පවතින අතරතුර භික්ෂුවකට වෙනත් නිකායකට සම්බන්ධ වීම සීමා කිරීම (Clause 12), ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියෙන් සහතික කර ඇති සමානත්වයේ අයිතිය උල්ලංඡනය කරන බව අධිකරණය නිගමනය කළේය.

මෙම නඩු තීන්දුව අමතරව ශාසනික උරුමයන් සිවිල් නීතිමය රාමුවලට කොටු කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව ඇති තවත් අතිශය මෑතකාලීන සහ ප්‍රබලතම ව්‍යවස්ථාපිත පූර්වාදර්ශය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023 අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විශේෂ නිශ්චය (S.C.S.D. 22-35/2023) මඟිනි. දේශීය සාම්ප්‍රදායික වෛද්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 8ක් විභාග කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කරන ලදී.

මෙහිදී පනත් කෙටුම්පතේ වගන්ති 15ක් පුරා (Clauses 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41) අන්තර්ගත වූ “භෛසජ්ජක” (Bhaisajjaka) හෝ “ආයුර්වේද භෛසජ්ජක” යන වචන භාවිතය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය (බුද්ධාගම රැකීමේ වගකීම) සමඟ සෘජුවම පටහැනි බව අධිකරණය තීරණය කළේය. “භෛසජ්ජ” යනු බෞද්ධ විනය පිටකයේ (භේසජ්ජ ඛන්ධකය) භික්ෂූන් වහන්සේලාගේ වෛද්‍ය කටයුතු හා බැඳුණු සුවිශේෂී ආගමික උරුමයක් වන බැවින්, එම වචන සිවිල් ආයුර්වේද පනතකින් වාණිජ සහ බාහිර නීති පද්ධතියකට යටත් කිරීම බුද්ධ ශාසනයේ ස්වාධීනත්වයට සහ චිරස්ථිතියට ඍණාත්මක ලෙස බලපාන බව අධිකරණය හඳුනා ගත්තේය.
ඒ අනුව රජය විසින් අදාළ වචන පනතෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නම් පමණක් එය සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බවත්, එම සංශෝධන සිදු නොකර පනත එලෙසම සම්මත කිරීමට අවශ්‍ය නම්, ව්‍යවස්ථාවේ 83 සහ 84 වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයක් සහ මහජන ජනමත විචාරණයක් (Referendum) අනිවාර්යයෙන්ම අවශ්‍ය වන බව නියම විය. අවසාන වශයෙන්, පනතේ 11(3), 13, 24(1)(a), 25, 46(1) සහ 46(4) යන වගන්ති මඟින් සාම්ප්‍රදායික පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේදී සහ ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් මෙන්ම කවුන්සිල සාමාජිකත්වයේ ව්‍යූහය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට ප්‍රතිපාදන සලසා තිබීම, ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති ‘නීතිය ඉදිරියේ සැමට සමාන වීමේ’ සහ යහපාලනයේ (Good Governance) මූලික අයිතිවාසිකම උල්ලංඡනය කරන බව අධිකරණය තීන්දු කළේය.

සිවිල් ක්‍රියාකාරීන් සහ ලිබරල් නීති විචාරකයන් විසින් බෞද්ධයන්ගේ සාධාරණ ආගමික විවේචන සහ නීතිවිරෝධී ආගමික ප්‍රචාරයන්ට එරෙහිව නැඟෙන හඬ යටපත් කිරීම සඳහා, “මිථ්‍යාදෘෂ්ටික” වැනි වචන භාවිත කිරීම ව්‍යවස්ථාපිත වරදක් ලෙස හඳුන්වා දීමට අශාස්ත්‍රීය සහ අනීතික උත්සාහයක නිරත වෙති. කෙසේ වෙතත්, “මිථ්‍යාදෘෂ්ටිය” (Wrong View) යන්න බෞද්ධ දර්ශනය සහ සාහිත්‍යය තුළ ඉතා ගැඹුරු අර්ථයක් ඇති, එසේම සමාජයීය වශයෙන්ද භාවිත වන නෛතිකව තහනම් නොකළ වචනයකි. බෞද්ධ දර්ශනයට අනුව මෙයින් අදහස් කරන්නේ “වැරදි දැකීම” හෝ යථාර්ථය නිවැරදිව වටහා නොගැනීමයි. කර්ම ඵල විශ්වාස නොකිරීම, හොඳ නරක ක්‍රියාවලට අදාළව විපාකයක් නැතැයි සිතීම සහ මෙලොවක්, පරලොවක්, මවක්, පියෙක් හෝ සංසාරයක් නැතැයි යන අන්තගාමී නාස්තිකවාදී මත දැරීම මින් පැහැදිලි කෙරේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කටයුතු කිරීම අවැඩක් ලෙස සිතන දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය ප්‍රහීණ කර, ‘සම්මා දිට්ඨිය’ (නිවැරදි දැකීම) ඇති කර ගැනීම නිවන කරා යන මඟෙහි පළමු පියවර වන බැවින්, මෙම ධර්ම කරුණු ප්‍රකාශ කිරීම එනම් “මිථ්‍යාදෘෂ්ටික” යැයි  කීම  වෛරී ප්‍රකාශනයක් (Hate Speech) ලෙස හැඳින්විය නොහැකි අතර, එය ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් සහතික කර ඇති භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට සම්පූර්ණයෙන්ම යටත් වේ.

