ආරියතිලක
2026.05.31
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේගේ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනය කළේ ය.
මේ ප්‍රස්තුතයට අදාල සමස්ත කාරණය සම්බන්ධයෙන්, සමස්ත භික්ෂූන් වහන්සේලාට ම චෝදනා අවලාද කරන බව පෙනෙන්නට තිබේ. අපගේ හිතවතෙකු විසින් මේ ගැන චෝදනා මුඛයෙන් කතා කර අපගෙන් ද මේ ගැන විමසන ලදී.
අප විසින් ඔහුගෙන් කරන ලද විමසීමක් හා දක්වන ලද අදහස් සැකවින් මෙසේ ය.
විමසුම:- ඔබගේ ඉඩමේ පොල්ගස් තිබේ ද?
පිළිතුර:- ඔව්
විමසුම:- ඔය පොල් ගස් අතරේ හෙන ගහපු පොල් ගස් තිබුණ ද?
පිළිතුර;- ඔව් හෙන ගහපු පොල් ගස් තිබුණා;
විමසුම:- ඒ හෙන වැදුණු පොල් ගස් නිසා ඉඩමේ සියලු පොල් ගස් කපා දැමිය යුතු ද? ඉවත් කළ යුතු ද?
පිළිතුර:- එහෙම නැහැ.
විමසුම:- ඉඩම්වල තිබෙන පොල් ගස් අතරේ පැළ පොල් ගස්වලට හෙන ගසා ඇති බවක් දැක තිබේ ද?
විමසුම:- නැහැ උස ගස්වලට තමයි හෙන වදින්නේ..
විමසුම:- එක ගහකට දෙකකට හෙන වැදුණු පමණින් සියලු පොල් ගස් වගකිව යුතු ද?
පිළිතුර:- නැහැ.
ඉහත ආකාර ආකුණු සැර වැදුණු පොල් ගස් හේතුවෙන් සියලු පොල් ගස් කපා බිම හෙලන ගතියක්, අනෙක් සියලු පොල් ගස් වගකිව යුතු බවක් නැතිවා සේ සම්බුද්ධ ශාසනයේ එක් භික්ෂූන් වහන්සේ නමක් දෙනමක් හෝ කීප නමක් වරදක් කළ පමණින්, මහණකම නැති වන පමණ හෙවත් පාරාජිකාපත්තියකට පත් වන වරදකින් චෝදනා ලැබු පමණින් හෝ කරන ලද එම චෝදනා සත්‍යයැයි ඔප්පු වු පමණින් සමස්ත භික්ෂු සංඝයා වහන්සේලාට ම චෝදනා කිරීම, අපහාස, කිරීම, අවලාද නැගීම අතිශයින් ම හීන වූ පහත් ක්‍රියාවක් බව කිව යුතු ය. එසේ අස්ථානයේ නිරවුල් භික්ෂූන් වහන්සේලාට චෝදනා කිරීම බරපතල අකුසල් ගෙන දෙන්නකි. අස්ථානයේ භික්ෂු සංඝයා වහන්සේලාට චෝදනා, අවලාද, අපහාස කරන සියලු දෙනා, කිසිදු ආකාරයකින් සම්බුද්ධ ශාසනයේ පැවැත් ම අපේක්ෂා නො කරන වසල ධර්ම ඇතියන් බව නො කියා ම බැරි ය. ඔවුහු ඔවුන්ගේ වසල ගතිය ධර්මය නො දත් අන්‍යයන්ට ද බෝ කරත්. ඔවුන් සම්බුද්ධ ශාසනය දකින්නේ භික්ෂු සංඝයා වහන්සේලා දකින්නේ වෛරී චේතනාවෙන් ය. තමන් “මහ දන්න” පිරිසක් බව පෙන්වන්නේ වසල ගතියෙන් ම ය. මේ පිරිස සමස්ත ගිහි පැවිදි දෙපිරිස විසින් ම වර්ජනය කිරීම ධර්මානුකූල ය.
එසේ කිරීම යුක්ත යුක්ති ය. ඒ කිසිවෙක් සම්බුද්ධ ශාසනයේ පැවැත්මට දායක වන්නෝ නො වෙති.
