Spread the News


Newly Elected President Visiting Buddhist Monk – Image by Island Paper

ආරියතිලක
2026.02.15

“කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ”

ඉහතින් දැක්වූයේ සමාජ මාධ්‍යයේ දක්වා තිබූ වචන කීපයකි.

“කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ” යයි කීමෙන්  අදහස් කරන්නේ කුමක්ද?

කහකඩ කාරයෝ යනුවෙන් කී පමණින් සිහියට නැගෙන්නේ සිවුරු පොරවා ගත් භික්ෂූන් වහන්සේලා ය.

කහකඩ+ කාරයෝ

කහ+කඩ යනු සිවුරට නමකි. කහ වස්ත්‍රකඩ කහකඩය වේ. මෙහි කහ යනු කහ වර්ණය නො වේ. කහ පාට නො වේ. කහ යනු කෂාය වර්ණය ය. හෙවත් කසට පැහැය ය.
                                                                                                                                                          Ac
කසාය, කසාව, කාසාය, කාසාව යන පාලි වචන සතරෙන්  කසා හෙවත් කහ යන වචන නිපදේ.

කසාය, කසාව කාසාය, කාසාව  යන පාලි වචන සතරෙහි සිංහල තේරුම නම්= කසට පැහැය, කෂාය හෙවත් බෙහෙත් තැම්බූ වතුර, කසට පෙවූ, කසා පැහැය ඇති, කහට ගතිය, කහට රස, කසාවත, සිව්ර, කහ පැහැති යන අරුත් වේ.

කහකඩ යනු සිංහල භාෂාවෙ කසට වස්ත්‍ර කඩ ය. හෙවත් කසට පෙවූ වස්ත්‍ර කඩ ය. කඩ නම් කැබලි ය. කඩ කීපයක් එකතු වී චීවරය හෙවත්  සිව්ර සෑදේ. මෙහි කසට හෙවත් කහ යනු සිවුර පඬු පොවන පඬු ය. කහකඩ යනු පඬු පොවන ලද සිව්ර ය. (වැඩි විස්තර සඳහා විනය පිටකයේ මහා වග්ගපාලි, චීවරක්ඛධකය බැලිය යුතු ය)



“කහකඩ කාරයෝ” යනුවෙන් හඳුවන්නේ සිව්රු දරා ගත් පිරිස ය. සිව්රු දරන්නෝ කවරහු ද?

සිව්රු දරන්නෝ  පැවිදි බව ලබු අය වෙත්. එයද දෙයාකාර ය. එනම්:-

1.තාපස ප්‍රවෘජාවෙන් පැවිදි බව ලබන ලද,
2. සම්බුද්ධ ශාසනයේ පැවිදි බව ලබන ලද.

පැවිදි පිරිස ය.

අපගේ කතාව සම්බුද්ධ ශාසනය ගැන ය.
සම්බුද්ධ ශාසනයේ සිව්ර හෙවත් චීවරයේ හිමිකම් කා සතු ද?

සම්බුද්ධ ශාසනයේ සිව්ර සම්බුදු රදුන් සන්තක ය. සම්බුදු රදුන්ගේ බුද්ධ ආඥාවෙන් සම්බුදු රදුන්ගේ ශ්‍රාවකයන් වෙත සිව්ර ප්‍රධානය කොට ඇත. එය ප්‍රථමයෙන් සම්බුදු රදුන්ගේ බලමහිමයෙන් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව හා දෙවනුව සම්බුදු රදුන්ගේ විනය ප්‍රඥප්ති මත පැවිදි බව ලබා දීමෙනි.

මේ දෙයාකාරයෙන් පිට සම්බුදු සසුනේ පැවිදි බවක් නැත්තේ ය.

සම්බුදු රදුන් අනුදැන වදාළ විනය ආඥා මත පැවිදි වූ පිරිස භික්ෂූන් වහන්සේලා ය. භික්ෂූන් සමූහය සම්බුදු වචනයෙන් මහා සංඝයා වහන්සේලා වෙති. සම්බුද්ධ ශාසනය පවතිනුයේ මහසඟ බලය මතිනි. මේ සඟ බලයෙන් මිස ඒ හැර, රජ, මැති ඇමැති, දෙව බඹ ආදී කිසිවෙකුට සම්බුද්ධ ශාසනය  පැවැත්විය නො හැක.
සංඝ ශාසනය මතින්  සමස්ත බුදු සසුන දියත් වේ.