“නීති විරෝධී” ලෙස ආගම්  මැරුවේ යෙදෙන  හා ආගම් බලහත්කාරයෙන් හැරවීමට පිට රට වැසි මුදල් යොදන පිරිස් නැවත කියවියයුතු  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති ඓතිහාසික නඩු තීන්දු ”SC Determination No. 19/2003 ”තීරණය හිතාමතාම වසන් කරනු ලැබීම ඛේධ වාචකයකි . ලංකාවේ පවතින ප්‍රධානතම පරිපාලනමය අර්බුදය වන්නේ විදේශීය අරමුදල් ලබන බලපෑම් කණ්ඩායම් සහ රාජ්‍ය නිලධාරීන් එක්ව මෙම අධිකරණ නියෝග ව්‍යවස්ථාදායකයෙන් (පාර්ලිමේන්තුවෙන්) සහ විධායකයෙන් සඟවා තබමින් රජය සහමුලින්ම රැවටීමට ලක් කිරීමයි. 105(4) වගන්තිය ක්‍රියාත්මක නොකර, 2007 අංක 56 දරන පනතේ ප්‍රතිපාදන වැරදි ලෙස භාවිත කරමින් බෞද්ධයන්ගේ භාෂණයේ නිදහස (14(1)(අ)) මර්දනය කිරීමට යාම, ජාතිය සතු අවසාන සංස්කෘතික පවුර බිඳ දැමීම සඳහා තුන්වැනි ස්ථරය විසින් සිදුකරනු ලබන ව්‍යුහාත්මක පාවාදීමක් බව පෙන්වා දීමට හැකියි.

වර්තමාන සිවිල් ව්‍යුහය තුළ “ලෙඩ සුව කිරීමේ යාඥා” සහ ආශ්චර්යයන් මවාපාමින් සිදුවන අනිසි ආගම් හැරවීම්, බුද්ධ ශාසනයේ චිරස්ථිතියට සහ ධර්මයේ පදනමට එල්ල කර ඇති අතිශය පසුගාමී සහ ඍණාත්මක ව්‍යුහාත්මක බලපෑමකි. බුදුදහමේ එන හේතු-ඵල දහම සහ කර්ම විපාකය වැනි බුද්ධිමය පදනම් වෙනුවට, අන්ධ භක්තිය සහ මිථ්‍යාව සමාජගත කිරීමට බලපෑම් කණ්ඩායම් ක්‍රියා කරති. ආගම් හැරවීම් සහ ප්‍රචාරය ව්‍යවස්ථා විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති ඓතිහාසික නියෝග වසන් කරමින්, විවිධ ස්ථරවල නිලධාරීන් විසින් ව්‍යවස්ථාදායකය සහ විධායකය රවටා, “අනිසි ආගම් හැරවීමක් කරගෙන යයි.