සම්බුදු රදුන් විසින් වසල සුත්‍රයේ මෙසේ වදාරන ලද සේක.
යෝ බුද්ධං පරිභාසති-
අථවා තස්ස සාවකං,
පරිබ්බාජං ගහට්ඨං වා-
තං ජඤ්ඤා වසලෝ ඉති.
(වසල සුත්‍රය ඛුද‍්දක නිකාය, සුත‍්ත නිපාත, උරග වර්ගය)
“යමෙක් සම්බුදු රදුන්ට හෝ සම්බුදු රදුන්ගේ ශ්‍රාවක සංඝයාට හෝ ගිහි ශ්‍රාවකයන්ට හෝ බාහිර සාසනයේ පැවිදි පරිබාජකයිනට හෝ ගිහියට අභූතයෙන් චෝදනා ගගත් ද නින්දා කරත් ද ඔහු වසලයෙකැ’යි දන්නේ ය.”
වසල සූත්‍ර අටුවාව මේ ගාථාවට අරුත් සපයා ඇත්තේ මෙසේ ය;
“බුද‍්ධන‍්ති සම‍්මාසම‍්බුද‍්ධං; පරිභාසතීති “අසබ‍්බඤ‍්ඤූ”තිආදීහි අපවදති, සාවකඤ‍්ච “දුප‍්පටිපන‍්නො”තිආදීහි; පරිබ‍්බාජං ගහට‍්ඨං වාති සාවකවිසෙසනමෙවෙතං පබ‍්බජිතං වා තස‍්ස සාවකං, ගහට‍්ඨං වා පච‍්චයදායකන‍්ති අත්‍ථො; බාහිරකං වා පරිබ‍්බාජකං යංකිඤ‍්චි ගහට‍්ඨං වා අභූතෙන දොසෙන පරිභාසතීති එවම‍්පෙත්‍ථ අත්‍ථං ඉච‍්ඡන‍්ති පොරාණා.”
පරමත්ථජෝතිකා සුත්ත නිපාත අට්ඨකථා පිට 124 හේවාවිතාරණ මුද්‍රණය; චතුභාණවර අට්ඨකථා පිට: 232 හේ: මුද්‍රණය)
සිංහලාර්ථය මෙසේ ය.
“බුද්ධං සම්මා සම්බුදුන් වහන්සේට, පරිහාසති දතයුතු සියළු දෙය නො දන්නා බවට ආදී ලෙසින් දොස් නගයි;
සාවකඤ්ච බුදුසව්වන්ට ද දුසිල් පිළිවෙතින් යුතු බව කියමින් දොස් නගයි; පරිබ්බාජං ගහට්ඨං වා මෙය සව්වන්ටම අදාළ පදයකි. පැවිද්දෙකුට හෝ, උන්වහන්සේගේ සාවක ගිහි තැනැත්තකුට හෝ, සිවුපසය සපයා දෙන කෙනෙකුට, වෙනත් සස්නෙක පිරිවැජියකුට හෝ කිසියම් ගිහියෙකුට හෝ බොරුවට දොස් කීමෙන්, චෝදනා කිරීමෙන්, නින්දා කරයිද යන අදහස පැරණි වියත්හු =(පොරාණ) කැමති වෙති.”
නො විමසා නො පිවිස= (ස්ථීර ලෙස සැක හැර නො ගෙන) අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද,
නො විමසා නො පිවිස = (ස්ථීර ලෙස සැක හැර නො ගෙන) ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද,
මේ දෙදෙනා ම අපාගත වන බව තථගත සම්බුදු රදුන් විසින් වදාළ සේක.
(“අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා අවණ‍්ණාරහස‍්ස වණ‍්ණං භාසති, අනනුවිච‍්ච අපරියොගාහෙත්‍වා වණ‍්ණාරහස‍්ස අවණ‍්ණං භාසති,” අවණ්ණාරහ සූත්‍ර)
සම්බුද්ධ සාසනයේ පාරාජිකාපත්තියට පත් දුසිල් පැවිද්දා සංඝ රත්නයට අයිති නැත්තේ ය. ඒ බව ද තථාගත දේශනාව හා අටුවා විවරණ අනුව පැහැදිලි ය.