“කහකඩ කාරයෝ” යන වචනය භික්ෂූන් වහන්සේලා ම අරමුණු කරයි. ගිහි කිසිවෙක් අරමුණු නො කරත්.  එය එසේ වුව ද සද්ධාවත් ශ්‍රාවකයෝ එසේ ආමන්ත්‍රණය නො කරත්. ගරු භාවයෙන්, පූජනීය වන්දනීය භික්ෂූන් වහන්සේලාට “කහකඩ කාරයෝ” ලෙස ඇමතීම භාවිතා නො කරති. (භික්ෂු සංඝයා වහන්සේලා ගිහි බුද්ධශ්‍රාවකයන්ගේ කුල දේවතාවෝ වෙති.)

එසේ අරමුණු නො කළ ද භික්ෂූන් වහන්සේලාට ඇතැමෙක් පුද්ගලික මතාන්තර අනුව “ කහකඩ කාරයෝ” යයි කියත්. ඒ කෙසේ භාවීත කළ ද කහකඩ හෙවත් සිවරු දරන්නෝ භික්ෂු සංඝයා වහන්සේලා  වෙති. භික්ෂු සංඝයා වහන්සේලා නො මැතිව සම්බුද්ධ ශාසනයක් නැත්තේ ය. “බුදු දහම” යනුවෙන් අදහස් කරන්නේ සම්බුද්ධ ශාසනය ය. භික්ෂු සංඝයා වහන්සේලා මත ම ප්‍රතිපත්ති ශාසනය, හා ප්‍රතිවේද ශාසනය පිහිටා ඇත්තේ ය. පර්යාප්ති ශාසනය නම් ධර්ම රත්න ය. ධර්ම රත්නයේ පැවැත්ම රක්ෂා කරනුයේ ද භික්ෂුන් වහන්සෙලා වෙති. භික්ෂු සංඝයා වහන්සේලාගෙන් තොරව
පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය,  ප්‍රතිවේද ශාසනය  යන ත්‍රිවිධ ශාසන නො පවතින බව කිව යුතු ය.


“කහකඩ කාරයෝ කියන්නේ බුදු දහම නො වේ”

සම්බුද්ධ ශාසනයට, භික්ෂු සංඝයා වහන්සේලාට  කරන ලද බලවත් අපහාසයක් බව කිව යුතු ය.


තව කිව යුත්තක් ඇත. ඇතැම් අවස්ථාවල භික්ෂූන් වහන්සේලා යම් අපරාධ චෝදනාවක් මත පොලීසියෙන් අත් අඩංගුවට ගනී.  එසේ  අත් අඩංගුවට පත් වූ ඒ භික්ෂූන් වහන්සේලා, මාධ්‍ය මගින් “ චීවරධාරියා” යන වචනයෙන් හදුන්වයි. සම්බුදු රදුන්ගේ ශාසනයේ පැවිදි වී ඇති සියලු භික්ෂූන් වහන්සේලා සිව්රු දරත්. එනමුත්  භික්ෂූන් වහන්සේලාට “චීවරධාරියා” “ චීවරධාරීන්” යයි නො කියත්.


යම් භික්ෂුවක් රටක නීතිය අනුව අපරාධමය වරදක් කළ පමණින් මහණ කම නැති වන්නේ නැත. සතර පාරාජිකාපත්තියකට පත් වීමෙන් ම 
උපසපන් භික්ෂුවකගේ මහණකම නැති වේ. එය ද අපරාධමය වරදකට හේතුවන්නේ මෛථුන ධම්ම හෙවත් ලිංගික අනාචාරය, මනුස්ස විග්ගහ හෙවත් මනුෂ්‍ය ඝාතනය හා හොරකම යන පරාජිකා තුන පමණ ය. හොරකම ද පාරාජිකාපත්තියට තරම් වටිනා දෙයකින් සොරකම සිදුවිය යුතු ය. එවිට මහණකම අහෝසි වේ. නැති නම් හොරකම සිදුවන ස්ථානය අයිති රටේ නීතිය අනුව, අපරාධමය වරද සංඛ්‍යාවට යනවා ඇත. කෙසේ නමුදු ලංකා භූමියේ නම් නීතිය අනුව හොරකම අපරාධමය වරදකි. සාමණේර භික්ෂූන් වහන්සේලාට හොරකම සිදු වූ පමණින් ම මහණකම නැති වේ. වටිනා කමේ ප්‍රමාණය අදාළ නො වේ. හොරකම සිදු කිරීම  ම ප්‍රමාණ්වත් ය. නමුත් සාමණේර භික්ෂූන් වහන්සේලාට, ගුරු භික්ෂූන් වහන්සේලා වෙතින්,   නැවත මහණ කම ප්‍රකෘති තත්වයට පත්කර ගත හැකි ය. උපසපන් භික්ෂූන් වහන්සේලාට පාරාජිකා වීමෙන් නැවත උපසම්පදාව ප්‍රකෘති තත්වයට පත් නො කළ හැකි ය.