සිවිල් ක්‍රියාකාරීන් සහ ලිබරල් මතවාදීන් විසින් “ආගම යනු පෞද්ගලික දෙයක්” යැයි පවසමින් සිදු කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයන්හි පවතින මූලිකම දෝෂය වන්නේ සාමාන්‍ය “ආගම” සහ “බුදුදහම/ශාසනය” අතර පවතින දාර්ශනික වෙනස හඳුනා නොගැනීමේ මිථ්‍යාවයි. සාමාන්‍ය ආගමක් යනු පුද්ගලයෙකුගේ ආත්මීය විමුක්තිය උදෙසා අදහනු ලබන පෞද්ගලික විශ්වාසයක් විය හැකි වුවද, බුදුදහම සහ බුද්ධ ශාසනය යනු පෞද්ගලික දෙයක් නොවේ. එය දේශයේ සංස්කෘතිය, සාම්ප්‍රදායික නීතිය සහ ආයතනික ව්‍යුහය සමඟ බද්ධ වූ සමූහ ධර්මතාවයකි. ව්‍යවස්ථාවේ II වැනි පරිච්ඡේදයේ 9 වැනි වගන්තියෙන් “බුද්ධ ශාසනය” රැකීමටත්, 105(4) වගන්තියෙන් සංඝාධිකරණ පිහිටුවීමටත් ප්‍රතිපාදන සලසා ඇත්තේ මෙම ආයතනික අනන්‍යතාවය ලිඛිත සිවිල් නීතිය ඉදිරියේ පිළිගනිමිනි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, දේශීය අනන්‍යතාවය සහ බුද්ධ ශාසනය සහමුලින්ම දඩයම් කිරීම සඳහා විදේශීය බලවේගයන් ඉදිරියට ඇදෙමින් පවතින බව නිරීක්ෂණය කළ හැකියි. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක්  පිරිස විසින් වරින් වර  157කට වඩා වැඩි වාර ගණනක් බුද්ධ ශාසනය උදෙසා මෙම පින්බිම පුජාකර ඇත. තවද තමන්ගේ ඇස්, හිස්, මස්, ලේ දන් දෙමින්, ජීවිත පූජාවෙන් මෙම බිම රැකගත් බිම විවිධ ලිබරල් හා වමාන්සික අවශ්‍යතා වෙනුවෙන්  විවිධ දේශපාලන සංවිධාන පාවිච්චි කරමින් සිටි. බුද්ධ ශාසනය සහ දේශය අද වන විට බරපතල ව්‍යුහාත්මක අනතුරකට ලක්ව ඇත. විජාතික බලවේග, විදේශීය අරමුදල් ලබන ආයතන සහ තාවකාලික පුරවැසිභාවය ලබාගෙන මෙරට පරිපාලනය හසුරුවන පිරිස් එක්ව දේශීය උරුමයන් සහමුලින්ම වළලා දැමීමට ක්‍රියා කරති. නමුත්, මේ සියලු ආක්‍රමණයන්ගෙන් ශාසනය බේරාගැනීම සඳහා අවශ්‍ය කරන පූර්ණ නෛතික රාමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළම විශේෂයෙන්ම 9 වැනි වගන්තිය සහ 105(4) වගන්තිය තුළ) ඉතාමත් පැහැදිලිව දක්වා ඇති බව තහවුරු කළ හැකියි.

බුද්ධ ශාසනය ඓතිහාසිකව වාර 157කට වඩා පූජා කර ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය උදෙසාය. එබැවින්, මෙම උත්තරීතර ශාසනික ව්‍යුහයෙහි සැබෑ සහ ව්‍යවස්ථාපිත උරුමකරු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ මිස සිවිල් පුරවැසියන් වන අප නොවේ. කිසිදු බාහිර පාර්ශවයකට හෝ විදේශීය බලවේගයකට මෙම උත්තරීතර අයිතිය දේශීය තලයෙන් ඉවත් කළ නොහැකි අතර, එලෙස කිරීමට උත්සාහ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය (රජයේ දේශය සහ දේශීය ස්වෛරීභාවය) හා සබැඳි ප්‍රතිපාදනයන්ට සහමුලින්ම පටහැනි ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට හැකියි. අනුනට අයිති වස්තුවක් හෝ අනුනට පුජ කල දෙයක් ගැනීමට ටහ්ත් කිරීමම හොරකමකි.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයට වඩා ඉහළින් කිසිදු සිවිල් ව්‍යවස්ථාදායකයකට, විධායකයකට, පාර්ලිමේන්තුවකට හෝ සිවිල් නීතියක්  ස්ථාපිත විය නොහැකි බව සමස්ත සිංහල-බෞද්ධ ජනතාව මැනවින් අවබෝධ කරගත යුතුය. මානව හිමිකම් හෝ මූලික අයිතිවාසිකම් පිළිබඳ සංකල්පයන්ට ද ඔබ්බෙන් ගිය, සියවස් ගණනාවක ලේ උරුමයෙන් සහ ආධ්‍යාත්මික සාක්ෂිවලින් සහතික කරන ලද අනුලංඝනීය ඓතිහාසික අයිතිවාසිකමක් (Inalienable Historic Right) සිංහල-බෞද්ධයන් සතුව පවතී. බලෙන් හෝ සූක්ෂ්ම ලෙස උදුරාගෙන අපෙන් ඉවත් කිරීමට දේශපලනය නමින් නොහැකිවේ.

අපගේ උත්තරීතර ශාසනික හා සංස්කෘතික උරුමයන් නීත්‍යානුකූලව නැවත තහවුරු කර ගැනීමෙන් පසුව මිස, බාහිර බලවේග විසින් පටවනු ලබන “බහු-ජාතික” හෝ “බහු-ආගමික” ලිබරල් සංකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමට යාම දේශීයත්වයට කරන හානියකි. අපෙන් බලෙන් හෝ රවටා  හෝ අපගේ නොදනිම තුලින් ඩෑහාගත් සියලුම සම්පත් එනම් ගහකොළ, සතා සිවුපා , අඹු දරු සම්පත් නීතය හමුවෙන් ලබාගෙන මිස වෙනත් කණ්ඩයමක් මෙහි ස්ථාපිත කිරීම වෙර දැරීමට හිස නැමිය යුතුනොවේ. කෝ අපේ සම්පත්, අපෙන් ගත දේ දෙන්න කියා කීම දිනපතා සිදුකල යුතය. 

ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගකීම රාජ්‍යයට පවරා තිබුණද, ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය මඟින් ලබා දී ඇති ප්‍රතිපාදන උපයෝගී කරගෙන ස්ථාවර “සංඝාධිකරණ පනතක්” සකස් කර ගැනීමට ව්‍යවස්ථාදායකය මෙතෙක් අපොහොසත් වී ඇත. මෙය ප්‍රශ්නාර්ථයක් ලෙස තිබේ. 9 වෙනි වගන්තිය මග හරිමින් නඩු හබ ලියන  නීතිමය හිඩැස පවතින තාක් කල් හා  පැරණි රෝම-ලන්දේසි නීති රීතිවලින් සමන්විත සෙවනැලි බලවේගයන් විසින් සිවිල් පරිපාලන දෝෂයන් ප්‍රයෝජනයට ගනිමින් ශාසනික ව්‍යුහයන් සහ සංස්කෘතික පවුරුවල පදනම ලිඛිත සිවිල් නීතියෙන්ම දුර්වල කිරීම වැළැක්විය නොහැක. භික්ෂූන් වහන්සේලාගේ සිවුර ඉවත් කර සුදු ඇඳුමෙන් උසාවි දැක්වීම දක්වා ලියැවුණු මෙම එක්නැළි සෙවනැලි නාඩගම වහාම නතර විය යුතුය. අවසාන පවුර බිඳ වැටීමට පෙර, ව්‍යවස්ථාවේ 105(4) වගන්තිය යටතේ ස්ථාවර “සංඝාධිකරණ පනතක්” සම්මත කරගෙන,9 වගන්තිය සියළුම අවශ්‍යතාවයින් වලදී ප්‍රමුකස්ථානය ලබා දීම හා සිංහල  ව්‍යවස්ථවක් සදා ඉදිරියේදී සම්මත කොට රෝම-ලන්දේසි නීතියේ යටත්විජිත බලපෑම්වලින් ශාසනය මුදාගැනීමට සමස්ත සඟ පරපුර සහ බෞද්ධ ජනතාව වහාම පෙරමුණට පැමිණිය යුතුය.

දේශඅභිමානී සූර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න, Dip.Law
කැඳවුම්කරු සහ සභාපති – ජාතික බෞද්ධ බලවේගය
නිර්මාතෘ – සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය
TCFBI PEC සභාපති සදාචාර විරෝධී බෞද්ධ ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ, TCFBI ජාත්‍යන්තර සම්බන්ධීකාරක.

Protected by Security by CleanTalk