උත්තරීතර මනුස්ස ධර්ම සික පදයෙන් උපසම්පදා භික්ෂූන් වහන්සේලාට පාරාජිකාපත්තිය සිදු වුවත්, නීතිය අනුව අපරාධමය වරදක් සිදු නො වේ.

මහණ උපසම්පදාව නැති වීමට හේතු වන පාරාජිකා ඇවතකට පත් නො වන, අපරාධමය වරදක් වූ පමණින් කිසිදු භික්ෂූන් වහන්සේ නමකගේ මහණකම නැති වන්නේ නැත. පාරාජිකාපත්ති නො වන අනෙක් සියලු ආපත්ති වලින්,  භික්ෂූන් වහන්සේලා හමුවෙහි ප්‍රතිකර්ම කිරීමෙන් නැගී සිටිය හැකි බැවින් මහණකමේ ශුද්ධිය ලැබිය හැකි ය. රටක නීතිය අනුව වරදක් වුව ද මහණකම නැති නො වේ. දුශ්ශීල අලජ්ජි භාවයට පත් නො වේ. යම් භික්ෂුවක්  පාරාජිකාපත්තියට පත් නො වන, අන්‍ය ආපත්තිවලට පත් වන, ඒ පත්වන ආපත්ති රටක නීතිය අනුව අපරාධ සංඛ්‍යාවට ගියේ ද, එසේ ම ඒ අපරාධම ය වරද නීතියෙන් දණ්ඩනයන්ට යටත් වුයේ ද ඒ භික්ෂූන් වහ්න්සේ මහණකමේ සිටින තාක් මහා සංඝ සංඛ්‍යාවට යනවා ඇත. මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

යම් හෙයකින් භික්ෂූවක් පාරාජිකා ඇවැතකට පත් වී, ‍
1.  ඒ ඇවතට අදාළ කාරණය රටක නීතියෙන් අපරාධ වරදක් වීම හෝ;
2. ඒ ඇවත නීතියෙන් අපරාධ වරදක් නො වීම හෝ;
3. ඒ ඇවතට අදාළ කාරණයට අපරාධ නඩුවක් ගොනු කර තිබීම හෝ;
4. ඒ ඇවතට අදාළ කාරණයට අපරාධ නඩුවක් ගොනු කර නො තිබීම හෝ;
5. ඒ ඇවතට අදාළ කාරණය සිදු වූ රටේ නීතියෙන් දඬුවමකට හෝ දඩයකට භාජනය වීම හෝ;
6. ඒ ඇවතට සත්‍ය වශයෙන් පත්ව, පාරාජිකාපත්තියට භාජනය වූ භික්ෂුව සත්‍ය වසන් කිරීම සහ සාක්ෂි නැති කමින්  අදාළ කාරණය සිදු වූ රටේ නීතියෙන් නිදහස් වීම හෝ; 


යන කිසිදු කරුනක් එම පාරාජිකා වූ  භික්ෂුව තව දුරටත් භික්ෂූන් වහන්සේ නමක් ලෙස පිළිගැනීම ඇති නො කරයි.
මහා සංඝ රත්නයට ඇතුලත් නො වේ. සංඝ රත්නයෙන් බැහැර ය. රත්න නම් පිරිසිදු ය. නො කිලිටි ය. අනර්ඝ ය. සම්බුදු රදුන්, සද්ධර්මය, භාග්‍යවතු වහන්සේගේ ශ්‍රාවක  සංඝයා ද පිරිසිදු ය. නිකැළල් ය. නො කිලිටි ය.අනර්ඝ ය. ඒ හේතුවෙන් රත්න ය. මහා සංඝ රත්නයේ දුසිලන් නැත. අලජ්ජින් නැත. පාරාජිකා පත් එකදු භික්ෂුවක් මහා සංඝ රත්නයට අයිති නැත.


එසේ වුවද පාරාජික ඇවැත් වලින් පිට අන්‍ය ඇවත්වලට පත් වූ භික්ෂූන් මහා සංඝ රත්නයට ඇතුලත් වේ. හේතුව එම සියලු ඇවැත් සංඝ පිරිස ඉදිරියේ ශුද්ධිය ඇති කර ගත හැකි බැවිනි.  මෙහිදී ශුද්ධිය නම් ධ්‍යාන ම‍ර්ග ඵල සංඛ්‍යාත නිවනට ඇති බාධා අහෝසි වීම ය. එසේ ම සුගතිගාමි වීමට ඇති බාධා ද අහෝසි වීම ය.


මෙහිදී පැහැදිලි කර ගත යුතු කරුණක් ද ඇත්තේ ය. එනම්:- ඕනෑම සික පදයක් කැඩීමෙන් ශෛක්ෂ නොවන හෙවත් අරහත් වූ භික්ෂූන් වහන්සෙලා හැර, අන් භික්ෂූන් වහන්සේලාට  අකුසල කර්ම ඇති කෙරේ. ඇවැත් දෙසූ පමණින් ඇතැම් අකුසල් කර්මවල විපාක අහෝසි නො වනු ඇත. දිට්ඨ ධම්මවේදනීය වශයෙන් ද පල දීම හා ඉදිරි බවවලදී ද පල දීමට ද හේතු ඇති කරයි. මඟ ඵල ලැබීමෙන් කර්ම අහෝසි වීම ද අර්හත් භූමිය ලැබීමෙන් සියලු ඉදිරි බව කර්ම විපාක ගෙවීම සිදු වී පල දීමට අවස්ථාව නැතිව යයි. අංගුලිමාල අරහතුන් වහන්සේගේ දිවිය මෙයට සාධක සපය යි.


මෙහිදී අප පැහැදිලි කර ගත යුත්තේ පාරාජිකා වස්තුවකට (ඇවැතට) පත් නො වී අපරාධ සංඛ්‍යාවට ගැනෙන කුමන වරදක් කළ ද මහා සංඝ රත්නයෙන් බැහැර නො යන බැවින්, පාරාජිකා පත් නො වූ භික්ෂූන් වහන්සේලාට අපරාධ වැරදි සම්බන්ධ චෝදනාවකදී  “ චීවර ධාරියා” යැයි අපහාසාත්මකව කතා කිරීම, ජනමාධය මගින් ප්‍රකාශ කිරීම අතිශයින් ම වැරදි සහගත බව ය. එය මහා සංඝ රත්නයට කරන අගෞරවක් බව ද කිව යුතු ය.


පාරාජිකා පත් භික්ෂුවක නම් මහණකම නැති, චීවරය පමණක් කයෙහි ඇති බැවින් එම දුසිල් භික්ෂුවට  “ චීවර ධාරියා” යයි ඇමතීම සාධාරණ ය.


නො සොයා නො බලා, භික්ෂූන් වහන්සේලාට චෝදනා කිරීම සම්බුද ශාසනයට කරන ද්‍රෝහී කමක් ද වේ. මේ වරද ජනමාධ්‍ය ආයතන  විසින්, මාධ්‍යවේදීන් විසින් පිටු දැකිය යුතු කරුණක් බව අවධාරණය කරමු. සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමට භික්ෂු සංඝයා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බැවින්, මෙය නිරවුල් කිරීම ශ්‍රී ලංකා රජයේ යුතුකම හා වගකීම ද වන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යස්ථාවේ සඳහන්


13(5) “වරද කරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකු ම නිර්දෝෂී යයි පූර්වමාන කළ යුත්තේ ය;


එසේ වුව ද, විශේෂිත වූ සිද්ධි ඔප්පු කිරීමේ භාරය, චූදිත තැනැත්තකු  වෙත නීතියෙන් පවරනු ලැබිය හැක්කේ ය.”

යන ව්‍යවස්ථාවෙහි

“වරද කරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකු ම නිර්දෝෂී යයි පූර්වමාන කළ යුත්තේ ය”


යන වගන්තිය ප්‍රකාරව ද අපරාධ වරදකදී පොලිස් අත් අඩංගුවට පත් වූ භික්ෂූන් වහන්සේලාට “ චීවර ධාරියා” යයි හැදින්වීම ආණ්ඩුක්‍රම වවස්ථාවට පටහැනි ය. එසේ “චීවර ධාරියා”  යයි පොලිස් අතඩංගුවට පත් භික්ෂූන් වහන්සේලා හැදින්වීමෙන් කීමට උත්සාහ කරන්නේ එම භික්ෂූන් වහන්සේ “ වරදක් කර ඇති බව” පෙන්නීම ය. එය ආණ්ඩුක්‍රම් ව්‍යවස්ථාවෙහි 13(5) ව්‍යවස්ථාවට පටහැනිව පවතින බැවින් එය නිරවුල් කිරීම සම්බුද්ධ ශාසනමාමක කාගේත් යුතුකම හා වගකීම ය.

Protected by Security by CleanTalk